History

Saturday, 31 August 2019

ගෝලයන් යැයි කියන්නෝ

          සිංහල ලිත් ඉලක්කම්


ගෝලයන් යැයි කියන්නෝ




මා ජීවිතයේ කිසි දිනෙක එතරම් වැඩක් කළ අයකු නො වෙයි. මා බොහෝ විට කරන්නේ මා කැමති දේ පමණයි. කැමති දේ කිරීම වැඩ කිරීමක් නො වෙයි. පාසලේ දී මා අකමැති විෂය ඉගෙන ගත්තේ නැහැ. එවිට ඉගෙන ගැනීම වැඩක් වන්නේ නැහැ.අර වෙළෙඳ දැන්වීමක දෙමව්පියන් පුතාගෙ පාඩම් වැඩ ගැන කියනවා. මෙරට එක් ප්‍රශ්නයක් නම් පාඩම් වැඩ තිබීමයි. මා මේ ලිපි ලියන්නේ වැඩක් ලෙස සලකා නො වෙයි. මේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණයි. මා ලියන්නේ මා කැමති නිසා මිස රටට ඊනියා වැඩක් කරන්න නො වෙයි. මා අකමැති දේ ද ඉඳහිට කරන්න සිදු වෙනවා. ඒ නම් වැඩක් කිරීමක්.  


මා පේරාදෙණියේ දී සිසුන්ට ඉගැන්නුවා. ඒ බටහිර විද්‍යාව හා ගණිතය. එය කිසි දිනෙක වැඩක් වුණේ නැහැ. පේරාදෙණියෙන් මා අස් වී ගොස් නැවත පැමිණි විට ඔවුන් මා ගත්තේ නැහැ. අවුරුදු දෙකක් පමණ රැකියාවක් නැතිව හිටියත් වැඩක් නොකරන බවක් මට හැඟී ගියේ නැහැ. ඒ මා කොහොමත් වැඩක් කරන්නේ නැති නිසා. ඉන් පසු කොළඹ විශ්වවිද්‍යාලයේ පත්වීමක් ලැබුණා ස්ටැන්ලි විජේසුන්දර නිසා. එහි දී මා ඉගැන්නුවේවත් නැහැ. මට හිතෙන දේ දේශනවල දී කිව්වා. ඉන්පසු අවුරුදු දහයක් ගෙදර හිටියා. ඒ අවුරුදු දහයත් සුපුරුදු පරිදි ගෙවී ගියා.

කොළඹ මට විරුද්ධ සිසුන් රාශියක් හිටියා. පසුව ඥාතියකු වූ සිසුවකු කියා සිටියේ එකල ඔහු මට බැණ බැණ දේශනවලට සහභාගි වුණා කියලයි. එහි වරදක් නැහැ. එකල මා කියන දේ කැමැත්තෙන් අහගෙන සිටි පිරිසක් ද සිටියා. අද ඔවුන්ගෙන් අති මහත් බහුතරය මට විරුද්ධයි. ඔවුන් සමහර දෙනකු ජාතික දේශපාලනයේ ක්‍රියා කාරීන්. ඔවුන් හැකි තාක් උත්සාහ කරන්නේ මා ජාතික ව්‍යාපාරයෙන් ඈත් කිරීමටයි. 

ඔවුන්ගේ කිසිම රැස්වීමකට මට ආරාධනය කරන්නේ නැහැ. එසේ කළා නම් රැස්වීමට සහභාගි වීම මට වැඩක් වෙන්න තිබුණා. ඔවුන් ඇතැමකු මා සමග කතා කිරීමටවත් උනන්දුවක් දක්වන්නේ නැහැ. හමු වූ විට අහක බලා යන අයත් ඉන්නවා. ජාතික හෙළ උරුමයට සම්බන්ධ අයත් ඉන්නවා. ඔවුන් නම් හිතන්නේ මා හාන්සිපුටුවේ ඉඳන් දේශපාලනය කරන්නකු කියා. නැහැ, මා දේශපාලනයක් කරන්නකු නො වෙයි. වැඩක් නොකරන මා දේශපාලනය කරන්නෙත් නැහැ. 

මා කැලණියට ගියේ 2003 දී. එහි දී ද මා ඉගැන්නුවේ නැහැ. එබැවින් කොළඹත් කැලණියේත් මට ගෝලයන් කියා පිරිසක් නැහැ. කැලණියේ දී මා නාට්‍යයක් ලිව්වා. එහි සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ පනස්වැනි සංවත්සරය වෙනුවෙන් ඒ නිෂ්පාදනය කළා. ඒ මිසරය ග්‍රීසිය ලංකාව සම්බන්ධ කතාවක් වගේ මතකයක් තියෙනවා. නාට්‍ය පිටපතක් මා ළඟ නැහැ. මිසරය පමණක් නොව මෙක්සිකෝවත් අපට සම්බන්ධ ව පැවති බවට මගේ විශ්වාසයක් තියෙනවා. යක්‍ෂ ජනතාව යුකාටන් ප්‍රදේශයේ ජීවත් ව ඉඳ තියෙනවා. ඒ යකාටාන් වන්නත් බැරි නැහැ. මෙක්සිකෝවේ ජනකතා අතර පණ්ඩුකාභය කාලයේ වැනි කතාත් තියෙනවා. 

