History

Sunday, 1 September 2019

ගෝඨාභය හා ඡන්ද කෙළිය

     සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය හා ඡන්ද කෙළිය 




මගෙන් සමහරු අහනව ගෝඨාභයගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනව ද කියලා. ඔවුන් සමහරකුට ලොකු බලාපොරොත්තු තියෙනවා. මට නම් එහෙම නැහැ. ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කොහොමටත් එතරම් බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නෙ කරුණාරත්න ජයසූරිය ගැන බලාපොරොත්තුවක් තියන එක නො වෙයි. බොහෝ විට එ ජා පෙරමුණෙන් හරි ඔවුන්ගේ නව සංධානයෙන් හරි ඉදිරිපත් වෙන්නේ ජයසූරිය. සජිත්ට රට වටේ දුවල හති වැටෙයි. ඔවුන් දෙදෙනාගෙන් කවුරු ඉදිරිපත් වුණත් රට තව තවත් අගධයට යන එක මිස වෙන දෙයක් වෙන්නෙ නැහැ. සජිත් කියන විධියට මේ අවුරුදු හතරට හදල (උදා කරල) තියෙන ගම් ගණන අවුරුදු හතරට තියෙන දවස් ගණනට වැඩියි. දවසකට ගම් කීයක් විවෘත කරනව ද දන්නෙ නැහැ. එ ජා පෙරමුණේ කවුරු බලයට පත් වුණත් වැඩ කෙරෙන්නෙ රනිල්ට ඕන විධියට. රනිල් වැඩ කරන්නෙ බටහිරට මිසක් රටට නො වෙයි. 


ගෝඨාභයගෙන් යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔහු ජාතික අපේක්‍ෂකයා නම් පමණයි. ඒත් ලොකු දෙයක් නම් නොවෙයි. රට තව තවත් අගාධයට යෑම වැළැක්වීමත් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට පියවරක් දෙකක් ගැනීමත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අගාධයට නොවැටී අල්ලා ගෙන සිටීම තමයි වැඩිපුර ම බලාපොරොත්තු වෙන්න තියෙන්නෙ. මේ ටික දැක්ක ගමන් සමහර පොහොට්ටු හිතවතුන් කැළඹෙනවා. සිංහල බෞද්ධ රාජ්‍යය ගුැන මතක් කරල අබෞද්ධ ඡන්ද දිනාගන්නෙ කොහොම ද කියල ඒ අය අහන්න ඉඩ තියෙනවා. ඔවුන් කතෝලිකයන්ට කතා කළොත් ඒ ප්‍රශ්නයට පිළිතුරු හොයා ගන්න පුළුවන් වේවි. අද බොහෝ කතෝලිකයන් දන්නවා තම ආගමික හා සංස්කෘතික අනන්‍යතා ආරක්‍ෂා කර ගනිමින් සිංහල බෞද්ධ ධජය සෙවණේ ඉන්නෙ කොහොම ද කියන එක. 

ඒත් මා දන්නා හැටියට අබෞද්ධ පවුලක උපන් ඩිලාන් පෙරේරාවත් මාක්ස්වාදයෙන් ඔළුව නරක් කරගත් එස් බී දිසානායකවත් සිංහල බෞද්ධ රාජ්‍ය කතාවට එකඟ වෙන එකක් නැහැ. අද ඔවුනුත් ඉන්නෙ පොහොට්ටුවෙ. එස් බී දිසානායක නම් ශ්‍රී ල නි ප හා පොහොට්ටුව එකතු කිරීම වෙනුවෙන් යම් වැඩක් කළා. ඒ ගැන ඔහුට පින්. ඒ ස්තුති කිරීම යන අර්ථයෙන්. ඔහු ජාතිකවාදියකු නො වෙයි. ඔහු තවමත් කොමියුනිස්ට් කාරයෙක්. ඔවුන් ශ්‍රී ල නි පක්‍ෂයට එකතු වුණේ කොමියුනිස්ට් හා සමසමාජ පක්‍ෂ කල් ඉකුත් වූ පක්‍ෂ බව තේරුම් ගැනීම නිසයි. තිස්ස විතාරණත් ඩිව් ගුණසේකරත් තවමත් ඒ බව තේරුම් ගෙන නැහැ. ඒත් ඔවුන් හා එස් බී දිසානායක ඩිලාන් පෙරේරා වැන්නවුන් අතර විශාල වෙනසක් නැහැ. 

ඩිලාන් කලක් විජය කුමාරතුංගගේ මහජන පක්‍ෂයේත් හිටියා. දැන් කොහොම වෙතත් එකල  මහජන පක්‍ෂය සිංහල විරෝධී පක්‍ෂයක්. ඩිලාන් පෙරේරාල එස් බී දිසානායකලා ගැන කියන්න තියෙන්නේ කැලේ මාරු කළත් පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියන කතාව. 

