History

Friday, 31 January 2020

තර්කය හා නිර්මාණය

                     සිංහල ලිත් ඉලක්කම්



තර්කය හා නිර්මාණය



මට ඊයේ පැරණි හිතවතකු හමු වුණා. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උගත් අයෙක්. දැන් පිටරටක ජීවත් වෙනවා. නමින් නම් ඔහු මුස්ලිම්. එහෙත් සංස්කෘතියෙන් සිංහල බෞද්ධ. ඔහුගේ ආගම මොකක් ද කියා මා ඇහුවේ නැහැ. ඔහු නිරාගමික පඬියකු නම් නො වෙයි. ඔහුට බොහෝ සිංහල බෞද්ධයනට වඩා මා කියන දේ ගැන වැටහීමක් තියෙනවා. ඔහුට මගේ ලිපි සියල්ල කියවන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙත් මගේ ලිපිවල ආකෘතිය හා ශෛලිය ගැන මනා අවබෝධයක් තියෙනවා. 


මා කිසිම ලිපියක් මාතෘකාවක් අනුව ලියන්නේ නැහැ. මාතෘකාව වැටෙන්නේ ලිපිය ලිවුවාට පසුවයි. මේ ලිපියට මා තවම මාතෘකාවක් හිතලා නැහැ. බොහෝ දෙනාට අනුව, ඇතැම් භික්‍ෂූන් වහන්සේටත් අනුව, මගේ ලිපිවල පිළිවෙළක් නැහැ, එල්ලයක් නැහැ. ඒ අය පුරුදු වී සිටින්නේ යම් මාතෘකාවක් උඩ එයට අදාළ යැයි කියන කරුණු ඊනියා පිළිවෙළකට ගොනු කිරීමයි. පාසලේ දී රචන ලියන විටත් අප පුරුදු වන්නේ එසේ ඊනියා පිළිවෙළකට ලිවීමටයි. 

බොහෝ දෙනා විවිධ දේ අතර ඇති සම්බන්ධය දකින්නේ නැහැ. ඊනියා අදාළ කරුණු තීරණය වන්නේ ඒ ඒ අය දකින නොදකින සම්බන්ධය මත. සමස්තය දකින තැනැත්තාට විවිධ කරුණු අතර ඇති සම්බන්ධය දකින්න පුළුවන්. ඒ සම්බන්ධය දකින අයට අදාළ කරුණු බොහෝ පළල් පරාසයක පවතිනවා. සම්බන්ධය නොදකින අයට අදාළ කරුණු සීමිත වෙනවා. මගේ ලිපිවල සම්බන්ධය නොදකින අයට සමස්තය නොදකින අයට ලිපිවල ඉලක්කයක් නැහැ. ඔවුන් ඒ දකින්නේ විසිරුණු අදහස් ලෙසයි. 

ඊයේ මා හමුවීමට පැමිණි හිතවතා සම්බන්ධය හා සමස්තය දකින අයෙක්. ඔහුට මගේ ලිපිවල විසිරුණු ගතියක් පේනේනේ නැහැ. ඔහු මුස්ලිම් පවුලක උපන් අයකු වුණත් ඔහු රේඛීය චින්තනයෙන් කැඩුණු අයෙක්. ඒබ්‍රාහ්මික ආගමික සංස්කෘතිවල ඇත්තේ රේඛීය චින්තතනයක්. එහෙත් ඔහුට ඉන් කැඩීමට හැකි වෙලා තියෙනවා. ඒ ඔහු ලැබූ අධ්‍යාපනයෙනුත් පස්සෙ. අපට ලැබෙන්නේ රේඛීය චින්තනයේ අධ්‍යාපනයක්. 

සිංහල බෞද්ධයනට තම වැඩිහිටියන්ගෙන්, ඔවුන් ඊනියා උගතුන් නොවේ නම්, ලැබෙන්නේ චක්‍රීය චින්තනයක්. එහෙත් පාසලේ දී ඒ වෙනස් කෙරෙනවා. ඔවුන් රේඛීය චින්තනයට ඇද දමනවා. රචනා ලිවීමත් එහි අංගයක්. එහෙත් නිර්මාණයේ දී රේඛීය චින්තනයෙන් වැඩක් නැහැ. රේඛීය චින්තනයෙන් නිර්මාණ කරන්න බැහැ. රේඛීය චින්තනයේ දී අනුමාන නීති යොදා ගෙන එක් පියවරකින් අනෙක් පියවරට යන්න පුළුවන්. ඒ දී ඇති පියවරකින් තවත් පියවරකට යෑමක්. 

අප දී නොමැති පියවරකට යන්නෙ කොහොම ද? ඒ අලුත් නිර්මාණයක් නම් එය වෙනත් පියවරකින් නිර්මාණය කරන්න බැහැ. එය අලුතෙන් ම නිර්මාණය කරන්න ඕන. එය තර්කයකින් ලබා ගන්න බැහැ. තර්ක කරලා නිර්මාණ කරන්න බැහැ.  එහෙත් නිර්මාණ කෙරෙන්නෙ යම් සංස්කෘතියක. ප්‍රශ්නය ඇති වන්නෙ එහි දි. මා කතා කරන්නේ කලා නිර්මාණ ගැන පමණක් නො වෙයි. කලා නිර්මාණවල නිර්මාණ, ශිල්පවල නිර්මාණ හා ශාස්ත්‍රීය(විද්‍යා) නිර්මාණවල නිර්මාණ කෙරෙන්නෙ එක ම විධියකට නො වෙයි. ඒත් ඒ කුමක් වුවත් කෙරෙන්නෙ යම් සංස්කෘතියක. අපට බටහිර විද්‍යාවේ නිර්මාණ කරන්න බැහැ. කොරෝනා වෛරසයක් වූ සාර්ස් වෛරසය හඳුනා ගැනීම බටහිර විද්‍යාවේ සංකල්පීය හරි ප්‍රවාදාත්මක හරි නිර්මාණයක් නො වෙයි. 

