History

Thursday, 30 January 2020

කොරෝනා කෙරුණේ කෙසේ ද?

     සිංහල ලිත් ඉලක්කම්


කොරෝනා කෙරුණේ කෙසේ ද?


කොරෝනා වෛරසය ගැන කියන්න තරම් දෙයක් මා දන්නේ නැහැ. මා කරන්නේ රුපියල් අස්සේ අලුක්කාල් ගැසීමක්. ඒ අලුක්කාල මගේ පැත්තේ මට සාපේක්‍ෂ ව කීමයි මා කරන්නේ. වයිරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ජනමාධ්‍යවේදීන් මෙරට ඉන්නවා. සාර්ස් වෛරසය හැඳිනගත් දැනට හොංකොංහි සේවය කරන මහාචාර්ය ජෝසෆ් ශ්‍රියාල් මලික් පීරිස් ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයකින් පිදුම්ලත් ලංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙක්. අනෙක් තැනැත්තා ඉංජිනේරුවරයෙක්. දෙදෙනාම ශිල්පීන්. මෙරට දක්‍ෂ ශිල්පීන් ඉන්නවා. වෛරස බැක්ටීරියා විනාශ කරන බල්බයක් නිපදවූ මංජු ගුණවර්ධන එවැන්නෙක්. ලංකාවේ නැත්තේ ශාස්ත්‍රඥයන්. පඬියන් නම් ඕනැවටත් වඩා ඉන්නවා. තවමත් ලංකාවේ ඊනියා ශාස්ත්‍රඥයකුට ඔවුන්ට අනුව උසස් වූ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලැබී නැහැ. මලික් පීරිස් කියන විධියට මේ කොරෝනා වෛරසය සාර්ස් වෛරසය තරම් දරුණු නැහැ. 


කොරෝනා වෛරස වර්ග හතක් ගැන කියැවෙනවා. චීනයේ වූහාන් ප්‍රදේශයෙන් 2019 දී මතුවූ වෛරසය හත්වැන්න. සාර්ස් කියන්නෙත් කොරෝනා වෛරස් වර්ගයක්. අද කොරෝනා කියන්නේ නව කොරෝනා (2019-nCoV) වෛරසයට.  කොරෝනා කියන වචනයේ ප්‍රභවය ලතින්. එහි තේරුම් අතර ඔටුන්න හා රැස් වළල්ල යන්න තියෙනවා. ඔටුනු පැළඳීමට ඉංගිරිසියෙන් කියන කොරනේෂන් යන්න ගැන හිතන්න. දැනට අවුරුදු පනහකට පමණ පෙර මා තාරකාවිද්‍යාව ඉගෙන ගන්නා කාලයේත් ඊට පසුව උගන්වන කාලයේත් සූර්යයාට කොරෝනාවක් (රැස් වළල්ලක්) තිබුණා. පූර්ණ සූර්යග්‍රහණයක් තියෙන වෙලාවට ඒක බලන්න පුළුවන්කම තිබුණා. දැන් කොරෝනාව නැතිව ඇති. මෙරට තාරකා විද්‍යාඥයන් ජනමාධ්‍යවේදීන් ඒ ගැන මෙකල සූර්යග්‍රහණයක දී කතා නොකරන්නේ ඒ නිසා වෙන්නැති. 

කොරෝනා වෛරසවලට ඒ නම ලැබෙන්නේ අණුදක්නයකින් බැලූ විට රැස් වළල්ලක් වගේ පේන නිසා බව කියනවා. මා දැකල නැහැ. මා කියවා තිබෙනවා. නැහැ ඒක මගේ ඊනියා කියවීමක් නො වෙයි. මේ වෛරස් රෝග පොදුවේ අප සමාජයේ හැඳින්වෙන්නෙ දෙයියන්නෙ ලෙඩ හැටියට. එවැනි ලෙඩ මේ සමාජයේ තියෙනවා. ලෙඩ දාන අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් දෙයියන්නෙ ලෙඩක් හැදුණු ලෙඩෙක් ඉන්න විට අප සමාජයෙ කරන්නේ ලෙඩා වෙන් කිරීම. ගෙදර දොරේ කොහොඹ අත්තක් එල්ලීම. ඒ අනෙක් අයට දැන්වීමට හා ඔවුන් තාවකාලික ව ගෙදර එන එක වැළැක්වීමට. චීනයේත් සමහර විට එහෙම දෙයක් ඇති. මට හිතෙන්නෙ චීනය වූහාන් ප්‍රදේශය අනෙක්  ප්‍රදේශවලින් වෙන් කරන්න තීරණය කරන්න ඇත්තේ ඒ සාම්ප්‍රදායික දැනුම මත පදනම් වෙලා කියලා. අපේ නම් කොහොඹ පෙරුම්කායම් වැනි දේ විෂ නාෂක. 

