History

Sunday, 18 August 2019

ගෝඨා භය

           සිංහල ලිත් ඉලක්කම්




ගෝඨා භය


අද මෙරට ඉතිහාසයේ ඉතාමත් ම වැදගත් දවසක්. සමහරවිට වැදගත් ම දවස වෙන්න පුළුවන්. අද තමයි මෙරට ප්‍රධාන විප්ලවවාදී පක්‍ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන තම අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා නම් කරන දවස. කිසිම ප්‍රායෝගික දේශපාලනයක් කර නැති එහෙත් වීරයන් වීමට දඟලන ඊනියා උගතුන්ටත් අද දවස වැදගත්. ඔවුන්ගෙන් වොයිස්කට් ලබා ගැනීමට එවැනි ම ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් කටයුතු කරාවි. ලාංකික විප්ලවයේ විශ්වවිද්‍යාලවල තරූණ තරූණියන්ට සතිපතා නාන්න සලස්වන පෙරටුගාමීන්ට රට පුරා පැවැත්වෙන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න තරම්වත් ශක්තියක් නැති බව පැහැදිලියි. 


ජ වි පෙ අපේක්‍ෂාව රනිල් පවත්වා ගෙන යෑම මිසක් අනෙකක් නො වේ. ඒ අපේක්‍ෂාව සඳහා අපේක්‍ෂකයකු නම් කළත් නාම යෝජනා දීම අනිවාර්ය වන්නේ නැහැ. සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැද්ද මත ඒ තීරණය වේවි. පෙරටුගාමීනුත් මොකක් හරි වෙනුවෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනවා නම් හොඳයි. විප්ලවයේ අපේක්‍ෂකයා කියා නම් කරන්න පුළුවන්. ඉදිරිපත් වී නාගන්නත් පුළුවන්. 

ඒ මොකක් වුණත් අද ගාලු මුවදොර පිටියේ පුටු රාශියක් තියලා. මිනිසුන්ට ඇවිත් හිට ගෙන ඉන්න ඉඩ මදි. ජ වි පෙ සංවිධායකයන් එ පමණ පුටු තිබ්බෙ මොක ද? වෙන දා නම් ඔහොම පුටු තියන්නෙ  නැහැ. විප්ලවයට යන ගමන් වාඩි වෙන්න ඕන ද? ජ වි පෙරමුණත් ගෝඨාභයට බය බව පැහැදිලියි. මේ තමයි ගෝඨා භය. 

අද ජ වි පෙරමුණත් ඇතුළු සියළු විජාතික බලවේගවලට ගෝඨා භය දැනෙන් පටන් අරන්. ඔවුන් දන්නවා ගෝඨාභය දේශපාලනික ව ඡන්දයෙන් පරාජය කරන්න බැරි බව. එ නිසා ඔවුන් දැන් උත්සාහ කරන්නෙ ගෝඨාභය නෛතික ව උසාවියේ පරාජය කරන්න. 

ගෝඨාභයගේ විදේශීය රටවැසිකම ඉවත් කර ගෙන. ඒක අර එක්සත් රාජ්‍යයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලේඛනයේ සඳහන් කරන්න සමහර විට අවුරුද්දක් පමණත් කල් ගත වෙන බවයි කියන්නෙ. කොහොමටත් මැතිවරණ කොමිසමේ සභාපතිට ගෝඨාභයගේ නාම යෝජනාව ප්‍රතික්‍ෂෙප කරන්න බැරි වේවි. ඒ යෝජනා පත්‍රය වැරදියට පුරවන්න ගෝඨාභය ඉදිරිපත් වෙන එකක් නැහැ. 

