History

Friday, 1 November 2019

සිරිජාතිකවාදී මා

    සිංහල ලිත් ඉලක්කම්


සිරිජාතිකවාදී මා 




ඊයේ (ඔක්තෝම්බර් 31) මෙරට වැදගත් දිනයක්. පක්‍ෂ හා සංවිධාන දහහතක් එකතු වී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය ගොඩ නැගුවා. එහි ඇතැම් පක්‍ෂ හා සංවිධාන මැතිවරණ කොමිසමේ ලියා පදිංචි නැහැ. එය එතරම් වැදගත් නැහැ. ඇතැමුනට මේ නව සංධානය මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වූ වාහකයක් පමණයි. එයත් ඇතැමුන් තම පාක්‍ෂිකයන් ඉදිරිපත් කිරීම සඳහා උපක්‍රමයක් ලෙස යොදා ගන්නවා. පොදුජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට හැරුණු විට අනෙක් පක්‍ෂ හා සංවිධාන සියල්ලට ම ලැබෙන්නේ අපේක්‍ෂකයන්ගෙන් 18%ක් පමණයි. එය පක්‍ෂ හා සංවිධාන පහළොවක් අතර බෙදී යන්න ඕන. ඒ පක්‍ෂකයට සාමාන්‍යයෙන් අපේක්‍ෂකයන් තුන්දෙනකු පමණ ලැබෙන්න පුළුවන්. ඇතැම් පක්‍ෂයකට එයට වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුළුවන්. ඊයේ සිට මහා මැතිවරණයට අපේක්‍ෂකයන් තේරීම නිල වශයෙන් ආරම්භ වුණා.


අපේ රටේ ඇති දේශපාලන පක්‍ෂ ක්‍රමය හා මැතිවරණ ක්‍රමය අනුව ඉහත සඳහන් තේරීම හා තරගය, යටිකූට්ටු වැඩ බෙලි කැපීම් අපේක්‍ෂා කරන්න ඕන. එයට අමතර ව ජාතික ලැයිස්තු පොරයත් තියෙනවා. ඒ අතර තානාපතිකම්, සභාපතිකම් හා තවත් තනතුරු බලාපොරොත්තු වන පිරිස් ඉන්නවා. මෙරට දෙබිඩ්ඩන්ගේ  රටක්. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ දින වේදිකාවේ ඉදිරි පෙළ සිටි අයකු ඊයේ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටත් සහභාගි වූ බව දැන ගැනීමට තියෙනවා. එය ඇත්තක් ද කියා හරියට කියන්න බැහැ. ඇත්තක් නම් පුදුම වෙන්න දේකුත් නැහැ. 

මේ තරග යටිකූට්ටු වැඩ කොහොම වුනත් ඊයේ සිදු වූයේ ජාතික හා වාම කේන්ද්‍රීය පක්‍ෂවල එකතුවක්. මටත් ඒ උත්සවයට සහභාගි වීමට ඉඩක් ලැබීම ගැන සතුටු වෙනවා. ඒ ලකුණු දමා ගැනීමට නම් නො වෙයි. මා එහි නියෝජනය වූ කිසිම දේශපාලනයක සංවිධානයක සාමාජිකයකු නො වෙයි.  සමසමාජ පක්‍ෂයේ 1972 සම්මේලනය පවත්වන කාලයේ මා ඒ පක්‍ෂයේ සාමාජිකයකු ලෙස ද මහනුවර දිස්ත්‍රික් ලේකම් ලෙස ද කටයුතු කර තිබෙනවා. මා සරසවි සිසුවකු ව සිටි කාලයේත් තිස්ස විතාරණ දැන හිටියා. ඒ හැටේ දශකයේ මුල. 1994 මැතිවරණයේ දී මා මහජන එක්සත් පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළා. දිනේෂ් ගුණවර්ධන මගේ සමීප මිතුරෙක්. එහෙත් කිසි දිනෙක ඒ පක්‍ෂයේ සාමාජිකයකු වී නැහැ. පක්‍ෂයකින් තරග කරන්න අදාළ පක්‍ෂයේ සාමාජිකයකු වීමට අවශ්‍ය නැහැ. 

