History

Monday, 2 December 2019

සජිත් බැසිල් ආදී පරාජිතයෝ

 සිංහල ලිත් ඉලක්කම්



සජිත් බැසිල් ආදී පරාජිතයෝ 
ජනාධිපතිවරණයෙන් පරාජය වුනෙ සජිත් පමණක් නො වෙයි. බැසිලුත් පරාදයි. ප්‍රධාන වශයෙන් ම බැසිල් හා ඔහුගෙ අනුගාමිකයන් තමයි සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය දිනන්න බැහැ කිවුවෙ. එපමණක් නොවෙයි ඔවුන් මුලින් ගෝඨාභයට විරුද්ධ වුනා. එහෙත් අද ඔවුන් තමයි ජයග්‍රහණයට උරුමකම් කියන්න මුලින් ම ඉදිරිපත් වෙන්නෙ. මා දැක්කා මේ කණ්ඩායමේ කිහිප දෙනෙක් කියල තියෙනවා මොන ගිවිසුම් තිබුණත් මැතිවරණයේ දී ඉදිරිපත් වන්නේ පොහොට්ටුවෙන් කියල. ඔවුන්ට අනුව බැසිල් තමයි පොහොට්ටුව නිර්මාණය කළෙ.




ඔවුන් කියන්නෙ මෛත්‍රිපාල කාටවත් නොදන්නා 2014 නොවැම්බරයේ රාත්‍රියක ආප්පත් කා යහපාලනයට එකතු වුනා කියලා. එහෙත් මා සමග මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ම පවසා ඇත්තේ වෙනින් කතාවක්. ඒ රාත්‍රියට දින කිහිපයකට කලිනුත් ඔවුන් දැන ගෙන ඉඳලා තියෙනවා මෛත්‍රිපාල යන බව. ඒ බව මහින්දත් බැසිලුත් දැන ගෙන ඉඳලා තියෙනවා. ආප්ප රාත්‍රියෙදි මෛත්‍රිපාල වගේ ම මහින්දත් දැන ගෙන හිටියා මෛත්‍රිපාල යන බව. ඇතැම් මන්ත්‍රීවරුන් ඒ බව බැසිල්ට කී විට ඔහු කියා ඇත්තේ කවුද මෛත්‍රි එයාට යන්න කියන්න කියලා. බැසිල්ගෙ තක්සේරු බොහෝ විට වැරදියි. සිංහල ඡන්දවලින් පමණක් දිනන්න බැහැ වගේ ම ඔහු හිතලා තියෙන්නේ මෛත්‍රිපාල ගියත් දිනන්න පුළුවන් කියල. ඔහුගෙ ඊනියා සංවිධාන දක්‍ෂතා තිබිය දී 2015 දි මහින්ද පැරදුනා. ගම්පහ දිස්ත්‍රික්කයත් පැරදුනා. 



මහින්ද පැරදුනාට පස්සෙ මහින්ද සුළඟ ඇති කෙළෙ ජනතාව. ඔවුන් තමයි මැදමූලන හා කාල්ටන් යන්න පටන් ගත්තෙ. දිනේෂ්ලා වාසුලා විමල්ලා ගම්මන්පිලලා 2015 පෙබරවාරියෙ නුගේගොඩ රැස්වීම සංවිධානය කළා. ඒකෙ කියවන්න මහින්දගෙ පණිවුඩයක් ලබා ගෙන තියෙන්නෙ ශිරන්ති රාජපක්‍ෂට පින් සිදුවන්න. ශ්‍රී ල නි පක්‍ෂයෙ ඇතැමුන් ඒ වන විට යහපාලනයට ගිහිල්ලා. මෛත්‍රිපාලත් ඔවුනුත් කළෙ වැඩේ වැරදියි. එහෙත් එසේ ගිය නැති ශ්‍රී ල නි පාක්‍ෂිකයන් ගැන කියන්න පුළුවන් මොකක් ද? ඔවුන් කිසිවකු මහින්දගෙ ප්‍රකාශය කියවන්න තබා වේදිකාවටවත් ගොඩ වෙන්න සූදානම් වුනෙ නැහැ. වේදිකාවට ගොඩ වුනෙ දිලුම් අමුණුගම පමණයි. අනෙක් අය නුගේගොඩ රැස්වීම ඇහුවෙ කඩවල ඉඳන්, නැත්තන් ගෙදර ඉඳන්. ඔවුනුත් හිටියෙ යහපාලනයට යන්දෝ නොයන්දෝ මනසින්. ඔවුන් මහින්ද සුළඟට එකතු වුනෙ එය සැඩ සුළඟක් වුනාට පස්සෙ. අද ඔවුන් තමයි යහපාලනයට ගිය අයට විරුද්ධ වන්නෙ. ඔවුන් තමයි ගිවිසුම් තිබුණත් මැතිවරණයෙ දී පොහොට්ටුවෙන් තරග කරන්න ඕන කියන්නෙ. 