නව කොරෝනා වෛරසයට අප ප්‍රතිචාර දක්වන්නේ බටහිර මාධ්‍ය අනුගමනය කරමින්. අප කෙතරම් දුරකට චීන මාධ්‍ය ඇසුරු කරනවා ද දන්නේ නැහැ. බටහිරයන් විශාල නිෂේධාත්මක ප්‍රචාරයක් ගෙන ගියා. චීනයට අවශ්‍ය වුණෙ වූහාන් ප්‍රදේශය වෙන් කරන්න පමණයි. ඒත් බටහිරයන්ට අවශ්‍ය වුණා මුළු චීනය ම වෙන් කරන්න. ඒක ගෙදරක දෙයියන්නෙ ලෙඩක් තියෙන විට මුළු ගම ම අත්කරිනව වගේ වැඩක්. 

බටහිර ප්‍රතිචාරය වෙළෙඳ ප්‍රතිචාරයක්. චීනයත් එක්ක අද වෙළෙඳ ගණුදෙනු විශාල වශයෙන් සිදු වෙනවා. ඒවා පොදුවේ ගත් කල චීනයට වාසියි. මේ වාසිය යම් පමණකින් හරි අඩු කිරීම බටහිරට අවශ්‍ය වෙලා තියෙනවා. මෙය කල දුටු කල වළ ඉහ ගැනීමක්. 

චීනයේ සිටින ලාංකිකයන් ඉල්ලා සිටිනවා නම ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඔවුන් වෙන් කර තබනවා ද නැද්ද ආදිය තත්වයන් සලකා බලා කළ යතුයි. එ ජා පක්‍ෂය හරි ජ වි පෙ හරි වෙනත් දේශපාලන අනාථයන් හරි කියන විධියට තීරණ ගන්න ආණ්ඩුව බැඳිල නැහැ. මෙවැනි තත්වයක් ඉදිරියේ දී ඇති වුවහොත් ගත යුතු ක්‍රියා මාර්ග දැන් ම සැලසුම් කරන්න ඕන. එහි දී ආයුර්වේද මෙන් ම පාරම්පරික වෙදමහතුන්ගේත් උපදෙස් ගන්න ඕන. අවුරුදු දෙදහස් ගණනක් අපට වෛරස් රෝග, දෙයියන්නෙ ලෙඩ හැදිලා තියෙනවා. පාරම්පරික වෙදමහතුන් තමයි අප ඉන් ආරක්‍ෂා කර ගත්තෙ. 

තවත් දෙයක් කියන්න තියෙනවා. මෙය කුමන්ත්‍රණ කතාවක් නො වෙයි. කුමන්ත්‍රණ ගැන කියන්නෙ වෙනත් හේතුවක් කියා ගන්න බැරි වුණා ම. කුරුල්ලන්ට වැළඳෙන බෝවෙන ක්ලෝම ප්‍රදාහය (බ්‍රොන්කයිටිස්-  IBV) ඇතිවෙන වයිරසය කුකුළන් සම්බන්ධයෙන් මස් වෙළඳාමේ දි  බර අඩුවීම, බිත්තර අඩු වීම  සම්බන්ධයෙන් බලපානවා. ඒ සඳහා එන්නතක් ලෙස මේ නව කොරේනා වෛරසය නිපදවූයේ ද? නව කොරෝනා වෛරසය පැතිරුණෙ සර්පයන් කෑමෙන් ද? වවුල් සුප් බීමෙන් ද (ඉංගිරිසි ව්‍යවහාරය අනුව කෑමෙන් ද) වෙනත් කැමක් නිසා ද එහෙමත් නැත්නම් සතුන් (කුකුළන්?) අතපත ගෑමෙන් ද යන්න විමසිය යුතුයි. 

මේ කොරෝනා වෛරස පැතිරෙන්නේ 1960 පමණ සිට. එයට කලින් විවිධ ප්‍රදේශවල මිනිසුන් විවිධ ආහාර අනුභව කළා. එහෙත් එකල මේ වෛරස තිබුණේ නැහැ. මේ වෛරස මිනිසුන්ගේ ම නිර්මාණ ද? විවිධ ක්‍ෂිරපායි සතුන්ගේ කුරුල්ලන්ගේ රෝග සඳහා, වෙළෙඳාම හරි වෙනත් කරුණක් නිසා හරි, නිෂ්පාදනය කරන එන්නත් කොරෝනා වෛරසවල මුල ද? මෙය ප්‍රශ්නයක් පමණයි. නිගමනයක් නො වෙයි.