History

Saturday, 23 November 2019

සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ

      සිංහල ලිත් ඉලක්කම්


සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ



ඉතා පැහැදිලි ව සිංහල බෞද්ධ ජාතිකත්වය පසුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක කවදාටත් වඩා අද තහවුරු වෙලා. මේ ගැන විවිධ පඬියන් විවිධ කතා කියනවා. ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන අය කියන්නේ තම තමන් නිසා ඒ තත්වය ඇතිවෙලා කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. ජනමාධ්‍යයෙහිත් ප්‍රචාරය වන්නේ ඒ අයගෙ කතා. ඒ නිසා ජනතාවත් දන්නේ ඔවුන් ගැන. මා නම් මේ තත්වය ඇති වීමට කිසිම අයුරකින් දායක වී නැහැ. මගේ අදහස් ප්‍රචාරය කිරීමට ජනමාධ්‍ය උපකාර කෙළේ නැහැ. උපකාර කරන්නෙත් නැහැ. ඔවුන් බටහිර දැනුමේ දාසයෙන්. මේ ලිපි පළවන්නේ කාලය බ්ලොග් අඩවියෙහි පමණයි. මා මේ ලිපි ලිවීම ඉක්මනින් ම නතර කරනවා. දැන් ජාතික ව්‍යාපරයෙහි ද විවිධ පඬියන් ඉන්නවා. ඔවුන්ට ප්‍රතිවාදීන්ට මුහුණ දෙන එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔවුන් පඬියන්. කොහොමටත් දෙසීයකට කියවන්න ලියන එකේ තේරුමක් නැහැ.


අද එ ජා පක්‍ෂයටත් කියන්න සිද්ධ වෙලා තමන් පැරදුණෙ සිංහල බෞද්ධ ඡන්ද පදනම අඩු වූ නිසා කියලා. ඒ රනිල් නිසා සිදු වූ දෙයක් නොවන බව මා ඊයේත් කිව්වා. ඒ මංගල හරි රන්ජන් රාමනායක හරි නිසා සිද්ධ වූ දෙයකුත් නො වෙයි. ඒ තමයි එ ජා ප ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය. එ ජා ප උපන්ගෙයි සිංහල බෞද්ධ විරෝධී. රනිල් වෙනුවට සජිත් හරි කරුණාරත්න ජයසූරිය හරි පත් කළා කියා මූලික වෙනසක් සිදුවන්නේ නැහැ. නිකම් මතුපිට වෙනසක් පමණක් සිදු වේවි. එ ජා ප සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහි ව සජිත් හරි කරුණාරත්න ජයසූරිය මොනව ද කරල තියෙන්න කියල අමරදේව මැග්සේසස් ත්‍යාගය ලබා ගැනීමේ දී හාමුදුරුවරුන්ගෙන් ඇහුව වගේ අපට අහන්න පුළුවන්.

සිංහල  ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියපු අය අද කියනව එසේ කිරීමට පුළුවන් බව තමන් කලින් ම කිව්ව කියල. සිංහල ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියල සංඛ්‍යාලේඛන මගින් පෙන්නපු ඉන්දීය ඔත්තුකාරයන්  2015 දී මහින්ද පරාජය කෙළෙ සිංහල ඡන්දවලට කතාකිරීමට ඉඩ නොදීමෙන්. ගෝඨාභය සියලු ආකාරවල ඉන්දීය ඔත්තුකාරයන්ගෙන් පරෙස්සම් වෙන්න ඕන. 

මෙධානන්ද හාමුදුරුවන් මට නොතේරෙන තර්ක යොදා ගනිමින් 2018 දි තරම් ඇතක දි කිව්වළු සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් කියල. උන්වහන්සෙගෙ තර්කය නම් මට තේරෙන්නෙ නැහැ. ඒ හාමුදුරුවන් ඉතා සංකීර්ණ තරකයක් යොදා ගෙන. උන්වහන්සේට ඇත්තේ සංකීර්ණ මනසක්. මගේ සරල මනසට සංකීර්ණ තරක තේරෙන්නෙ නැහැ. උන්වහන්සේ ඉස්සර නම් මගේ ලිපිවලට කැමැත්තක් දැක්වූවා. දැන් නම් කැමති නැති බව පැහැදිලියි.

මා නම් කලකට පෙර කිව්වෙ ඉතා සරල දෙයක්. මෙරට සිංහල මිනිසුන්ගෙ ජනප්‍රතිශතය 75ක් පමණ වෙනවා. සියළු ජන කොට්ඨාස, ජනවර්ග, සිංහල ජාතිය එක ම අනුපාතවලින් ඡන්දය දෙනව කියල උපකල්පනය කළොත්   සිංහලයන්ගෙන් තුනෙන් දෙකකගෙ ඡන්දය ලබා ගත්තොත් ජනාධිපතිවරණය ජයගන්න පුළුවන් බවයි මා කිව්වෙ. ඒ මෙධානන්ද හිමියන්ගෙ වගේ සංකීර්ණ තර්කයක් යොදා ගෙන නොවෙයි. 75න් 2/3 ක් 50 වන නිසා. 

ඒ සඳහා සිංහලයන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් ආමන්ත්‍රණය කළ යුතු බවයි මා කියා සිටියේ. කිසිම ජනාධිපතිවරණයක දී ඒ ආමන්ත්‍රණය සිද්ධ වුණේ නැහැ. මෙවර ගෝඨාභය වක්‍ර ව සිංහල ජනතාව ආමන්ත්‍රණය කළා. ඔහුට සිංහලයන් සෘජුව ආමන්ත්‍රණය කිරීමට ඉඩ දුන්නේ නැහැ. ඒ ඊනියා සුළු ජන කොටස්වල ඡන්දය ලබා ගැනීමට ඇතැයි කියමින්. ඇතැමුන් කිව්වේ මුස්ලිමුන්ගෙන් 25%ක ඡන්දයක් ගෝඨාභයට ලැබෙන බවයි. 