පඬියන්ට ශාස්ත්‍රීය (විද්‍යා) නිර්මාණ කරන්න බැහැ. කලා නිර්මාණයක් නම් කරගන්න පුළුවන් වේවි. චිත්‍රයක් අඳින්න, කවියක් ලියන්න පුළුවන් වේවි. එය සාර්ථක ද නැද්ද කියල බලන්න ඒ ඒ ක්‍ෂෙත්‍රවල නිර්ණායක තියෙනවා. ඒත් ඒ නිර්ණායක ගැනත් එකඟත්වයක් නැහැ. මේ නිර්ණායක බොහෝ විට බටහිර නිර්ණායක. රචනා ලිවීම කියන්නෙත් නිර්මාණ කිරීමක් තමයි. එයටත් අදහස් තියෙන්න ඕන. ඒ අදහස් රේඛීය චින්තනයේ පෙළ ගැස්වීම තමයි රචනයේ දී කෙරෙන්නෙ. පාසල්වල රචනා ලිවීමේ දී බොහෝ විට කෙරෙන්නේ එක ම අදහස් අවුරුද්දෙන් අවුරුද්ද නැවත නැවත ලිවීම පමණයි. අලුතෙන් අදහස් ලැබුණත් ඒ ලැබෙන්නේ රේඛීය චින්තනයක නොවෙයි. රචනා ලිවීමේ දී ඒ අදහස් රේඛීය චින්තනයක පෙළ ගස්සන්න ඕන. 

ලංකාවේ විශ්වවිද්‍යාලවල දී නිර්මාණාත්මක හැකියාව මොට කරනවා. අලුතෙන් හිතන්නට දිරියක් දෙන්නේ නැහැ. එහි හිතනවා කියන්නෙ බටහිර අදහස් ටිකක් පාඩම් කර ගෙන ඒ අනුව මෙරට සංස්කෘතිය, ඉතිහාසය බැලීම. එය අලුතෙන් හිතීමක් නො වෙයි. බටහිරයන්ට අවශ්‍ය අන්දමට මෙරට සංස්කෘතිය ඉතිහාසය ආදිය ගැන ඊනියා නිගමනවලට පැමිණීමක් පමණයි.  ඒත් ඒ ඊනියා නිගමනවලට පැමිණීමේ දී අනුමාන නීතිවලට පිටින් යනවා. එවිට ඒ ඊනියා නිගමන, නිගමන වන්නේ නැහැ.  එසේ යන්නේ නිර්මාණාත්මක ව නොව, අනුමාන නීති අනුගමනය කරන්න දන්නෙ නැති නිසා.

ලිපියක් විසුරුණු ලෙස පෙනෙන්නේ එහි ඒ ඒ ඡෙද අතර ඇති සම්බන්ධය දකින්න බැරි වූ විට. එහෙත් ශාස්ත්‍රීය සංකල්පයක් විසුරුණු අදහසක් වන්නේ නැහැ. ඒ නිශ්චිත වෙනවා. කවි සංකල්පනා බොහෝ විට විසුරුණු අදහස්. ඇතැම් කවියන් ශාස්ත්‍රීය සංකල්ප නිර්මාණයේ අදක්‍ෂයන් වන්නේ එබැවින්. කවියකුගේ නිර්මාණාත්මක හැකියාව හා ශාස්ත්‍රඥයකුගේ (විද්‍යාඥයකුගේ) නිර්මාණාත්මක හැකියාව යනු එකක් නොව දෙකක්. 

මගේ හිතවතා සමග කරන ලද සාකච්ඡාවේ දී පෙනී ගියේ ඔහුට මේ බොහෝ දේ ගැන වැටහීමක් ඇති බවයි. කොළඹ කවිය හා සම්භාව්‍ය කවිය අතර ඇති සම්බන්ධය හා වෙනස කුමක් ද? අමරසේකර හා සරච්චන්ද්‍ර අතර ඇති වෙනස කුමක් ද? බැසිල් හා මහින්ද අතර වෙනස කුමක් ද? ඊනියා සුභාවිත ගීතය යනු කුමක් ද? එයට නිර්වචනයක් තියෙනවා ද? අද තියෙන්නෙ කොළඹ ගීතය ද? කොළඹ යන්නෙන් ධ්වනිත වෙන්නෙ කුමක් ද? ලිපියක් හා ඊනියා ශාස්ත්‍රීය පත්‍රිකාවක් අතර ඇති වෙනස කුමක් ද? මා මගේ හිතවතා සමග මේ ප්‍රශ්න කතා කළේ නැහැ. එයට වෙලාවක් තිබුණේ නැහැ. ඒත් ඒ ප්‍රශ්නත් අපට අදාළ වෙනවා.