History

Tuesday, 7 January 2020

මහින්දගේ වැදගත් ම ප්‍රශ්නය

 සිංහල ලිත් ඉලක්කම්


මහින්දගේ වැදගත් ම ප්‍රශ්නය

දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකට මහින්ද රාජපක්‍ෂ එළඹිලා. සිංහල බෞද්ධයන් තරම් තම ආගමට පූජ්‍ය පක්‍ෂයට හරි පූජක පක්‍ෂයට හරි ගරහන පිරිසක්  ලෝකයේ තවත් නැත් ද? මහින්ද ඒ ප්‍රශ්නයක් ලෙස අසන්නේ නැහැ. ඔහු ප්‍රශ්නයට ඔව් යන පිළිතුර දී ඇති බවයි මට හැඟෙන්නේ. එය එතරම් වැදගත් නැහැ. ප්‍රශ්නය හරි පිළිතුර හරි ඉදිරිපත් කිරීම ගැන මහින්දට පිං දෙන්න ඕන.


බොහෝ කලක සිට සිට මා මේ ගැන හිතමින් ඉන්නෙ. තම ආගමට හා පූජ්‍ය පක්‍ෂයට හරි පූජක පක්‍ෂයට හරි සිංහල බෞද්ධයන් තරම් ගරහන පිරිසක් ලෝකයේ තවත් නැත් ද කියා මා දන්නේ නැහැ. එහෙත් සිංහල බෞද්ධයන්ගෙන් යම් ප්‍රතිශතයක් නම් එසේ කරන බව මා දන්නවා. මුහුණක් නැති මුහුණු පොතට ගිහින් බලන්න. එහි සිංහල බුදු සසුනට ගරහන කී දෙනකු ඉන්නවා ද? ඔවුන්ගේ වචනවලින් නම් අප දෙදහස් පන්සීයයක රෙද්දක් ගැනයි කියන්නෙ. 

ඔවුන් සමග සංසන්දනය කළ විට මංගල සමරවීර ළදරුවෙක්. රන්ජන් රාමනායක වෙනත් ආගමක පුද්ගලයෙක්. ඒ නිසා ඔහු අදාළ වන්නේ නැහැ. එහෙත් එවැන්නන්ට පාර කපා ඇත්තේ බෞද්ධ පවුල්වල උපන් අය. මෙය අමුතුම රටක්. ශ්‍රී මහා බෝධිය යට අරක්කු බොන්න කතා කළ අය හාමුදුරුවරුන්ගේ චරිත රඟපානවා. එය හුදු වෘත්තීයමය කරුණක් කියා කියන්න බැහැ. එවැනි ටෙලි නාට්‍ය අපේ දේ රැක ගන්නේ යැයි කියන නාළිකාවක් ප්‍රදර්ශනය කෙරෙනවා. එහි වැඩ සටහන්වල වගකීම දරන්නේ බෞද්ධ අය නොවෙයි. 

ඒ නාළිකාවෙහි සභාපතිට යම් ජාතිකත්වයක් තියෙනවා. එහෙත් අනෙක් බොහෝ අයට ජාතිකත්වයක් තියෙනවා ද කියන ප්‍රශ්නය තියෙනවා. අද ලංකාවේ ජනප්‍රිය ම යැයි කියන ටෙලි නාට්‍යයෙහි බෞද්ධ පසුබිමක් නැහැ. එහි දරුවන් තම දෙමව්පියන්ගේ ඊනියා ආදර කතා (ලව් එක) ගැන අහනවා. මා එය සාමාන්‍යයෙන් නරඹන්නේ නැහැ. එහෙත් මා හිතන්නේ එහි බෞද්ධ පසුබිමක් පෙන්නුවේ පියාගේ මරණය අවසථාවේ පමණයි. මා වැරදි නම් නිවැරදි කරන්න පුළුවන්. ඒ ටෙලිනාට්‍ය ජනප්‍රිය වීමට හේතුවක් (අහේතුවක්) තියෙන්න පුළුවන්. ඒ ටෙලිනාට්‍යයේ රඟපාන නළුවකු දිනක් මගේ පිට අත ගා යෑමට අවසර දුන්නේ මහා ප්‍රතාවත් හැඟීමකින්. අනෙක් නාළිකා හා ටෙලිනාට්‍ය ගැන කතා කරල වැඩක් නැහැ. 

