History

Wednesday, 29 January 2020

වීර පාණ්ඩ්‍ය රන්ජන් හා පශ්චාත්නූතනත්වය

      සිංහල ලිත් ඉලක්කම්



වීර පාණ්ඩ්‍ය රන්ජන් හා පශ්චාත්නූතනත්වය



රන්ජන් රාමනායක සිද්ධියෙන් තවත් වැදගත් දෙයක් පැහැදිලි වුණා. ඒ මේ රටේ ඇති දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය නො වෙයි. එයත් එක් දෙයක් තමයි. ඒත් මුළු ලෝකෙ ම ප්‍රජාතන්ත්‍රවාදය දූෂිතයි. වරක් වින්ස්ටන් චර්චිල් පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ කෙතරම් අඩුපාඩු තිබුණත් එය දැනට ඇති හොඳ ම ක්‍රමය කියා. මා නම් එය විශ්වාස කරන්නේ නැහැ. එයත් බටහිරයන් අපට දී ඇති එක දැනුමක් පමණයි. ඔවුන් කියන්නේ ඔවුන් දන්නා ක්‍රම අතරෙන් හොඳ ම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය බවයි. එහෙත් ඔවුන් ඒ බව ඒ අයුරින් කියන්නෙ නැහැ. ඔවුන් කියන්නෙ ලෝකයේ ම තිබූ හා තියෙන ක්‍රමවලින් හොඳ ම ක්‍රමය ඔවුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය කියා. හරියට ඔවුන්ගෙ ලෝකය අප කාගෙත් ලෝකය වගේ. අධ්‍යාපනයෙන් (ආකෘතික මෙන් ම අනාකෘතික) කෙරෙන්නෙ මේ එක ම ලෝකයේ කතාව තහවුරු කරන එක. 

බටහිරයන් නොදන්නා ක්‍රම තවත් තියෙනවා. ඔවුන් ඒ ගැන හිතන්නවත් කැමති නැහැ. මෙරට තිබුණු සිංහල බෞද්ධ රාජ්‍යය ගැන නම් ඔවුන් කොහොමටවත් කියන එකක් නැහැ. සිංහල බෞද්ධ රාජ්‍යය කිවුවම එක එක අය එක එක කතා කියනවා. ඒක එහෙම තමයි. සාපේක්‍ෂ නොවැ.  සිංහල බෞද්ධ රාජ්‍යය නිර්වචනය කළත් එයත් සාපේක්‍ෂයි. මෙරට පඬියන්ට සිංහල බෞද්ධ රාජ්‍යය කිවුව ම මතක් වෙන්නෙ නෂ්ටකාමය ඇතියවුන්ගෙන් පිරි රටක්. අවුරුදු දෙදහස් පන්සියයක් පමණ එවැනි රාජ්‍යයක් තිබුණෙ කොහොම ද කියන එකත් ප්‍රශ්නයක්. 

කොහොමටත් ඉංගිරිසින් දැන ගෙන හිටිය සිංහල බෞද්ධ රාජ්‍යයෙ හාමුදුරුවරුන් කළ කාර්යභාරය යම් තරමකටවත්. ඔවුන් ඒ නිසා තමයි කියා සිටියෙ මේ කහකඩ හමුදාව ඉන්නකම් සිංහලයන් යටත් කරන්න බැහැ කියලා. ඔවුන් කහකඩ හමුදාව කියල කිවුවෙ හාමුදුරුවරුන්ට. හාමුදුරුවරුන් නැති කරන්න දුර්වල කරන්න ඔවුන් එදා ඉඳලා කටයුතු කළා. නායක පදවි දුන්නෙත් ඒ සඳහා. අදත් ඉංගිරිසින්ගෙ (බටහිරයන්ගෙ) දාසයො වෙච්ච පඬියන් විවිධ ක්‍රමවලින් හාමුදුරුවරුන්ගෙ බලය නැති කරන්න උත්සාහ කරනවා. ඔවුන් වැඩිය කරන්නෙ මුහුණු පොතේ කට කැඩිච්ච කතා ලියන එක. දේශපාලනඥයො ඊනියා සම්මත මාධ්‍යත් යොදා ගන්නවා.  

