History

Saturday, 2 November 2019

ජනමාධ්‍ය, ගිවිසුම් හා භාරකාර ආණ්ඩුව

      සිංහල ලිත් ඉලක්කම් 

ජනමාධ්‍ය, ගිවිසුම් හා භාරකාර ආණ්ඩුව  




මේ ආණ්ඩුව තරම් තක්කඩි විජාතික ආණ්ඩුවක් තවත් තිබිලා නැහැ. ලෝක පුදුමයකින් සජිත් ජනාධිපති වුණත් තක්කඩිකම නැති වෙන්නෙ නැහැ. ඔහුගෙ අගමැති වෙන්න ඉඩක් තියෙන්නෙ මංගලට. ඔහුට පනවා ඇති කොන්දේසි අනුව නම් රනිල් අගමැති වෙන්න ඕන. කවුරු අගමැති වුනත්   තක්කඩිකම ඉවර වෙන්නෙ නැහැ. මංගලලා චම්පකලා රාජිතලා රවිලා ඉන්න ආණ්ඩුවක් තක්කඩි ආණ්ඩුවක් මිස වෙන එකක් නො වෙයි. සජිත්ගෙ ආණ්ඩුවකින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන බවට රාජිත චම්පක මංගල වැනි අය සහතික වේවි. ජ වි පෙ මේ ගිවිසුම ගැන දක්වන නිහැඬියාව කන් බිහිරි කරවන තරම්.


ඊයේ (නොවැම්බර් 01) එකී ගිවිසුම පිළිබඳ මගේ ලිපියේ කොටස් කිහිපයක් මූහුණු පොතේ  තම්බපන්නි පුවරුවේ පළ කරලා. මට දැන ගන්න ලැබුණෙ ඒ කොටස් කිහිපයට විරුද්ධ ව මුහුණු පොතට පැමිණිලි රාශියක් ලැබී තිබූ බවයි. කිසියම් පිරිසක් සංවිධානාත්මක ව ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලියි. ජනමාධ්‍යයෙහි ඉන්න පඬියන් නම් මට කිසිම ප්‍රචාරයක් දෙන්නේ නැහැ. අරුණ පුවත්පත පමණක් බදාදාට මේ ලිපිය පළ කරනවා. එහෙත් දෙරණවත් ප්‍රචාරයක් දෙන්නේ නැහැ. දෙරණට සම්බන්ධ  යම් පිිරිසක් මගේ අදහස්වලට ඉඩ දෙන්නේ නැහැ. ඒ පිරිසට දිලිත් හැරෙන්න උඩ ඉන්න අයත් සම්බන්ධයි. පහුගිය දිනවල අප පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවල මා කළ එක් ප්‍රකාශයකයටවත් දෙරණ ඉඩක් දුන්නේ නැහැ. මට විරුද්ධ ව වැඩියෙන් ම වැඩ කරන්නේ මගේ ශිෂ්‍යයන් කියන පිරිසකුයි. 

මා ඊයේ කියා සිටියේ ජාතික අපේක්‍ෂක ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී මිලේනියම් ගිවිසුම අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන බවට ප්‍රකාශයක් කළ යුතු බවයි. එවිට ජනාධිපතිවරණයෙන් ගෝඨාභය දිනූ පසු තක්කඩි ආණ්ඩුව ඉදිරි දින කිහිපයෙහි ගිවිසුම අත්සන් කළත් එය වහාම අහෝසි කරන්න පුළුවන්. තක්කඩි ආණ්ඩුව ජනාධිපති මෛත්‍රිපාලගෙ උපදෙස් නියෝග නොතකා වැඩ කරන්න පුළුවන්.

ගෝඨාභයගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රසිද්ධ කළ දිනයේ මහින්ද රාජපක්‍ෂ තම කතාව අවසන් වීමෙන් පසුවත් ක්‍ෂණික ව මතක් වී ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා ජනමත විචාරණයක් සඳහා ය යන වගන්තිය අවධාරණයෙන් ප්‍රකාශ කළා. වත්මන් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි වන්නේ 2020 පෙබරවාරි 17 වැනි දිනට පසුවයි. ජනමත විචාරණ පවත්වන්නේ කෙසේ ද කිනම් වික දී ද යන්නත් ව්‍යවස්ථාවෙහි සඳහන් වෙනවා. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි මහින්ද අවධාරණය කළ වගන්තියෙන් කියැවෙන්නේ ව්‍යවස්ථාවෙහි කුමක් සඳහන් වුව ද යම් කිසි විශේෂිත කරුණක් සඳහා ජනාධිපතිවරණය ජනමත විචාරණයක් ලෙස ද සලකන බවයි.

