History

Monday, 2 September 2019

සිංහල ජාතිය නැති කරනවා ද?

     සිංහල ලිත් ඉලක්කම්


සිංහල ජාතිය නැති කරනවා ද?



ඉංගිරිසින් අපට දුන් තේ අප බොන්නේ කුමකට ද? තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැණූ ආකාරයට තරුණියන්ගේ සිරුර සකස් කර ගැනීමට, තරුණයන්ට තම පෙම්වතියගේ දෙමව්පියන්ගේ සිත් දිනා ගැනීමට, ලෙන්ගතුකම ඇති කර ගැනීමට සහ තවත් දේට. ඉංගිරිසින් අපට දුන් ක්‍රිකට් අප ක්‍රීඩා කරන්නේ කුමකට ද?  බිග් මැච් යනුවෙන් හඳුන්වන තරගවල දී සිසුන්ට මත්පැන් පානය කරන්න, බාලිකා පාසල්වලට කඩා වැදීමට, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ යැයි කියන අයට ධනය රැස් කර ගැනීමට, ඔවුන්ට වැඩි වැඩියෙන් තරග පැරදීමට, පුහුණු කරුවන්ට දේශපාලනඥයන්ට පමණ නැති වුවත් මුදල් උපයා ගැනීමට අවස්ථාව ලබා දීමට සහ තවත් දේට. 


ඉංගිරිසින් අපට දුන්  ප්‍රජාතන්ත්‍රවාදය සිංහලයන් යොදා ගන්නේ කුමකට ද? එයට නම් ඇත්තේ එක ම එක පිළිතුරයි. ඒ සිංහල ජාතිය නැති කර ගැනීමට. මට ඒ බව මතක් වුණේ අදට ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවා වසර හැටඅටක් පිරෙන නිසයි. ප්‍රජාතන්ත්‍රවාදය නිසා දේශපාලනඥයන් අසීමිත මුදලක් උපයනවා. එය 1977න් පසු ව  කඩා වැටුණු දෙයක්. එහෙත් සිංහල ජාතිය කඩා වැටෙන්නේ ඊට පෙර සිට. අද අප එහි අවසාන අවස්ථාවට පැමිණෙමින් ඉන්නවා. සිංහලයන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ ම පිහිටයි. 

ඊයේ  මා සහභාගි වුණා පිවිතුරු හෙළ උරුමයේ ජාතික සම්මේලනයට. ඔවුන් එහි දී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුර අපේක්‍ෂක ලෙස අනුමත කළා. අප බොහෝ දෙනා කැමතියි අපේ හෙළ උරුමය අවුරුදු විසිපන්දාහටවත් වැඩි අතීතයකට ගෙන යන්න. එහෙත් පුරා විද්‍යාඥයන් එය සිංහලයන්ගේ උරුමයක් නොකිරීමටත් ඉඩ තියෙනවා. බටහිර දැනුම අනුව කටයුතු කරන පුරාවිද්‍යාඥයන්ට අවසානයේ දී බටහිරයන්ට අවශ්‍ය වන ආකාරයට ඉතිහාසය (ප්‍රාග් ඉතිහාසය යැයි කියමු) සකස් කරන්නට වේවි. 

සෙනරත් පරණවිතාන මහතා මහාවංසය හැරෙන්න වෙනත් වංස පොත් ද යොදා ගනිමින් සිංහල ජාතියේ ආරම්භය ගැන විවිධ මත පළ කරලා තියෙනවා. ඒ මත නිකම් ම කෙවිටෙන් ගෙන බැහැර කරන්න බැහැ. මහාවංසයත් ඒ වංසත් එකතු කරන්න පුළුවන් කියා මට හිතෙනවා. මුටසීව හෙවත් මුරුණ්ඩ ශිව රජු අද ඉන්දියාවේ බටහිර වෙරළේ මලබාර් වෙරළ ආශ්‍රීත ප්‍රදේශයක (ප්‍රාණ්ඩයේ)  රජු වූ සිංහල නමැත්තකුගේ පුතකු බව පරණවිතාන මහතා කියන්නේ ඒ වෙනත් වංසකතා ඇසුරෙන්. ඒ මහතා පවසන ආකාරයට පණ්ඩුකාභය (ප්‍රාණ්ඩ අභය) රජු මුටසීව රජුගේ පුතා. ඒ පරම්පරා උරුමය අනුව දේවානම්පිය තිස්ස රජු එකී මලබාර් ප්‍රදේශයේත් රජුව ඉන්න ඕන. මහාවංසය ඒ බවක් කියන්නේ නැහැ. අශෝක රජු කෙළේ දේවානම්පිය තිස්ස රජුට මලබාරය අහිමි කර සිංහලය පමණක් ඉතිරි කිරීම ද? අර දෙවැනි අභිෂේකය කුමක් සඳහා ද? අප සිංහල වූයේ මුටසීවගේ පියා වූ සිංහලගේ නමින් ද? ප්‍රධානියාගේ නමින් ජනතාව හැඳින්වීමකුත් එකල තිබී තියෙනවා. ශකයන් එසේ නම් කෙරුණේ ශක නම් රජකුගේ නමින්. මේ වැඩක් නැති මගේ හිතට එන දේ පමණයි. කොහොමටත් මා නවවැනි පංතියෙන් පසු ඉතිහාසය ඉගෙන ගෙන නැති බවයි සහතික අධ්‍යාපනයෙන් කියැවෙන්නේ.