1987 පමණ සිට මා චින්තන පර්ෂදයේ ලේකම්. ඒ රනිල් එ ජා පක්‍ෂ නායකයා වීමට කලින් සිට.  මාස හයක පමණ කාලයක සිට ජාතික සංවිධාන සම්මේලනයේ (එකමුතුවේ නො වෙයි) කටයුතු කරනවා. ඒ චින්තන පර්ෂදයේ නියෝජිතයකු ලෙස. මුහුණු පොතේ බොහෝ පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන්ට නම් මා ඉතා මැතක දී අහසින් කඩා වැටුණු කිසිම දේශපාලනයක් නොදත් අපෝහකය වැනි වචන අහලවත් නැති ජාතිවාදියෙක්, බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කියන, මිථ්‍යාමත වපුරන නාථ දෙවියන් ගැන කතා කරන අයෙක්. 

ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ ජාතිකත්වය එතරම් නැහැ. වමකුත් නැහැ. එහෙත් එහි වාම සටන් පාඨ කියැවෙනවා. අධිරාජ්‍ය විරෝධය බොහෝ දෙනා ළඟ තියෙනවා. දැන් ලෝකයේ අධිරාජ්‍යවාදයක් නැහැ. ලෙනින්ගේ අධිරාජ්‍යවාදය කියන සංකල්පය වලංගු නැහැ. තමන් අධිරාජ්‍ය විරෝධී වන්නේ කිනම් අර්ථයකින් ද කියා බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ බොහෝ දෙනාට ඕන හැකි ඉක්මනින් ලංකාව ඇමරිකාවක් කරන්න. ඇමරිකාවේ දියුණුව අත්පත් කර ගන්න. බැරි නම් සිංගප්පූරුවක් කර ගන්න. බැරි ම නම් බංග්ලා දේශයක් කර ගන්න. විජය ආවෙත් ඒ පැත්තෙන් කියල කියනවා.

එ ජා ප ප්‍රමුඛ දකිණාංශික කඳවුර විතරක් නොවෙයි ව්‍යාජ මාක්ස්වාදී ජ වි පෙරමුණත් ඊනියා සිවල් සාමාජිකයන් හා ලට්ට ලොට්ට ගත්ත ම ජාතික හා වාම කඳවුර තියෙන්නෙ බොහෝ ඉදිරියෙන්. ඒත් තාමත් එහි බොහෝ නායකයන්ට ජනතාව ඉන්න තැනට ඒ්මට හැකි වෙලා නැහැ. ජනතාවගේ ජාතිකත්වය ඇත්තේ ඉතා ඉහළ තලයක. ධර්මපාලතුමා මතු කළ ජාතිකත්වය ඩී එස් සේනානායක උපක්‍රමශීලී ව යටපත් කිරීමත් සමග ජාතිකත්වය තිබු සඟ වෙද ගුරු යම් පිරිසක් තිස්ගණන්වල ඇරඹුණු සමසමාජ ව්‍යාපාරය සමග බැඳුණා. ඒ ජාතිකත්වය යටත්විජිත විරෝධය සමාජවාදය ආදිය මිශ්‍ර කර ගෙන. ඉන් පසු භාෂා ව්‍යාපාරය හරහා මධ්‍යම පාංතික කොටස් නැවතත් ජාතිකත්වයක් මතු කළා. බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමෙන් පසු ජාතිකත්වයට නැඹුරු වූ පිරිස් ඒ පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත් කර ගත්තා. ඉන් අවුරුදු දහයක් ඇතුළත වම නැති වුනා. අද වමක් නැහැ. ජ වි පෙ වමේ හොල්මනක් පමණයි. 

ඒත් ජාතික හා වාම කේන්ද්‍රීය පක්‍ෂ තවමත් ජාතිකත්වයෙන් මෙහෙය වෙන්නෙ නැහැ. ශ්‍රී ල නි ප 2015 දී ඊනියා යහපාලනයට යෑමත් සමග ජාතිකත්වය තවත් අවුල් වුනා. ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායම එදා කෙළේ වරදක්. එහෙත් ඔවුන් කවදා නමුත් එ ජා ප සමග දීගය අත්හැරීමට නියම ව තිබුණා. අප 2015 පෙබරවාරියේ පමණ සිට මෛත්‍රිපාල මහින්ද එකතුවක් ගැන කතා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මා සමග කටයුතු කළ බොහෝ දෙනා ඉවත් වුනා. ඔවුන් මට සිරිජාතිකවාදියා කියන නම දුන්නා. ඊයේ ඒ අය පදනම් ආයතනයේ එහාට මෙහාට දුවමින් ලකුණු ලබා ගැනීමේ ව්‍යාපාරයක නිරත ව සිටියා. 

