History

Friday, 22 November 2019

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව

 සිංහල ලිත් ඉලක්කම් 

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව


ජනතා සේවකයන්ගේ තරම දැන් පේන්න පටන් අරන්. ඇමතිකම්වලට ලොකු පොරයක් තිබිලා. ගෝඨාභය කියල තියෙනවා ඇමතිවරුන් පහළොස්දෙනකුට සීමා කරනවා කියලා. පහළොස්දෙනා තෝරන්න වෙන්නෙ 50%ක් පොදුජන පෙරමුණට, 32%ක් ශ්‍රී ල නි පක්‍ෂයට, 18%ක් ඉතිරි පක්‍ෂවලට කියන සූත්‍රයට අනුව. 15න් 18%ක් කියන්නෙ 2.7ක්. 32%ක් කියන්නෙ 4.8ක්.  50%ක් කියන්නෙ 7.5ක්. මිනිසුන් දශම ගණනින් නැති නිසා මේ සංඛ්‍යා රවුම් කරන්න වෙනවා.  එවිට පොදුජන පෙරමුණට 8 යි. ශ්‍රී ල නි පක්‍ෂයට 5 යිි. අනෙක් පක්‍ෂවලට 3 යි.  එවිට දහසයක් වෙනවා. පහළොවක් කියන්නෙ පොඩි සංඛ්‍යාවක්. එය ප්‍රතිශත අනුව බෙදන විට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ශ්‍රි ල නි පක්‍ෂයට හිමි සමහර ඇමතිකම්  අනෙක් පක්‍ෂවලට දෙන්න වෙලා. මේ  අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් ඉන්න පුළුවන්.  රාජ්‍ය ඇමතිවරුන් නම් ව්‍යවස්ථාවට අනුව බැහැ. 


ඒත් ප්‍රායෝගික ව මේ කතා හරි යනව ද? ඇමති ධුර බලාගෙන 50ක්වත් ඇති. ජනතා සේවයට කැප වෙන්නෙ ඇමතිකම් බලාගෙන නොවෙයි ද කියල අහන්න පුළුවන්. මට නම් මේ ඊනියා ප්‍රායෝගික කතා තේරෙන්නෙ නැහැ. මා ජනතා සේවකයකුත් නො වෙයි. ඒත් මට මගේ පාඩුවේ ඉන්න කියල කිව්වට එහෙම ඉන්නත් බැහැ. මට කිසිම දෙයක් අවශ්‍ය නූනත්  කතා කරන්න ඕන. නැහැ ලියන්න ඕන. කතා කරාට ජනමාධ්‍යයෙ ප්‍රචාරය වෙන්නෙ නැහැ. ඒ මා උගතකුවත් ජගතකුවත් නොවන නිසා. ඒත් සමහරුන්ට අනුව මා එහෙම හිතන මෝඩයෙක්. 

ඇමතිකම් තියෙන්නෙ මාස හතරටයි. මාස හතරකට හරි ඇමතිකමක් කියන්නෙ ලොකු දෙයක් වෙන්න ඕන. නැත්නම් මේකට මෙච්චර පොර කාවි යැයි. ඒ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ විපක්‍ෂ නායකකමට පොර වැදිලා. කරුට අනුව රනිල් තමයි විපක්‍ෂ නායකයා. ඒ විපක්‍ෂයෙ වැඩි බලය තියෙන්නෙ එ ජා පෙරමුණට නිසා. සජිත්ගෙ පක්‍ෂයක් පාර්ලිමේන්තුවෙ නැහැ. ඒ නිසා සජිත් විපක්‍ෂ නායක වෙන්න බැහැ. පහුගිය කාලෙ ඒකාබද්ධ විපක්‍ෂෙට විපක්‍ෂ නායකකම ලැබුණෙ නැත්තෙත් ඒ නිසා. දිනේෂ්ට විපක්‍ෂ නායකකම අහිමි බව මා එදත් කිව්ව. අවසානයේ සජිත් තම කණ්ඩායම පාවා දෙයි ද? කවුරු විරුද්ධ පක්‍ෂෙ නායක වුනා ම අපට මොකෝ කියල මැකොස කියන එකක් නැහැ. 

මිනිසුන් ඡන්දය දුන්නෙ ගෝඨාභය ජනාධිපති කරන්න. ඔහු පක්‍ෂයකට බැඳිලා නැහැ. ඔහුට ස්වාධීන ව තීරණ ගන්න ශක්තිය ලබා දෙන්න ඕන. ශක්තිය කිව්ව ම මයිලෝ මතක් වෙනවා. මා බීපුව නොවෙයි. මට සිරිජාතිකවාදීන් කී අය මෛත්‍රිපාලට අරන් දෙන්න කියපුව. 