සිවල් සමාජයට ගෝඨා භය හොඳට ම දැනෙනවා. 2010 සරත් ෆොන්සේකා ඉදිරිපත් කරපු වෙලාවෙ සදු වෑන් ගැන කතා නොකරපු සිවල් සාමාජිකයන්, මිය ගිය නැත්නම් දැනට දකින්න නැති සිවල් සාමාජිකයන්ගෙ විවාහක බිරියන් දැන් පාට පාට වෑන් ගැන කතා කරනවා. සරත් ෆොන්සේකා නම් සුදු වෑන්වලට පක්‍ෂ බවක් පේන්න තියෙනවා. ඔහු කියන්නෙ අට දෙනකුට සුදු වෑන් ඇරලා දෙසිය පනහකට අධික පිරිසක් බේර ගන්න තිබුණ කියලා. සිවල් සාමාජිකයන් සරත් ෆොන්සේකා සමග මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ නම් හොඳයි කියලා හිතෙනවා. 

2005 ඡන්ද ලැයිස්තුවෙ මුල්කිරිගල කොට්ඨාසයෙ ගෝඨාභයගෙ නම තිබුණළු. මොවුන් දැන් නම දැක්කත් බය වෙනවා. සුළු දිය පහ වෙනව ද කියල දැනගන්න විධියක් නැහැ. මා දන්නෙ නැහැ ගෝඨාභය එක්සත් රාජ්‍යවල රටවැසිකම ලබා ගත්තෙ කවද ද කියලා. ඒ වගේ ම ද්විත්ව රටවැසිකම ලබා ගත්තෙ කවද ද කියලා. ගෝඨාභය ඒ විදේශීය රටවැසිකම ලබාගත් දවසත් ද්විත්ව රටවැසිකම ලබාගත් අතර කාලයෙහි පමණක් ඔහු මෙරට රටවැසියකු වූයේ නැහැ. 

රටවැසියකු නොවී ඔහුට මැතිවරණයක දී ඡන්දය දෙන්න බැහැ. ඔහු 2005 ජනාධිපතිවරණයේ ඡන්දය දුන්නා ද නැත් ද එකල ඔහු මෙරට රටවැසියකු වූවා ද නැද්ද ආදී මේ කිසිවක් මා දන්නේ නැහැ. මට දැන ගන්න වුවමනාවකුත් නැහැ. ඔහු දැනට මෙරට රටවැසියෙකු බවත් ද්විත්ව රටවැසියකු නොවන බවත් කියනවා. මා ඒ බව පිළිගන්න සූදානම්. එය වැරදි නම් ගෝඨාභය ජනාධිපති වූවාට පසු සිවල් සාමාජිකයකුට එයට විරුද්ධ ව අධිකරණයට යන්න පුළුවන්. එතෙක් මැතිවරණ කොමිසමටවත් ඔහුගේ අපේක්‍ෂකත්වය ප්‍රතික්‍ෂෙප කරන්න බැහැ. 

කොහොමටත් මැතිවරණ කොට්ඨාසයක ඡන්ද ලැයිස්තුවේ යමකුගේ නම සඳහන් ව තිබීම ඔහුට විරුද්ධ ව අධිකරණයට යෑමට තරම් හේතුවක් නො වේ. යමකු රටවැසියකු වුවත් නැතත් යමකුගේනම ඡන්ද ලැයිස්තුවක තියෙන්න පුළුවන්. අප කිසිවකු තම නම ඡන්ද ලැයිස්තුවක සඳහන් කරන්න කියා ඉල්ල සිටින්නේ නැහැ. සමහරවිට ගෘහ මූලිකයා ඉල්ලා සිිටිනවා ඇති. ග්‍රාම නිලධාරිතුමා ඒ සහතික කරනවා ඇති. ඒත් ඡන්දදායකයන් තම නම ලැයිස්තුවේ සඳහන් කරන්න කියා ඉල්ලා සිටින්නේ නැහැ. මගේ නම මා පදිංචි නැති කොට්ඨාශයක ඡන්ද ලැයිස්තුවේ සඳහන් වෙන්න පුළුවන්. මා එයට වග කියන්නේ නැහැ. 