මේ එක් හේතුවක් වෙන කිසිවක් නො වෙයි. මෙරට ඉන්නේ අටපිරිකර බෞද්ධයන් ඕල්කට් බෞද්ධයන් ආදීන් වීම. සිංහල බෞද්ධයන් අද ඇත්නම් ඒ ඊනියා නූගතුන් අතරයි. ධර්මපාලතුමා පුනබ්භවය විශ්වාස කළා ද කියා මට හරියට කියන්න බැහැ. එහෙත් මගේ විශ්වාසය නම් එතුමා පුනබ්භවය විශ්වාස කළ බව. එහෙත් එතුමාගේ ධජය ගත් බව කියන අය පුනබ්භවය  විශ්වාස කරන්නේ නැහැ. ධජය එසේ ගැනීමට හැකි ද යන්න ප්‍රශ්නයක්. 

මා මේ ප්‍රශ්නය තරමක් දීර්ඝ ව ඉඩ ලැබෙන පරිදි කතා කරනවා. මේ ලිපිය ආරම්භයක් පමණයි. සඟ ගණ යනු එක ම තේරුමක් දෙන වචන දෙකක් බව බොහෝ දෙනකු දන්නේ නැහැ. ධර්මපාල ධජය අතට ගත්තන් ද ගණ ගෙඩියා කියන රටක මොනවා වෙන්න බැරි ද? මේ රට මේ තත්වයෙන් හරි තිබීම ගැන පුදුම වෙන්න ඕන. 

මේ සියල්ලට මුල බුදුසසුනේ ස්වභාවයයි. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු බෞද්ධයනට ගුරුවරයකු නැහැ. ධර්මය ගුරු තනතුරෙහි ලා සලකන්න කියන එක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ථෙරවාද බුදු සසුන විසිරී නොයා බැඳ තැබුවේ මහාවංසය විසින්. එහි සිංහලකම නැතුවා නො වෙයි. එහෙත් අවධාරණය සසුනට. ගැමුණු රජතුමා කියා ඇත්තේ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා වැඩ කරනවා යන්නයි. මහාවංසයේ මොන අඩුපාඩු ඇතත් මා එයට ගරු කරන්නේ ඉන් බුදුසසුන රැකීමට පසුබිම සකස් කෙරුණු බැවින්. 

අද සිංහලයන්ගේ සතුරනට මහා ප්‍රශ්නයක් වී ඇත්තේ මහාවංසය හා ගැමුණු රජුයි. අපේ සතුරන් වඩාත් ම දොස් කියන්නේ මහාවංසයට හා ගැමුණු රජුට. ගුරුවරයකු (ප්‍රාණියකු)  නැති සිංහල බුදුසසුනට නායකයන් වූයේ මහාවංසය හා  ගැමුණු රජුයි. ධර්මය ගුරු තනතුරේ තබා ගැනීමට අප දන්නේ නැති වුණත් මහාවංසයට ගරු කිරීමට අප පුරුදු වුණා. එහෙත් හැම විට ම සංඝයා වහන්සේට අප ගරු කළා. රජකුට වුවත් සංඝයා වහන්සේ අභිබවා යෑමට බැහැ. සංඝයා වහන්සේ යනු සඟ ගණ මිස එක් සංඝයා වහන්සේ නමක් නො වෙයි. සඟ ගණ යනු අද භාෂාවෙන් නම් සමූහාණ්ඩුවක්. අපි මෙය පසුව තවදුරටත් කතා කරමු. 

ගැමුණු රජුගෙන් පසු ඒ හිඩැස රජවරු කිහිප දෙනකු අතින් යම් පමණකට පිරිමැහුණා. අදත් අපට අවශ්‍ය ගැමුණු රජු අනුගමනය කරන නායකත්වයක්. මහින්දට ඒ අවස්ථාව ලැබුණා. එහෙත් ඔහු නොමග යැවීමට විශාල පිරිසක් හිටියා. ඒ නිසා අද ඔහුට ම සිංහල බෞද්ධයන් තම ආගමට ගැරහීම ගැන කතා කිරීමට සිදු වෙලා. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගනිමු.