History

Sunday, 1 December 2019

කත ගැන නොකී කතා

    සිංහල ලිත් ඉලක්කම් 


කත ගැන නොකී කතා



ආණ්ඩුවේ ඇතැම් උද්ධච්ඡ ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් (එවැනි නිලයක් ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ නැහැ)  සිතා සිටින්නේ ගෝඨාභය ජයග්‍රහණය කෙළේ පොහොට්ටුව නිසා බව ය. ඔවුන් කෙතරම් තමන් ගැන අධිතක්සේරුවකින් සිතනවා ද කිවහොත් මැතිවරණයේ දී ශ්‍රී ල නි ප නැතිව පොහොට්ටුවෙන් තරග කිරීමට කියනවා. ගෝඨාභය පොහොට්ටුවෙන් තරග කිරීම පිළිබඳ මා කැමති වුණේ නැහැ. එහෙත් අවසානයේ දී නව සංධානයට එයට එකඟ වීමට සිදු වුණා. එහෙත් ඒ තවත් කොනේදේසිවලට යටත් ව. මැතිවරණයේ දී සංධානය පුටුව ලකුණෙන් තරග කිරීමට ගෝඨාභයගේ නායකත්වයෙන් පැවති පක්‍ෂ නායක ගිවිසුම් අත්සන් කිරීමේ දී එකඟ වුනා. 


එහෙත් මෛත්‍රිපාල සමග වෛරයෙන් පසුවන ඇතැම් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් සිතන්නේ මැතිවරණයේ දී පොහොට්ටුවෙන් තරග කිරීමට. ඒ ගෝඨාභයට කරන සරදමක්. ගෝඨාභයගේ ප්‍රධානත්වයෙන් අත්සන් කරන ලද ගිවිසුම් තමන් සතපහකටවත් මායිම් නොකරන බවයි ඔවුන් නොකියා කියන්නේ. ඔවුන් හිතන්නේ ගෝඨාභයට දුන් සෑම ඡන්දයක් ම පොහොට්ටුවට දුන් ඡන්දයක් කියා. මා කලිනුත් කියා ඇති පරිදි මා ඡන්දය දුන්නේ ගෝඨාභයට මිස පොහොට්ටුවට නො වෙයි. එවැනි තවත් අය ඉන්න බව මා දන්නවා. 

මේ උද්ධච්ඡයන්ට ඕන එකක් කර ගන්න කියා අපට පැත්තකට වෙන්න පුළුවන්. එහෙත් එයින් සිදුවන්නේ ගෝඨාභයට ශක්තිමත් ආණ්ඩුවක් හැදීමට ඇති ඉඩකඩ නැති වීම. පුටුවෙන් තරග කළොත් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. පොහාට්ටුවෙන් හා ශ්‍රී ල නි පක්‍ෂයෙන් වෙන වෙන ම තරග කළහොත් නැවතත් රනිල් සුමන්තිරන් හකීම් ආණ්ඩුවක් සෑදීමේ අවදානමක් තියෙනවා. අප මතවාදී ව උද්ධච්ඡයන් පරාජය කළ යුතුයි. ප්‍රායෝගික ව උද්ධච්ඡයන්ට  මනාප නොදිය යුතුයි. ඔවුන් ඇතැම් දිස්ත්‍රික්කවල  පොහොට්ටුවේ දිස්ත්‍රික් සංවිධායකයන්. ඒකට කමක් නැහැ. 

මේ අතර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නාට්‍යයේ තවත් නළුවක තිරය විවෘත කරලා. තානාපති කාර්යාලය අර පැහැර ගනු ලැබුවේ යැයි කියන කත අසනීපයෙන් පසුවන බැවින් ප්‍රතිකාර කිරීමට ස්විට්සර්ලන්තයට ගුවන් ගිලන් යානයකින් යවන්න අවසර ඉල්ලලා. අද සන්ඩේ අයිලන්ඩ් පත්තරේ ඒ බව තියෙනවා. මේ වැදගත් පුවත් සිංහල පත්තරවල පළ නොවන්නේ ඇයි ද යන ප්‍රශ්නයත් තියෙනවා. 

එහෙත් තානාපති කාර්යාලය තවමත් ඇගේ නම ගම හෙළි කර නැහැ. ඇයට ඇති අසනීපය කුමක් ද කියන්නේත් නැහැ. ඇය දැනට ප්‍රතිකාර ගන්නවා ද එසේ නම් ප්‍රතිකාර ගන්නේ කාගෙන් ද යන වගක් කියන්නේත් නැහැ. සමහර විට අසනීපය හා වෛද්‍යවරයාගේ නම හෙළි කිරීම බටහිර ඊනියා සදාචාරයට පටහැණි ද දන්නේ නැහැ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මේ සියල්ල කරන්නේ ආණ්ඩුව අපකීර්තියට ලක් කරන්න. ඒඩ්‍රීයන් කන්දප්පා හෙවත් නිශාන්ත ද සිල්වා සවිට්සර්ලන්තයට පැන ගැනීමෙන් පසු තානාපති කාර්යාලය මේ නාට්‍යය රඟ දක්වනවා. එහෙත් තිර රචනය දුර්වලයි. මේ අතර අකිල විරාජ්ගේ හා සජිත්ගේ අත්වැල් ගායනා ඇසෙනවා. ආණ්ඩුවට විරුද්ධ ව සජිත් හා අකිල එකතු වෙලා ද? අත්වැල් ගායනයට තවත් කතක් ඉදිරිපත් වෙලා. ඒ මානව අයිතිවාසිකම් කොමිසමේ දීපිකා උඩුගම. 

අත්වැල් ගායක ගායිකාවන් ආණ්ඩුවට බයිලා කියන්නේ නැතිව ඒ පැහැර ගනු ලැබුවේ යැයි කියන කතගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා ද? ඇය එතෙර ගොස් ප්‍රතිකාර ගැනීමට තරම් දුස්සාධ්‍ය තත්වයකින් පසු වන්නේ නම් ආණ්ඩුවට ඇය එතෙර ගෙන යෑමට අවසර දිය හැක්කේ නම ගම හෙළි කරන්නේ නම් පමණයි. තානාපති කාර්යාලයකට පුද්ගලයකුට දුස්සාධ්‍ය යැයි කියා නමක් ගමක් හෙළි නොකර එතෙර ගෙන යෑමට අවසර ඉල්ලන්න පුළුවන් ද? අත්වැල් ගායක ගායිකාවන් අදාළ කතගේ තොරතුරු හෙළි කර දුස්සාධ්‍ය යැයි කියන ඇයට එතෙර යෑමට අවසර ලබා දීමට පසුබිම සකස් කිරීමට කටයුතු කරනවා ද? 

බටහිර තානාපති කාර්යාල සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට, විරුද්ධ ව වැඩ කරන්නේ අද ඊයේ නොවෙයි. එංගලන්තය ඒ පටන් ගත්තේ අප ඔවුන්ගේ යටත්විජිතයක් ව පැවති සමයේ 1833 තරම් ඈත කාලයක. ඔවුන් 1829 දී කෝල්බෘක් කැමරන් කොමිසම පත් කරන ලද්දේත් ඒ සඳහා කියා හිතන්න පුළුවන්. මෙරට කසිකබල් උගතුන් තවමත් ඒ කොමිසමේ යෝජනාවලට කියන්නේ කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ කියා. සිංහලයා මරා දැමීම පටන් ගත්තේ කොමිසම් යෝජනාවලින්. 

ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ, උඩරට ගැමියන්ට ඊනියා ඉඩම් අයිතිය නැති කිරීම (මෙරට ඉඩම් අයිතිය කියන සංකල්පය එයට පෙර තිබුණේ නැහැ. ඉංගිරිසින් කෙළේ නැති ඉඩම් අයිතියක් පෙන්නන්න උඩරට ගැමීයන්ට නියම කිරීමයි), රාජකාරි ක්‍රමය අහෝසි කර වැටුපට වැඩ කරන වහළුන් පිරිසක් ඇති කිරීම, වැවිලි ආර්ථිකය ක්‍රමවත් කිරීම ආදී යෝජනා නිසා සිංහලයන් නැති කිරීමට පියවර ගැණුනා. 

1948 නිදහසෙන් පසු බටහිර තානාපති කාර්යාල හා මහා කොමසාරිස් කාර්යාල  සිංහලයන් දුර්වල කිරීම දිගට ම කරගෙන ගියා. සතපහක් නොවටිනා වහළුන් බිහිකරන අධ්‍යාපනය විසින් සිංහලයන් තව තවත් දුර්වල කෙරුණා. රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වන්නේ සිංහලයන්ට  විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධවයි.

මෙරට තානාපති කාර්යාලවල වැඩ කරන නිලධාරීන්ගේ තොරතුරු  විදේශ අමාත්‍යාංශයේ තියෙනවා ද? අඩු තරමෙන් තානාපති කාර්යාලවල සේවය කරන ලාංකිකයන්ගෙ තොරතුරු ලබා ගැනීමට විදේශ අමාත්‍යාංශයට පුළුවන් ද? පොලීසියට මේ තොරතුරු ලබා ගැනීමට කිසිම ක්‍රමයක් නැද්ද?  මා ඊයේත් කිවුවේ පොලීසිය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ලාංකිකයන්ගන් ප්‍රශ්න කරන්න ඕන කියා. ඔවුන් ලාංකිකයන් නිසා ඔවුන්ට කිසිම මුක්තියක් තියෙන්න බැහැ. 

ආණ්ඩුව වහාම ලංකාවේ ආරක්‍ෂාව වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාල හා සේවකයන් පිළිබඳ නීති සම්පාදනය කළ යුතුයි. තිබෙන නීති දැඩි කළ යුතුයි. ස්විට්සර්ලන්තයේ ලංකා තානාපති කාර්යාලයට තම  සේවකයකුගේ නම හෙළි නොකර එරටින් පිට කර ගන්න පුළුවන් ද? එංගලන්තයේ (ඊනියා එක්සත් රාජධානියේ) විදෙස් තානාපති කාර්යාල හා සේවකයන් පිළිබඳ ඇති නීති කවරේ ද? 

ඔය කියන කත ඊනියා පැහැර ගැනීමට ලක්ව දැන් දින කීයක් ද? ඇගේ දුස්සාධ්‍ය අසනීපය තව තවත් දුස්සාධ්‍ය වුවහොත් හරි අසාධ්‍ය වුවහොත් හරි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයත් අත්වැල් ගායක ගායිකාවනුත් වග කියනවා ද? ඇගේ වෛද්‍යවරයාට ඇය සනීප කරන්න කොහොමටවත් බැරි ද? වෛද්‍යවරයා ඒ බවක් ස්විට්සර්ලන්ත තානාපතිට කියා තියෙනවා ද?  

තානාපති කාර්යාලවල දෙමළ කතා කරන සේවකයන් කොපමණ ඉන්නවා ද? ඔවුන්ගෙන් කී දෙනකු  කොටි සංවිධානය සමග සම්බන්ධ ද?  මේ කතත් කොටි සමග සම්බන්ධ ද? මෙරට වැසියන් ඒ සියල්ල දැනගත යුතුයි. පොලීසිය ඒ තොරතුරු අපට ලබා දිය යුතුයි.

මෙරට නීති ප්‍රමාණවත් නැත්නම් අප අවශ්‍ය නීති සම්පාදනය කරන්න ඕන. ඒ සඳහා මීළඟ මැතිවරණයේ දී ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් දීමට කටයුතු කරමු. එහෙත් මා කලින් කී උද්ධච්ඡයන් එයට අකුල් හෙළන බවක් පේනවා.