පරමාධිපත්‍යය තියෙන්නෙ ජනතාවට. මැතිවරණ ජනාධිපතිවරණ අතරෙදි පමණයි ජනාධිපතිට පාර්ලිමේන්තුවට ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මැතිවරණයක දි හා ජනාධිපතිවරණයක දි ජනතාව සෘජුව ම තම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරනවා. මහින්ද යොදා ගන්නේ ඒ පරමාධිපත්‍යයයි. මිලේනියම් ගිවිසුම සම්බන්ධයෙනුත් ඒ ජනතා පරමාධිපත්‍යය යොදා ගන්න පුළුවන්. එය ව්‍යවස්ථාවේ තියෙනවා ද නැත් ද වැනි කතා වලංගු වෙන්නේ නැහැ. එක්තරා ආකාරයකට ගතහොත් මැතිවරණයක දී හෝ ජනාධිපතිවරණයක දී හෝ ජනතාවගේ නියෝජිතයන් මගින් සම්මත කර ගත් ව්‍යවස්ථාව යම් කරුණක් සම්බන්ධයෙන් අත්හිටුවනවා. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනමත විචාරණයක් ලෙස ජනාධිපතිවරණය සලකන බව සඳහන් වන්නේ ඒ ජනතා පරමාධිපත්‍යය යොදා ගෙන. මේ තර්කය බටහිර දේශපාලන විද්‍යාඥයන් සඳහන් නොකරන්නේ නම්, ජනමාධ්‍යවේදී පඬියන්ට නොතේරෙන්නේ නම් මට කරන්න  දෙයක් නැහැ. ඔවුන් මේ අදහස්වලට ප්‍රචාරය නොදෙන්නේ නම් එය ඔවුන්ගේ වැඩක්. මගේ කාර්යය බටහිරයන්ගේ අදහස් ප්‍රචාරය කිරීම නොවෙයි. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් නම් කරන්නේ ඒ පමණයි. 

අනෙක් අතට දැන් තියෙන්නේ භාරකාර ආණ්ඩුවක්. ව්‍යවස්ථාවෙහි ඒ බවක් සඳහන් වන්නේත් නැහැ වවස්ථාවෙහි භාරකාර ආණ්ඩුවක් ගැන කියැවෙන්නේ මැතිවරණය සම්බන්ධයෙන් පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නැවත පාර්ලිමේන්තුවක් පත් කර ගන්නාතුරු පවතින්නේ භාරකාර ආණ්ඩුවක්.  ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසුව නව ජනාධිපතිවරයකු පත් කර ගන්නා තෙක් පවතින්නේත් භාරකාර ආණ්ඩුවක්. ඒ බවක් ව්‍යවස්ථාවෙහි සඳහන් වන්නේ නැති එක ප්‍රශ්නයක් නො වෙයි. 

ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ ජනාධිපති කෙනකු පත් කර ගැනීමට පමණක් නොවෙයි. ආණ්ඩුවක් ද පත් කර ගැනීමටත්. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු ජනාධිපති බල රහිත පුද්ගලයකු කර නැහැ. ඔහු ආණ්ඩුවේ ප්‍රධානියා. අමාත්‍ය මන්ඩලයේ ප්‍රධානියා. ආණ්ඩුකාරයන් ලේකම්වරුන් පත් කරන්නා. ඔහු අගමැතිත් පත් කරන්නා. ලේකම්වරුන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙහි මෙවැන්නක් කියැවෙනවා. 

“41 (4): නව ජනාධිපතිවරයකු ජනාධිපති ධුරය භාර ගත් විට ඒ සෑම ලේකම්වරයකු ම, නිලධරයකු ම සහ කාර්ය මණ්ඩලයේ සෑම සාමාජිකයකු ම ධුර දැරීම අවසාන වන්නේ ය."

මෙහි අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නැහැ. මා අනේක වාරයක් උපුටා දක්වා ඇති (42) (43) ව්‍යවස්ථා මෙසේ ය.

“42. (1) ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය.
(2) අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේ ය.
(3) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානයා ද වන්නේ ය.
(4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.
43. (1) අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කළ යුත්තේ ය.
(2) ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරිම සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය.
(3) ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.”

42  (4) යටතේ ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම වශයෙන් විශ්වාසය ඇති තැනැත්තා අගමැති ලෙස පත් කරනවා. මෙහි වැදගත් වචන වන්නේ තම මතය අනුව යන්නයි. ඒ සඳහා ජනාධිපති පාර්ලිමේන්තුව විමසිය යුතු නැහැ. 2015 ජනවාරි 9 වැනි දා හා 2018 ඔකතෝම්බර් 26 වැනි දා ජනාධිපති  මෛත්‍රිපාල ක්‍රියා කෙළේ මේ වගන්තිය අනුවයි. 2019 නොවැමබර් 18 වැනි දා ගෝඨාභය ක්‍රියා කරනු ඇත්තේ ද මේ වගන්තිය අනුවයි. ඔහු කිසි දිනෙකවත් රනිල් අගමැති ලෙස පත් කරන්නේ නැහැ. ඉන් පසු ඔහුට අගමැතිගේ ද අදහස්   අවශ්‍ය නම් විමසා ඇමතිවරුන් පත් කරන්න පුළුවන්. ගෝඨාභය කිස දිනෙක රාජිතලා චම්පකලා රවිලා මංගලලා ඇමතිවරුන් කරන එකක් නැහැ. තව ද 43(4) යටතේ ගෝඨාභයට කාගෙන්වත් අහන්නෙ නැතිව අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කරන්න පුළුවන්.

මෙයින් කියැවෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව නව ජනාධිපතිවරයකු මෙන් ම නව ආණ්ඩුවක් ද පත්වෙන බවයි. සජිත් නොදන්නාකමට කුමක් කීවත් ජනාධිපතිවරණය හුදු ජනාධිපතිවරණයක් නො වෙයි. එබැවින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මෙරට පවතින්නේ නව ආණ්ඩුවක් බලා සිටින ආණ්ඩුවක්. වෙනත් වචනවලින් කිවහොත් භාරකාර ආණ්ඩුවක්. ව්‍යවස්ථාවේ ප්‍රකාශිත ව සඳහන් නොවුණ ද (42) (43) වගන්තිවලින් ගම්‍ය වන්නේ දැන් පවතින්නේ භාරකාර ආණ්ඩුවක් බවයි. භාරකාර ආණ්ඩුවකට පිටරටවල් සමග ගිවිසුම්වලට එළඹෙන්න බැහැ.