අද ඇතැමුන් අහන ප්‍රශ්නයක් තමයි පොහොට්ටුව ජාතිවාදීවූත් ආගමිකවාදීවූත් අන්තවාදීන් රකින්නාවූත් ඊනියා සුළු ජාතික පක්‍ෂ සමග එකතු වෙන්නෙ කවද ද කියන එක. වැඩියෙන් ම ඒක අහන්නෙ මහින්ද පොහොට්ටුවෙ අයට බද්‍යුද්දීන්ලා විවේචනය කරන්න එපා කිව්ව දවසෙ ඉඳන්. මහින්ද පොහොට්ටුවෙ කාන්තාවන්ට කිව්ව කාන්තාවන්ට බොරු පොරොන්දු දෙන පිරිමි ඉවරයි කියලා. මට කියන්න තියෙන්නෙ සිංහලයන්ට බොරු පොරෙන්දු දෙන බව අඟවන පක්‍ෂත් ඉවරයි කියලා. එහි භයානකකම තියෙන්නෙ එහි වාසිය කරුණාරත්න ජයසූරිය ගැනීමයි. ඔහු පෙනී සිටින්නෙ බෞද්ධ උපාසකයෙක් හැටියට. ඇතැම් හාමුදුරුවරුත් ඔහුට සම්මාන දීල ඒ හැඟීම සිංහල බෞද්ධයන් අතර ඇති කිරීමට උදවු දෙනවා. 

ඇතැමුන් කියන්න පුළුවන් මට ඡන්ද කෙළිය තේරෙන්නෙ නැහැ කියලා. ඒක ක්වොන්ටම් භෞතිකයෙ අධිස්ථාපන (Superposition) මූලධර්මය තේරුම් ගන්න එක වගේ දෙයක් ද? ඒ මූලධර්මය ඊනියා යථාර්ථය ද නැත්නම් ගණිත උපක්‍රමයක් පමණක් ද යන්න ගැන අදත් වාද විවාද ඇති වෙනවා. ඒ විවාදයට දැන් අවුරුදු සියයකට ආසන්නයි. අයින්ස්ටයින් බෝර් ආදීන් ද ඒ විවාදයට සහභාගි වී තියෙනවා. බටහිර විද්‍යාඥයන්ගෙ ප්‍රශ්නය තමයි ඔවුන් ඊනියා සත්‍යය සොයා යැම. බමුණන්ගෙ කිං සච්ච ගවේෂි. නැති සත්‍යයක් හොයන්නෙ කොහොම ද? 

මා කොළඹ නූගන්වන කාලෙ (මා තමාට ඕන දේ නුගන්නපු බව මගේ පියාගේ ශිෂ්‍ය මා මිත්‍ර ලක්‍ෂමන් - ජී එල් - දන්නවා)  එහි භෞතික විද්‍යාව හැදෑරු අද මහාචාර්ය විද්‍යා කීර්ති ආතර් සී ක්ලාක් ආයතනයේ උපදේශක චන්දන ජයරත්න කියල තිබුණ බටහිර විද්‍යාවෙ අද කියන දේ බුදුදහමෙහි තියෙනව කියලා. චන්දන ආධ්‍යත්මික බලය ගැනත් විශ්වාසයක් තියෙන අයෙක්. ඔය පඬි කතා කියන්නෙ නැතිව චන්දනට පුළුවන් ද සූත්‍ර පිටකය කියවලා තව අවුරුදු දහයකින් පහළොවකින් බටහිර විද්‍යාවෙ කියාවි කියල හිතන්න පුළුවන් දේ අද කියන්න. ඒවත් බුදුදහමෙහි තියෙන්න ඕන. පට්ටපල් බොරු විද්‍යාව සමග බුදුදහම සංසන්දනය කරන්නෙ කොහොම ද? එහෙම බැරි බුදුදහම ඇත්ත හින්ද නොවෙයි. බුදුහාමුදුුරුවො බමුණන් වගේ ඊනියා ඇත්තක් හොයන් නොගිය හින්ද. චතුස්කෝටිකය ගැන මෙලෝ හැඟීමක් නැති අය අහවි බුදුදහම ඇත්ත නොවෙයි නම් බොරු ද කියලා. 

කාව හරි කොහොම හරි සතුටු කරල ඡන්දෙ ගන්න එක තේරුම් ගන්න බැරි දෙයක් නො වෙයි. ඒත් හැමෝ ම සතුටු කරල ඡන්දෙ ගන්න එක නම් පහසු දෙයක් නො වෙයි. අදත් මා සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවක දැක්කා දෙමළ ජාතිවාදී පක්‍ෂ මෙරට රජුන් තනන්නා ලෙස හඳුන්වා තියෙනවා. සිංහලයන් මෙරට රජුන් තනන්නන් නොවන්නේ ඇයි? ජනගහනයෙන් 75%කට රජුන් තනන්න බැහැ කියන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සිංහලයන් රජුන් තනන තෙක් මෙරටට වගුතුවක් වෙන්නෙ නැහැ. 1948න් පසු අපට ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම එයයි. 

අර සංධානය හදන්න මෙතරම් පරක්කු වෙන්නෙ ඇයි? ගෝඨාභය මොන පක්‍ෂෙන් ඉදිරිපත් වුණත් ඔහු ජාතික අපේක්‍ෂකයා ලෙස සංධානයත් එක්කයි ඉන්න ඕන. ඒත් අද ඔහු චාරිකා කරන්නෙ පොහාට්ටුව සමග. ඒක නම් එච්චර හොඳ දෙයක් නො වෙයි.