ගෝඨාභය මේ කතාවලට එකඟ ද? ඔහු වෙනත් දේ අතර රටේ විනයක් ඇති කරන්න උත්සාහ කරනවා. ඔහු පළමුව නව සංධානයෙ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයෙ විනය ඇති කරන්න ඕන. ඒ ඒ පාක්‍ෂිකයාට ඇමතිට මන්ත්‍රීට ඕන ඕන විධියට තම පෞද්ගලික මත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඉඩ නොදිය යුතුයි. පෞද්ගලික මත ඒ ඒ පක්‍ෂ රැස්වීම්වල අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල ප්‍රකාශ කරන්න පුළුවන්. ඒත් පොදු තීරණයකට එළඹුණාට පස්සෙ ඒ තීරණය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. මේක මගෙ පෞද්ගලික මතය කියා ප්‍රසිද්ධියේ කීම කිසිම ආකාරයක සාමූහික වගකීමක් සමග පෑහෙන්නෙ නැහැ. 



අද පොදු ගිවිසුමකට එළඹිලා තියෙනවා මැතිවරණයේ දී පුටුවෙන් තරග කරන්න. පුටුව චන්ද්‍රිකාගෙ ද කාගෙ ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. මා නම් 1994 දි පුටුවට හා චන්ද්‍රිකාගෙ සිංහල විරෝධි දේශපාලනයට විරුද්ධ ව හිටියෙ. ඒත් පුටුවට එදා ඡන්දය දුන් ඇතැමුන් අද ඒ කුජීත යැයි කියමින් පුටුවට විරුද්ධ වෙනවා. මේ අඳ බාල තර්ක. පුටුව කියන්නෙ සංකේතයක්. එය චන්ද්‍රිකාටවත්  වෙන කාටවත් අයත් එකක් නො වෙයි. මා නම් මැතිවරණයෙ දි පක්‍ෂ වන්නෙ එදා විරුද්ධ වුනු පුටුවට මිසක් පොහොට්ටුවකට නො වෙයි. කොහොමටත් පොහොට්ටුව කියන්නෙ බැසිල්ගෙ නිර්මාණයක් නො වෙයි. එය යහපාලනයට අකමැති ශ්‍රී ල නි පාක්‍ෂික ජනතාවගෙ නිර්මාණයක්. බැසිල් ඒකට නමක් සහ සභාපති කෙනෙකු දුන්නා පමණයි. එයට අදත් ව්‍යුහයක් නැහැ. ජනාධිපතිවරණය දිනුවෙ පොහොට්ටුවක් හින්ද නො වෙයි. ශ්‍රී ල නි පක්‍ෂය සමග එකතු වුන නිසා. එසේ එකතු නොවී නම් දයාසිරි ජයසේකරලා ගෝඨාභයට වැඩ කළෙ නැත්නම් ගෝඨාභයට 50% ගන්න බැහැ. උද්ධච්ඡකම් පැත්තක තියල ඒ කාරණය හිතන්න ඕන. බැසිල් නැතත් ජනාධිපතිවරණය 2019 දී ජය ගන්න තිබුණා. බැසිල් ඉඳලත් 2015 දී ජනාධිපතිවරණය ජයගන්න බැරි වුනා. බැසිල් හිටියත් නැතත් පුටුවෙන් තරග කළොත් මැතිවරණය විශිෂ්ට ලෙස ජයගන්න පුළුවන්.  අපට අවශ්‍ය තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීම. ඒ සඳහා උත්සාහ කිරීමට පුටුව අවශ්‍යයයි. මේ උද්ධච්ඡකම්වලට කුඩුකේඩුකම්වලට කුහකකම්වලට අවස්ථාව නො වෙයි. 



මේ අතර පැරදුනා අනුර රනිල්දාස. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් ජ වි පෙරමුණ වෙනුවෙන් වැඩ කළා. ඔවුන් ඡන්දය දුන්නේ  අනුරට ද සජිත්ට ද කියන එක ප්‍රශ්නයක්. එහෙත් ඔවුන් පෙන්නුවේ තමන් ක්‍රමය වෙනස්කරන්නන් (සිස්ටම් චේන්ජ් කාරයන්) බව. සමහරු කසිකබල් මාක්ස්වාදීන්, තවත් සමහරු සිවල් සාමාජිකයන් ආදී වශයෙන්. ඒ සියල්ලන්ගේ ම පොදු ලක්‍ෂණයක් තිබුණා. ඒ සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී බව. ඔවුන් හිතන් හිටියෙ අනුර රනිල්දාසට 7%ක පමණවත් ඡන්දයක් ලැබෙයි කියා. ඒත් අනුරට තමයි ජ වි පෙ අඩු ම ඡන්ද ලැබුණෙ. ඔහුට කීර්තිමත් 6%වත් ලැබුණෙ නැහැ. 3%කින් සැනසෙන්න ජ වි පෙට සිද්ධ වුනා. මැතිවරණයටත් ජ වි පෙ තරග කරනවා ද? අපි බලන් ඉන්නවා. රනිල්දාසට 4%ට වඩා ලැබේවි යැයි සිතූ සියළු පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් පරාදයි. 



තවත් සමහරු කිව්වෙ සජිත් 50%ට වැඩිය ගනියි කියල. තවත් අයට අනුව ඔහු 50%ක් නොගත්තත් ගෝඨාභයට වඩා ගන්න තිබුණා.  ඔවුන් අද ඒ ගැන කතා කරන්නෙ නැහැ. ඒ වෙනුවට ඒ ඒ අමාත්‍යවරුන් ගැන කියවනවා. ඒ ඇමතිවරුන් කවුද කියා අප දන්නවා. ආණ්ඩුව බෝසතුන්ගෙන් සමන්විත වන්නෙ නැහැ. මහජන ඡන්දයෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පත්වෙච්ච අයත් ඉන්නවා. ඒ වගේ ම මැතිවරණයෙන් පස්සෙ මැතිවරණයකට ඉදිරිපත් වෙලා දිනන්න බැරි එහෙත් ක්‍රියාකාරී දේශපාලනයෙහි යෙදෙන අයත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් වේවි. ඔවුනුත් ඒ අරුතින් පරාජිත අපේක්‍ෂකයන්. ඇමතිකම් දීමේ දී හා අපේක්‍ෂකත්ව දීමේ දී වඩාත් බලපාන සාධකය විය යුත්තේ සිංහලයන් සම්බන්ධයෙන් ඉතිහාසයෙහි දක්වා ඇති මැදිහත් වීම්. අප එස් බී හරි ජී එල් හරි ගැන තීරණ ගත යුත්තේ පළමුවෙන් ම ඒ කෝදුවෙන් මැනීමෙන්. 



සිංහල බෞද්ධයා සිංහලයා ආදී සංකල්පත් නිර්මාණ. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙහි ඊනියා වාස්තවික සංකල්ප, ප්‍රවාද වාස්තවික ව නැහැ. සිංහලයා බෞද්ධයා යන සංකල්ප සමාජ නිර්මාණ තමයි. ඒත් ඒ ධර්මපාලතුමාගේ නිර්මාණ නො වෙයි. පරාක්‍රමබාහු රජු මට සිංහල කඩුවක් දෙව කියන විට ධර්මපාලතුමා හිටියේ නැහැ. සිංහලයන් තබා කිසිම ජනවරගයක් ජන කොටසක් ජාතියක් ආර්ය නො වෙයි. ආර්ය යනුවෙන්වත් ද්‍රවිඩ යනුවෙන්වත් ජනවර්ග ජන කොටස් නැහැ. සිංහල ලේ කියා ලේ වර්ගයක් නැහැ. සිංහල කඩු කියා කඩුත් නැහැ. ඉන් අර්ථ ගැන්වෙන්නේ සිංහල සංස්කෘතියට අයත් අයකු යන්න සිංහල සංස්කෘතියෙහි නිර්මාණය කරන ලද කඩු ආදියයි. සිංහල ජාතිය නිර්වචනය වන්නෙ සිංහල සංස්කෘතියට සාපේක්‍ෂ ව. සමහර සිංහල විරෝධීන් ද අවසාන වශයෙන් ගත් කල සිංහලයන්. පරාක්‍රමබාහු රජුට පාණ්ඩ්‍ය සම්භවයක් තිබුණා. ධාතුසේන රජුට මෞර්ය සම්භවයක් තිබුණා. ඒත් ඒ සියල්ලන් ම සංස්කෘතික වශයෙන් සිංහලයන්. ආර්ය කියන්නේ ජාතියක් ජනවර්ගයක් නොවෙයි. ආර්ය කියන්නෙ සංස්කෘතියක් පමණක්. ආර්ය නොවන සංස්කෘතීන්ගෙන් එකක් තමයි ද්‍රවිඩ සංස්කෘතිය. මේ ගැන අප අවුරුදු විසිපහකට උඩ දී කාලෝ සමග වාද කළා. ඔහුට සංස්කෘතිය ජාතිය ජනවර්ගය ආදිය ගැන තබා බටහිර විද්‍යාව හා ගණිතය ගැනවත් දැනුමක් තිබුණේ නැහැ. ඔහුගේ ලෝකය රසල්ගේ ලෝකය වූවා කියා රසල්ට අවමන් කිරීමට මා කැමති නැහැ. ඉන් අදහස් කරන්නේ මා රසල් කී දේ අනුමත කරනවා යන්න නො වෙයි. රසල් ගණිතය න්‍යායට (logic) ඌනනය කරන්න හැදූ අයෙක්.