කෙසේ වෙතත් ශ්‍රී ල නි ප නැවතත් ජාතික හා වාම කේන්ද්‍රිය කඳවුරට පැමිණීම ජාතිකත්වයේ ජයග්‍රහණයක්. ජාතිකත්වයේ බොහෝ දෙනකුට මා කියන කතා එකක්වත් තේරෙන්නේ නැහැ. දැනුම පිළිබඳ ප්‍රශ්නය, දැනුම් එකාධිකාරය ඔවුන්ට දැනෙන්නේ නැහැ. ලෝකයේ  ක්‍රියාත්මක වන බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික අධිපතිවාදී සංස්ථාපනය ඔවුන්ට තේරෙන්නේ නැහැ. 
  
ඔවුන් විශාල පිරිසක් ආධ්‍යාත්මික පැත්තට බරයි. ඒ අතර බටහිර විද්‍යාව ද පිළිගන්නවා. ඊනියා මහා පිපුරුම විශ්වාස කරනවා. එහෙත් අග්ගඤ්ඤ සූත්‍රයත් දන්නවා. මගේ ආචාර්ය උපාධිය විශ්වයේ ප්‍රසාරණය හා මහා පිපිරුමට සම්බන්ධයි. මා මහා පිපිරුම විශ්වාස කරන්නේ නැහැ. අවුරුදු පනහකට පමණ පෙර ලියූ ආචාර්ය උපාධි නිබන්ධනය බොරුවක් බව මා දන්නවා. මගේ ශිෂ්‍යයන් හා එක් වී අග්ගඤ්ඤ සූත්‍රයට අනුව විශ්වය ප්‍රසාරණය වී සංකෝචනය වන චක්‍රීය ආකෘතියක් නිර්මාණය කර තියෙනවා. එහෙත් එය බටහිර මැවුම්වාදයට විරුද්ධයි. මහා පිපුරුම පමණක් නොව ඩාවින්වාදයත් මිනිසාගේ සම්භවය අප්‍රිකාවට කොටු කිරීමට බටහිරයන් දරණ උත්සාහයත් මැවුම්කරුවකු නොමැතිව මැවීමක් හා රේඛීය විකාශයක් ගැන කතා කිරීමක්. හරි නොගියත් මාක්ස්වාදයත් එහි ම කොටසක්.

මා ආධ්‍යාත්මික පැත්තට නැඹුරු නූනත් මා එහි ශක්තිය දන්නවා. ඒ මගින් දැනුමක් නිර්මාණය කර ගත හැකි බවත් මා දන්නවා. සම්‍යක්දෘෂ්ටික දෙවි දේවතාවුන් මෙරට දිහා බලන බවත් මට දැනෙනවා. ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරට දෙවියන් ශක්තිය ලබා දේවි. ඒ සඳහාත් ගෝඨාභයගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහාත් අප තව තවත් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු විය යුතුයි. බෝධි පූජා හා වෙනත් පිංකම් පැවැත්විය යුතුයි.

ජනමාධ්‍යයෙන් ඒ කිසිවකට ප්‍රචාරය ලැබෙන එකක් නැහැ. ඔවුන් ප්‍රචාරය දෙන්නේ දේශපාලන පක්‍ෂ රැස්වීම්වලට හා නුවර ගොස් අටපිරිකර පූජා කිරීම්වලට පමණයි. ජනමාධ්‍ය ජාතිකත්වයට හරවා ගැනීමත් ප්‍රශ්නයක්. 

ඊයේ සිදුවීම ගැන මට සතුටක් තියෙනවා. ඒ අර හැමෝමත් වගේ කියන ඊනියා නිහතමානි ආඩම්බරයක් නො වෙයි. ඒ බොරු කතා. ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුර එක් තැනකට ගේන්න පුළුවන් වීමත් ජයග්‍රහණයක්. එහෙත් එය එතැනින් කෙළවර වන්නේ නැහැ. කඳවුරේ ජාතිකත්වය තහවුරු කරන්න ඕන. ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ඔක්කොම සිරිජාතිකවාදීන් ද? එහෙත් සිරිජාතිකවාදියකු වීමට පෙර ජාතිකවාදියකු වෙන්න ඕන.