අද අපට කතා කරන්න සිදු වී ඇත්තේ සිංහලයේ ආරම්භය ගැන නොව සිංහලයාගේ අවසානය ගැනයි. සිංහලයන් වෙනුවෙන් පක්‍ෂ තැනීමට ගිය මෙත්තානන්ද, රාජරත්න වැනි මහත්වරුන්ට සිංහලයන් කිසි දිනෙක බලය ලබා දුන්නේ නැහැ. ඒ ශ්‍රී ල නි පක්‍ෂය තිබූ නිසා වෙන්න පුළුවන්. කලකට පෙර දි මු ජයරත්න, එස් එල් ගුණසේකර ආදීන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ සිහළ උරුමය වෙනුවෙන් කණ්ඩායමක් ක්‍රියාත්මක වුණා. එය යථා කාලයේ දී අභාවයට ගියා. පසු කලෙක චම්පක ජාතික හෙළ උරුමය නිර්මාණය කෙළේ ජනාධිපතිකම තම උරුමය බවට පත් කර ගැනීමටයි. අද ජාතික හෙළ උරුමය රනිල්ට සේවය කරන තවත් පක්‍ෂයක් පමණයි.

වසර කිහිපයකට පෙර දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිංහල මන්ත්‍රී කණ්ඩායම නමින් පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් හතළිස් දෙනකු පමණ එකතු වුණා. මන්ත්‍රීවරයකු නොවුණත් මාත් ඒ රැස්වීම්වලට සහභාගි වුණා. ඇතැම් රැස්වීමකට රත්නසිරි වික්‍රමනායක මහතාත් සහභාගි වුණා. එහෙත් ඒ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම් ද සිංහල උරුමය අනුව නැති වී ගියා. පිවිතුරු හෙළ උරුමයට මා සුබ පතනවා. ඒත් එයට බලයට පත්වීමට ඇති ඉඩකඩ අඩුයි. ඒ සිංහල ගතිය නිසයි. 

ශ්‍රී ල නි ප 1951 දී ආරම්භ වූයේ ලිබරල් පක්‍ෂයක් ලෙස. 1952 මින්නේරිය අතුරු මැතිවරණයත් සමග එය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත් කෙරුණා. 1955 දී පමණ පක්‍ෂය සිංහල බස රාජ්‍ය භාෂාව විය යුතු යන ප්‍රතිපත්තිය සම්මත කර ගත්තා. පනස්හයේ වෙනස සිදුවුණේ ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ ම එ පෙරමුණෙන්. පසුව ම එ පෙ නමින් හැඳින්වුණේ පිලිප් ගුණවර්ධන මහතා නායකත්වය දුන් පක්‍ෂයයි. ශ්‍රී ල නි පක්‍ෂය බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණා.

ලිබරල් පක්‍ෂයක් ලෙස ඇරඹි ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂයක්, ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය, බවට පත් කෙරුණේ සිංහලයන් විසින්. සිංහලයන් ඉන් පසු මෙත්තානන්ද මහතාටවත් රාජරත්න මහතාටවත් වෙනත් පක්‍ෂයක් ගොඩ නැගීමට ඉඩ දුන්නේ නැහැ. ම එ පෙරමුණ 1994 දීත් ක්‍රියාත්මක වූයේ ජාතිකවාදී මෙන් ම මාක්ස්වාදී පක්‍ෂයක් ලෙස. ජ වි පෙරමුණත් එසේමයි. 