ප්‍රශ්නය තියෙන්නෙ ඇතැමුන් හිතනව තමන් නැත්නම් ගෝඨාභය දිනන්නෙ නැහැ කියල. ගෝටාභය දිනුවෙ මහින්ද හින්දවත් නො වෙයි. මිනිසුන් මහින්දට ආකර්ෂණය වන බව ඇත්ත. ඒත් ඒ අධිවේගී මාර්ග හැදුව හින්ද නම් නො වෙයි. ඒ කොටි පරද්දපු හින්ද. කාට හරි අහන්න පුළුවන් එහෙනම් 2015 පැරදුනෙ ඇයි කියල. 

ඒකට උත්තරේ එවර මහින්දත් සංධානයත් සිංහල බෞද්ධයන් නොසැලකූ හින්ද කියන එකයි. 2010න් පස්සෙ මහින්ද බැසිල් ආදීන් වැඩ කෙළෙ සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අමතක කරමින්. කොටි පරාද කිරීමේ සම්පූර්ණ ගෞරවය තමන්ට හිමි යැයි මහින්ද කල්පනා කළා. සිංහල ඡන්ද කොහොමටත් තමන්ට ලැබේවි කියා ඔහු හිතුව. ඊනියා සර්වාගමික කතා වැඩි වැඩියෙන් කියන්න පටන් ගත්ත. ස්මාට් ජාතිකවාදීන් ළඟට ගත්තා. අර දයාන් ජයතිලක දැන් කොහෙද?  අවසානයෙදි සිංහල බෞද්ධ ඡන්ද නොලැබුණු නිසයි මහින්ද පැරදුනෙ. 

මෙරට සිංහල බෞද්ධ රටක්. දැන් සිංහල බෞද්ධ රාජ්‍යයක් නූනත් කලක දි සිංහල බෞද්ධ රාජ්‍යයක් ව තිබුණු රටක. මෙරට සිංහල බෞද්ධ රටක් බව මංගල වැනි අබෞද්ධයන් කිහිප දෙනකු හැරෙන්න බෞද්ධ අබෞද්ධ ඉතා වැඩි පිරිසක් පිළිගන්නවා. සිංහල බෞද්ධ රටෙහි සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂ තැනක් හිමි වන්න ඕන. සියළු මිනිසුන් වියුක්තව සමාන වෙන්න පුළුවන්. ඒත් සංස්කෘතීන් වියුක්තවවත් සමාන වන්නෙ නැහැ. ඊනියා සර්වාගමික කතාව ස්මාට් ජාතිකවාදීන්ගෙ බොරුවක්. මහින්ද ඊයෙත් වැඩ ආරම්භ කරන විට ඊනියා සර්වාගමික උත්සවයක් පැවැත්තුවෙ ගෝඨාභයට පිටු පෑමෙන්. 

2015ත් සිංහල බෞද්ධ ජාතිකත්වයක් තිබුණා. එය මහින්දගෙ හා බැසිල්ගෙ වැඩ නිසා මහින්දට සම්පූර්ණයෙන් ලැබුණෙ නැහැ. මෛත්‍රිපාල ඒ නැති වූ කොටස දිනා ගත්තා. 2019 දි සිංහල ජාතිකත්වය ගෝඨාභය සමග හිටියා. ඒ මහින්ද නිසාවත් බැසිල් නිසාවත් නො වෙයි. මිනිසුන් මහින්දට ආකර්ෂණයක් තියෙන එක ඇත්ත. ඒ් කොටි පරද්දපු නිසා. ඒත් ඔහු ස්ථිර අධිෂ්ඨානයකින් ඒ කෙළේ නැහැ. එහි දී ස්ථිර ව සිටියෙ ගෝඨාභය. මහින්දට ඇති ජනතා ආකරෂණයට ඔහු මුළුමනින් ම හේතුදායක වුනා කියා මා විශ්වාස කරන්නෙ නැහැ.

අපට අමතක වෙන්න පුළුවන් ගෝඨාභය ජාතික අපේක්‍ෂක බවත් දැන් ජාතික ජනාධිපති බවත්. අද ඇමතිකම් බලාපොරොත්තුවෙන් ඉඳලා ඒ කඩකර ගත්ත අය හිතන්න පුළුවන් තමන් නිසා ගෝඨාභය දිනලත් තමන්ට හරියට සැලකුවෙ නැහැ කියල. ඔවුන්ට කියන්න තියෙන්නෙ ඔවුන් දිනන්නෙ පක්‍ෂ නිසා බව. මගුල් ගෙවල්වල, මළ ගෙවල්වල, කොටහළු ගෙවල්වල ගිය නිසා ඡන්ද ටිකක් ලැබෙන්න ඇති. ඒත් ඒ ඡන්ද ටිකෙන් පමණක් දිනන්න බැහැ. දැන්වත් මේ ටික තේරුම් ගනිමු. 

ඇමති මඬුල්ල තේරීම ගැන සමස්තයක් ලෙස එකඟ වන්න පුළුවන්. ඒත් ආණ්ඩුකාරකම් ගැන නම් තරමක ප්‍රශ්න තියෙනවා. ඒවා හදා ගනිමු.