සිංහල ජනතාවගෙන් 67.5%ක් පමණ ගෝඨාභයට ඡන්දය දී තිබෙනවා. ඒ කියන්නෙ අර උපකල්පන යටතේ. එය සමස්ත ඡන්දදායකයන්ගෙන් 50.6%ක් පමණ.  අසිංහලයන්ගෙන් 6.5%ක් පමණ ඡන්දය දී තිබෙනවා. එය සමස්ත ඡන්දදායකයන්ගෙන් නම් 1.6%ක් පමණ. එහි එකතුව 52.2%ක් පමණ වෙනවා. ගෝඨාභයට ලැබුණු ප්‍රතිශතය 52.25යි. ගෝඨාභය පොදුජන පෙරමුණේ පඬියන්ගේ හා ස්මාට් ජාතිකවාදීන්ගේ පඬි කතාවලට ඇහුම්කන් නොදී සිංහලයන්ට සෘජුව ආමන්ත්‍රණය කෙළේ නම් වඩා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න තිබුණා. 

මේ අතර තවත් දෙයක් කියන්න තියෙනවා. පළාත් පාලන ආයතන මැතිවරණයේ දී පොදුජන පෙරමූණ, ශ්‍රී ල නි ප, එ ජ නි ස යන පක්‍ෂ තුනට 56%ක ඡන්දයක් ලැබුණා. ඒ ප්‍රමාණය ගෝඨාභයට ලැබුණේ නැහැ. ඔහුට ලැබුණේ 52.25%යි. ඒ අඩුවීමට හේතුව කුමක් ද? ඇතැම් ශ්‍රී ල නි පාක්‍ෂික කථිකයන්ට හූ කීමට තරම් පොදුජන පෙරමුණේ උද්‍යෙගිමත් සාමාජිකයන් අනුගාමකයන් ඉදිරියට ආවා. ඇතැම් ප්‍රදේශවල ශ්‍රී ල නි පාක්‍ෂිකයන් රැස්වීම්වලට සහභාගි කර නොගැනීමට තරම් පොදුජන පෙරමුණේ ඇතැම් අය කාරුණික වූවා. 

මේ උද්‍යොගය හා කාරුණිකත්වය ශ්‍රී ල නි පක්‍ෂ හිතවතුන් ඡන්දය දීමෙන් වැළකීමට හේතු වූවා ද කියා දන්නේ නැහැ. පොදුජන පෙරමුණේ ඇතැම් නායකයන් සමගියට විරුද්ධයි. ඔවුන් මුල දී ගෝඨාභයටත් විරුද්ධ වුනා. ගෝඨාභය දැන් නව සංධානයේ නායකත්වය ගන්න ඕන. ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය මෛත්‍රිපාලටත් පොදුජන පෙරමුණේ නායකත්වය මහින්දටත් තියෙන්න ඕන. එහෙත් නව සංධානයේ නායකත්වය ගෝඨාභයට තියෙන්න ඕන.

අසිංහලයන් අතර දේශපාලනය කරන්නේ කෙසේ ද යන්න දැන් හිතා බලන්න පුළුවන්. ඒ සිංහලයන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් ගෝඨාභයගේ නායකත්වයෙන් එක් වී ඇති නිසා. දැන් අසිංහල දේශපාලන පක්‍ෂවල නායකයන් සමග කළ ගණුදෙනු (ඩීල්) දේශපාලනය අවසන්. හකීම්, හිස්බුල්ලා, බද්‍යුද්දීන්, සුමන්තිරන්, සම්බන්ධන් ආදීන් අපට අවශ්‍ය නැහැ. අප කෙලින් ම අසිංහලයන්ට කතා කරන්න ඕන.

එහෙත් එයට පළමුව දෙමළ වෙල්ලාලයන්ගේ ප්‍රශ්නය හඳුනාගන්න ඕන. ඉංගිරිසින්ගෙ මෙහෙයවීමෙන් ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණෙ ලංකාවෙ ම නායකත්වය. එය ඉටු කර ගන්න බැරි වූ තැන ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලුවා. මා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා මස්සිනාලා කෘතියෙහි මෙය 1833 පමණ සිට වූ විජාතික බලපෑම් ද සමග විස්තර කර ඇති. 

ඒ අතර වරුණ නම් පඬියකු මට අභියෝග කරමින් දෙමළ ජාතිවාදයේ ආරම්භය 1857 දක්වා පමණක් ගෙන යන්න උත්සාහ කරනවා. ඔහු කියන්නේ 1857 දී ඊනියා චෝල හා පාණ්ඩ්‍ය කියන රාජ්‍ය ඉන්දියාවේ දෙමළ ජනයාට අහිමි වූ නිසා දෙමළ කතා කරන ජනයා ලංකාවේ දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගන්න කටයුතු කළා කියලා. 

චෝල හා පණ්ඩ්‍ය යනුවෙන් දෙමළ රාජ්‍ය දෙකක් තිබුණෙ නැහැ. දෙමළ රාජ්‍ය දෙකක් තියා එකක්වත් තිබුණෙ නැහැ. දෙමළ රාජ්‍ය දෙකක් ම තිබුණෙ කොහොම ද? බෙංගාලය (වංගය) නැති වු නිසා ද බංග්ලාදේශය හදා ගත්තෙ. කාලිංගයට මොකක් ද වුනෙ.  වරුණට අනුව නම් දෙමළ ජාතිවාදය පරාජය කරන්න බැරි වෙන හැඩයි. මා ඔහුට මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට ආරාධනය කරනවා.