මේ යක්‍ෂ කතාවලටත් ජාතික ව්‍යාපාරයේ ඇතැමුන් විරුද්ධයි. ඔවුන් මා විවේචනය කරන්නේ සිංහල ඉතිහාසය මකා දැමීමට පැමිණි දුෂ්ට අනාර්යයකු ලෙස සලකමින්. මනස යනුවෙන් දෙයක් නැතැයි කී විට එය ද මනසේ ම නිර්මාණයක් යැයි කී විට බොහෝ දෙනකු විරුද්ධ වුණා. මනස මනසේ ම නිර්මාණයක් යන්න චක්‍රීය චින්තනයෙන් ලැබෙන්නක්. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ ම නිර්මාණයක් වන්නේ රේඛීය චින්තනයෙහි. මනස නිර්මාණයක් නොව මනසෙන් තොර ව පවතින දෙයක් නම් නිවන් සම්මාබෝධයේ දී මනසට සිදු වන්නේ කුමක් ද? එය දිගට ම පවතිනවා ද? නැත්නම් අහෝසි වෙනවා ද? උච්ඡෙද ද? ශාස්වත ද?

අවුරුදු දහයකට පමණ පෙර කැලණියේ ඉන්න කාලයේ බුදුදහම අනාර්ය සංස්කෘතියක නිර්මාණය වූ බව කී විට එය කිසිවකුගේ අවධානයට යොමු නොවීම නිසා කිසිවකු මට බැණ වැදුණේ නැහැ. බුදුදහම අනාර්යවත් ආර්යවත් නො වෙයි. එය බිහි වී ඇත්තේ අනාර්ය සංස්කෘතියක. මේ ප්‍රශ්නය ජනාධිපතිවරණයෙන් පසු නැවත සාකච්ඡා කරන්න ඕන. කලින් කතා කළොත් මිනිසුන් හිතන්න බැරි නැහැ ගෝඨාභයත් ඉන්නේ වැරදි තැනක කියා.

සාමාන්‍යයෙන් අපේ ගෙදර ඔය විශ්වවිද්‍යාලවල ඉගෙන ගත් අය එන්නේ නැහැ. අනෙක් අය එන්නෙත් නැහැ. පේරාදෙණියේ එක් ශිෂ්‍යාවක් නම් අවුරුදු හතළිස්අටක් තිස්සේ  ගෙදර ඉන්නවා.  පසුගිය දිනෙක කැලණිය විශ්වවිද්‍යාලයේ මගෙන් ඉගෙන ගත්තේ යැයි කියන හතර දෙනකු මා හමුවීමට පැමිණීමෙන් මා පුදුම වුණා. මා ඔවුන්ට කිසිම දෙයක් උගන්වා නැහැ. ඒ හතර දෙනා අතර භික්‍ෂූන් වහන්සේ නමක් ද සිසුවියක ද සිටියා. ඇය දැන් මවක්. අනෙක් දෙදෙනා අර නාට්‍යයට සම්බන්ධයි. ඒ නාට්‍යයේ වචනයක්වත් කතා නොකරන චරිතයක් තිබුණාළු. ඒ පැමිණි අයකු ඒ චරිතය රඟ පෑ ශිල්පියා. මට නම් ඒ චරිතය ගැන මතකයක් තිබුණේ නැහැ. මගේ මතකය අතිශයින් දුර්වලයි.

භික්‍ෂූන් වහන්සේ පැවිදි වී ඇත්තේ මා නිසා නො වෙයි. ආනන්ද විදුහලේ ඉගෙන ගන්නා අවධියේත් පැවිදි වීමේ අදහස තිබුණළු. උන්වහන්සේත් අනෙක් තිදෙනාත් කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතිය විද්‍යා පාඨමාලාව හැදෑරූ අය. එහෙත් අප වඩාත් කතා කෙළේ ඉතිහාසය ගැන. කාශ්‍යප රජු සීතාවක රාජසිංහ රජු ගැන. සිංහලයන් ශුන්‍ය සංකේතය නිර්මාණය කිරීම නිව්ටන් චතුස්කෝටිකය යොදා ගත්තේ ද වැනි කරුණුත් කතා කළා. චතුස්කෝටිකයට එකල කවුදෝ ගැරහු බව හාමුදුරුවන් පැවසුවා. දැනුත් ගරහනවා. යන එන ගමන් ගෑවි නොගෑවී ගරහන්නන් එමට ඉන්නවා. ඔවුන් දන්නේ නැහැ ඔවුන් චතුස්කෝටිකය යොදා ගන්න බව. නිව්ටන්ට චතුස්කෝටිකය නැතිව අවකලනය (differentiation) නිර්මාණය කරන්න බැහැ. සිංහලයන් ශූන්‍ය  සඳහා හල්කිරීම සංකේතයක් ලෙස යොදා ගැනීමේ දීත් චතුස්කෝටිකය යොදා ගෙන තියෙනවා. 

ඒ භික්‍ෂූන් වහන්සේත් අනෙක් තිදෙනාත් පැමිණීම ගැන මා සතුටට පත් වුණා. දේශපාලනයේ යෙදෙන මගේ ගෝලයන් ය කියන අය නොපැමිණීම ගැනත්  මගේ ඇත්තේ සතුටක්.