සමහර විට මගේ නමින් වෙනත් අයකු ඡන්දය දෙන්නත් පුළුවන්. කොබ්බෑකඩුව මහතාගේ නමිනුත් කිසිවකු එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ඡන්දය දී තිබුණා. ඡන්දය දී තිබූ පමණිනුත් අධිකරණයක දී පෙන්වන්න බැහැ ඡන්දය දී ඇත්තේ ඔහු ම ය කියා. ගෝඨාභයගේ නම 2005 දී මුල්කිරිගල කොට්ඨාසයේ ඡන්ද ලැයිස්තුවේ සඳහන් ව තිබුණත් ඔහුගේ ඡන්දය එවර ජනාධිපතිවරණයේ දී කාහට දී තිබුණත් අද කරන්න දෙයක් නැහැ. 

යමකු රටවැසියකු නොවන විටක දී ඡන්දය දීම වැරැද්දක් නොවේ යැයි මා කියන්නේ නැහැ. අවශ්‍ය නම් ගෝඨාභයගේ ඡන්දය 2005 දී පාවිච්චි කර ඇත් ද ඔහු රටේ සිටියේ ද ආදී කරුණු සොයා බලන්න පුළුවන්. ඔහු එසේ කර ඇත්නම් එය සදාචාරාත්මක වරදක්. එහෙත් මා කියන්නේ නෛතික ව ඔහු වරද කරුවකු කරන්න බැරි බවයි. ගෝඨාභය ජනාධිපතිවරණයේ දී පරාජය කිරීමට බැරි  බව දන්නා සිවල් සාමාජිකයන්ට අවශ්‍ය විවිධ ප්‍රශ්න මතු කර නෛතික ව ඔහු පරාජය කරන්නයි. එහෙත් එයත් කරන්න බැරි බව පමණයි මා කියන්නේ.

ගාලු මුවදොර පිටියේ රනිල්දාසට හා පිරිස සමහර විට දන්නේ නැතිව ඇති ගාල්ල කියන නම පෘතුගීසි ගැලෝ (galo)  කියන්නෙන් බිඳී එන්නක් බව. පෘතුගීසීන් පැමිණීමට පෙර ගාල්ල හැඳින්වුණේ ගිම්හතිත්ත ලෙස. ගිංගඟ සමග එහි සම්බන්ධයක් තියෙනවා ද කියා දන්නේ නැහැ. එකල එහි කොඩියේ සංකේතය වූයේ කුකුළා. පෘතුගීසී බසින් කුකුළා ගැලෝ හෝ ගෙලෝ හෝ  ලෙස හැඳින්වූවා. මා මේ දිනවල ලංකාවේ කොඩි ගැන අධ්‍යයනයක් කරනවා. අපේ පරම්පරාවටත් කොඩියක් තිබෙන බවත් ඕල්කට්තුමාට බෞද්ධ කොඩිය සෑලසුම් කරදදී ඒ ආධාර වූ බවත් සඳහන් වෙනවා. අපේ කොඩියේ සතකු හෝ වස්තුවක් හෝ තිබී නැහැ. එය හුදෙක් තීරු කොඩියක්. එහි තරමක වියුක්ත බවක් තියෙනවා. 1506 පමණ සිට 1650 පමණ වන තෙක් පෘතුගාල කොඩියේ තීරු තිබී නැහැ. සමහර විට අපේ කොඩිය ලන්දේසි පෙරදිග ඉන්දියා සමගමේ කොඩිය අනුකරණයෙන් ලබාගත් එකක් වෙන්න පුළුවන්. මෙරට කොඩිවල ගුරුළාත් දකින්න පුළුවන්. ගුරුළා සංස්කෘතයෙන් ගරුඩා. ගුරුළුගෝමීන්  මලයාසියාවේ (ශී විජය රාජ්‍යයේ) ගරුඩාචාර්ය බවටත් මතයක් තියෙනවා. ඔහු අමාවතුර ලියා ඇත්තේ සිංහල පමණක් දත් නුගතුන් සඳහා. එදත් අදත් සිංහල පමණක් දත්තවුන් නූගතුන් ලෙස හැඳින්වෙන්නේ. සිංහල නොදත්තවුන් නූගතුන් ලෙස හැඳින්වෙන්නේ නැහැ. මේ පිළිබඳ විස්තර පසුවට.