අද ම එ පෙරමුණේ මාක්ස්වාදය බෙහෙවින් අඩු වෙලා. ජ වි පෙරමුණේ මාක්ස්වාදයත් ජාතිකත්වයත් අද නැහැ. එය අද ශිෂ්ටත්වයේ පක්‍ෂය වෙලා. වාස්තවික ශිෂ්ටත්වයක් ඇත්තේත් සාපේක්‍ෂ ව. ජ වි පෙ මොන ශිෂ්ටත්වය ද කියල කියන්නෙ නැහැ. ඒක අහගන්න ඕන ඔවුන්ට ඡන්දය දෙන්න බලන් ඉන්නෙ ඡන්දදායකයන්ගෙන්. ඒ ඡන්දදායකයන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඡන්දය දෙන්න යන්න ජ වි පෙ ඉඩ දෙනවා ද අත කපන්නේ නැද්ද යන්නත් ඔවුන්ගෙන් ලබා ගෙන ගිය ජාතික හැඳුනුම්පත් ශිෂ්ටත්වයේ නාමයෙන් ඡන්දය දෙන්න යන්න ආපසු ලබා දෙනවා ද යන්නත් දැන ගැනීමට. ජන බලවේගයේ ලාල්කාන්ත හරි කවුරු හරි  ඒ අය දැනුවත් කරනවා ද?   

ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය වුණේ නායකයන්ගේ වුවමනාවට නොව සිංහල ජනතාවගේ වුවමනාවට. පක්‍ෂයේ නායකයන් අතර ජිම් මුණසිංහ, ස්ටැන්ලි ද සොයිසා ආදීන් ද සිටියා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වුණත් අදත් උපරමාධිකාරවල මුළුමනින් ම මෙන් භාවිතා වන්නේ ඉංගිරිසිය. 

1972 දී පමණ පේරාදෙණියේ විද්‍යා පීඨ රැස්වීම්වල මා සිංහලෙන් කතා කිරීම ප්‍රශ්නයක් වුණා. 2009 මා කැලණියේ විද්‍යා පීඨයේ පීඨාධිපති වුණාට පසු එහි පීඨ මණ්ඩල රැස්වීම් වාර්තා සිිංහලෙන් පිළියෙළ කළා. එයට විරුද්ධතා ඇති වුණා. ඒ අය ඉතා හොඳ ඉංගිරිසියෙන් කතා කරන අය නො වෙයි. මා සේවයෙන් ඉවත් වීමෙන් පසු වාර්තා නැවතත් ඉංගිරිසියෙන් සටහන් වෙනවා. මේ මගේ අත්දැකීම් දෙකක් පමණයි. සිංහල ජනතාවට අවශ්‍ය වුණත් ශ්‍රී ල නි පක්‍ෂය ඒ අපේක්‍ෂා ඒ ආකාරයෙන් ඉටු කෙළේ නැහැ. 

2015 දී  ශ්‍රී ල නි ප ලේකම් හා ඇතැම් මන්ත්‍රීවරුන් එ ජා ප සමග සම්මුතියකට එළඹීමෙන් පසු ශ්‍රී ල නි ප මරා දැමුණා. එහෙත් ජනතාව තවමත් ඉන්නේ ජාතිකත්වයේ. ඔවුන්ට අද බලවත් පක්‍ෂයක් නැහැ. පොහොට්ටුව ජාතිකත්වයේ පක්‍ෂයක් වී නැහැ. එහෙත් සිංහලයන් තවමත් මහින්ද හා ගෝඨාභය මගින් ජාතිකත්වය දකිනවා. ගෝඨාභය කිසිම පක්‍ෂයක සාමාජිකයකු නො වෙයි. ඔහු දිගට ම එසේ ම ඉන්න ඕන. 

ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාලටත් යම් ජාතිකත්වයක් තියෙනවා. ගෝඨාභයත් මහින්දත් මෛත්‍රිපාලත් අතීතය කුමක් වුවත් සිංහලයන්ට අනාගතයක් තිබීමට නම් එකතු විය යුතුයි. එසේ එකතු නූණොත් සිංහලයන්ට අනාගතයක් නැහැ. සිංහලයන්ගේ ආරම්භය කෙසේ සිදු වුණත් අවසානය සිදුවණු ඇත්තේ මේ අයට එකතු වීමට නොහැකි වුණොත්. දිනේෂ් විමල් ගම්මන්පිළ ඒ එකතුවේ සාක්‍ෂිකරුවන් හා හවුල්කරුවන් වෙන්න ඕන. 

ශ්‍රී ල නි පක්‍ෂයේ කිසිවකුවත් පොහොට්ටුවේ  කිසිවකුවත් අප්‍රධාන කරුණු පෙරදැරි කර ගෙන ඒ එකතුවට බාධා කරනවා නම් ඒ සිංහල ජාතියේ අවසානය දැකීමට ඔවුන්ට අවශ්‍ය නිසා ද? කිසිම වැදගැම්මකට නැති පෞද්ගලික කරුණු නිසා සිංහල ජාතිය විනාශ කරනවා ද?