ඒ අතර දාසයන් විතරක් නොවෙයි ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අයත් ඒ බලය නැති කරන්න හදනවා. භික්‍ෂූන් වහන්සේට පමණක් සීමා වූ පක්‍ෂ හදන්න ඔවුන් එදත් උත්සාහ කළා. අදත් උත්සාහ කරනවා. අර පඬියන්ට සමාජයට බලපෑමක් කරන්න බැහැ. එහෙත් ඊනියා ජාතිකවාදීන් හාමුදුරුවරුන් පාර්ලිමේන්ත වැඩැම්මුවා, අදත් වැඩම්මන්න හදනවා. ඉන් සමාජයට බලපෑමක් කරනවා.

රන්ජන් සිද්ධියෙන් අර පඬියන්ට ඊනියා දේශීය වීරයකු ලැබී ඇති බව පැහැදිලි වුණා. ඔවුන්ට විදේශීය විරයන් ඕන තරම් ඉන්නවා. ඒත් දේශීය වීරයන් හිඟයි. සුචරිත ගම්ලත්, කාලෝ ෆොන්සේකා වැනියවුන් තමයි ඔවුන්ගෙ වීරයන්. ඔවුන්ට හරි හමන් දේශීය ඊනියා පශ්චාත්නූතනවාදී වීරයන් නැහැ. පශ්චාත්නූතනවාදී බටහිර වීරයන් නම් ඉන්නවා. නම් රාශියක් කියාවි. සුචරිතවත් කාලෝවත් වෙනත් කවුරුන්වත් අලුත් දෙයක් බටහිර දැනුමට එකතු කළා නො වෙයි. ඒත් පඬියන්ට ඔවුන් වීරයන් වුණා. මේ ළඟදිත් සංගීිත ලෝකයෙ පඬියකු කාලෝ ගැන කිවුවේ මිථ්‍යාවට විරුද්ධ ව සටන් කළ වීරයකු ලෙස හඳුන්වමින්. මිථ්‍යාව කියන්නෙ මොකක් ද කියල කාට හරි කියන්න පුළුවන් ද? පශ්චාත්නූතනවාදය මිථ්‍යාවක් ද

පශ්චාත්නූතනත්වයක් කියල තත්වයක් නැහැ. තවමත් ඇත්තේ නූතනත්වය ම තමයි. දේශපාලනයේ වෙනසක් වෙලා නැහැ. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ම තමයි තවමත් ක්‍රියාත්මක වෙන්නෙ. ඇරිස්ටෝටල්ගෙ න්‍යාය තවමත් එහෙම ම යොදා ගන්නව. ඒ න්‍යායෙ ඉඳන් තර්ක කරනවා. තර්ක කරනවා කියන්නෙ අනුමාන නීති ටිකක් යොදා ගෙන ඊනියා නිගමනවලට පැමිණීම පමණයි. නූතනත්වයෙ නොවෙයි පැරණි ග්‍රීසියෙ තර්ක කරපු විධියටමයි අදත් තර්ක කරන්නෙ. තර්කයෙන් ලබා ගන්න අලුත් දැනුමක් නැහැ. තර්කයෙන් ලබා ගන්න (නිර්මාණය කරන) දැනුම ප්‍රස්තුතයෙ (proposition) ම තියෙනවා (නිර්මාණය කෙරෙනවා). තර්කයෙන් කරන්නෙ ඒ දැනුම ඉස්මතු කිරීම පමණයි. මොන දැනුමක් වුණත් නිර්මාණයක් පමණයි. 

උදාහරණයක් ලෙස යුක්ලීඩීය ජ්‍යාමිතියෙ ත්‍රිකෝණයක කෝණ තුනේ ඓක්‍යය අංශක 180 කියන ප්‍රතිඵලය ලබා ගන්නෙ දෙන ලද සරල රේඛාවකට සමාන්තර ව ඒ රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඇඳිය හැක්කේ එක ම එක සරල රේඛාවක් පමණකි යන ඊනියා ස්වසිද්ධිය (axiom) මත. ඒ ස්වසිද්ධිය තමයි එතැන දි ප්‍රස්තුතය වෙන්නෙ. සමාන්තර රේඛා සම්බන්ධ ඒකාන්තර කෝණ සමාන වේය යන්න හා සමානයන්ට සමානයන් එකතු කළ විට සමානයන් ලැබේ යන අනුමාන නීතිය යොදා ගත් විට ත්‍රිකෝණයක කෝණ තුනේ ඓක්‍යය අංශක 180 කියන ප්‍රතිඵලය ලැබෙනවා. අර ස්වසිද්ධිය වෙනස් කළොත් ලැබෙන්නෙ වෙනත් ප්‍රතිඵල.

හේතුවාදය හා අනුභූතිවාදය අතර පටලැවිල්ල තවමත් ලිහා ගෙන නැහැ. දැනුම ලබා ගන්නේ කෙසේ ද? හේතුවාදීව ද අනුභූතිවාදීව ද? ලියෝතාද්ගෙ පශ්චාත්නූතනවාදී අවස්ථාව (postmodern condition) සපුරාලී ඇත් ද? ඊනියා පාර ආඛ්‍යාන (metanarratives) ඉවර ද? පඬියන් බටහිර විද්‍යාව ටිකක් හරි දන්නවා නම් ගම්භීර ආඛ්‍යාන (grand narratives) නැත්නම් පාර ආඛ්‍යාන නැති වෙලා නැති බව දැනගන්න ඕන. ආඛ්‍යාන කියන්නෙ කතන්දරවලට. අදත් බටහිර භෞතික විද්‍යාඥයන් කරන්නෙ අයින්ස්ටයින්ගෙ සාධාරණ සාපෙක්‍ෂතාවාදය හා ක්වෙන්ටම් භෞතිකය එකතු කරලා මහා ම මහා පාර කතන්දරයක් හදන්න. ඒ ගුණදාස අමරසේකර මෙටා කියන එක මෙගා කියල පටලවා ගෙන කියපු මහා පතරංග කතා නො වෙයි.   පොඩි ප්‍රශ්නයක්. කාලෝ හේතුවාදියෙක් ද අනුභූතිවාදියෙක් ද

රන්ජන්ගෙ පාර්ලිමේන්තු කතාව පඬියන්ට සියවසේ කතාව වෙලා. පඬියන් ඒ කතාව වර්ණනය කරන්නෙ පාර්ලිමේන්තුවේ කරපු හොඳ ම කතාව වගේ. මා හිතන්නේ පඬියන්ට අනුව හිරුණිකාගේ කතාවත් ඒ ළඟින් ම තියන්න පුළුවන් කියා. බණ්ඩාරනායකලා එන් එම්ලා කරපු කතා මොන කතා ද? බර්නාඩ් සොයිසට හිරුණිකාගෙ අහළකටවත් එන්න පුළුවන් ද? වීරයන් හිඟයක් තිබුණ පඬියන්ට වීරයන් දෙපොළක් හමු වෙලා. ඒ පඬි වීරයන්

පඬි වීර කියන එක වීර පාණ්ඩ්‍යයන් කියල කියන්න පුළුවන් ද? වීර පාණ්ඩ්‍ය කට්ටබෝම්මන් කියල චිත්‍රපටියක් තිබුණ. එය දහඅට වැනි සියවස අවසන බිරිතානි පෙරදිග ඉන්දීය සමාගමට විරුද්ධ ව නැගී සිටි තමිල්නාඩුවෙ හිටපු අයකු පිළිබඳ ව. පඬියන්ට  ඉන්නෙ වීර පාණ්ඩ්‍ය  කට්ට (තට්ට නොවෙයි) රන්ජන් කෙනෙක් ද

බණ්ඩාරනායක, එන් එම්, බර්නාඩ් ආදීන් නුතනවාදී කථිකයන් වෙන්න ඇති. පඬියන් ඉන්නෙ නූතනත්වය පහුකරලා. පශ්චාත්නූතනවාදයට අපට අලුත් අර්ථකථනයක් දෙන්න පුළුවන් ද? රන්ජන් හා හිරුණිකා පශ්චාත්නූතනවාදී කථිකයන් වෙන්න ඇති. පඬියන්ට ඔවුන් දේශීය පශ්චාත්නූතනවාදී වීරයන් වෙලා. පශ්චාත් කතා ඇතැමුන්ට අල්ලලා යනවා. පශ්චාත් වැඩත් අල්ලනවා. පඬියන් දැන් අහන්න පුළුවන් සිංහල බෞද්ධයන් පශ්චාත්නූතනවාදී නැද්ද කියලා. කාගෙන් ද අහන්නෙ. ලියෝතාද් නැති වෙලා ටිකක් කල්. රන්ජන්ගෙ මාමා කාලෝත් නැහැ. මංගල සමරවීර දන්නවා ද දන්නෙ නැහැ. ඔහු පශ්චාත්නූතනවාදී ද? මාතොට නැති එක හරි පාඩුවක්. නගරය නොවෙයි සඟරාව.