History

Saturday, 29 February 2020

දිනේෂ් හා පුස් කෑ වම

     සිංහල ලිත් ඉලක්කම්


දිනේෂ් හා පුස් කෑ වම

ආණ්ඩුවෙ වැඩ හින්ද වැඩියෙන් ම අර්බුදයට ගිහින් තියෙන්නෙ සකර්බර්ග් වම්මුන් ඇතුළු පුස් කෑ වම්මු. සකර්බර්ග් වම්මුන් කියන්නෙ මුහුණු පොතේ පිහිටෙන් ජීවත් වෙන අය. ඔවුන්ට ක්‍රියාකාරී දේශපාලනයක් නැහැ. 6% ව්‍යාපාරය ජ වි පෙ පසු පස යෑම ආදී අසාර්ථක ක්‍රියාවල නිරත වීම හැරෙන්න ඔවුන්ට වෙන  දේශපාලනයක් නැහැ. ජනමාධ්‍ය සමහර විට ඔවුන්ට තැනක් දෙනවා. ඒත් ඒකෙන් ඔවුන්ට ජනතාව අතරට යන්න බැහැ. ඒ ඔවුන් දරණ දේශපාලන මතවාද ජනතාව ප්‍රතික්‍ෂෙප කරන නිසා. ජ වි පෙ 3%ට පල්ලම් බැහැල තියෙද්දි ඔවුන්ගෙ කොට වලිගයක් වූ සකර්බර්ග් වමට 0.0003%ක් වත් නැහැ. මුහුණු පොත නැත්නම් ඔවුන්ට මුහුණක් නැහැ.


මේ ආණ්ඩුව හා ජේ ආර් රනිල් ආණ්ඩු අතර වෙනසක් නැහැ කියන එක තමයි සකර්බර් වමේ අදහස. ඒත් දැන් ඔන්න එම්සීසී ගිවිසුමත් අත්සන් කිරීම අත්හිටුවලා. දැන් අත්හිටුවලා කියන වචනෙ එල්ලිලා එක එක දේ කියන්න පටන් ගනීවි. මේ ගිවිසුම පැත්තකට දාලා අවශ්‍ය නම් රටට හිතකර වගන්ති එක්ක වෙනත් ගිවිසුමක් ගැන සාකච්ඡා කරන්න පුළුවන් කියල මා කාලයේ ලියල ඇති. බටහිර සමග ගිවිසුම් ඇති කර ගැනීමේ වරදක් නැහැ. ඉන් රටට යහපතක් වෙනව නම්. කොහොම වෙතත් රනිල්ලාගෙ ගිවිසුම මේ ආණ්ඩුව අත්සන් කරන්නෙ නැහැ. බන්දුල ගුණවර්ධන ඒ බව පැහැදිලි ව කිවුව. ආණ්ඩු අතර වෙනසක් තියෙනවා. සකර්බර්ග් වමට ඒක ප්‍රශ්නයක්.

සකර්බර්ග් වමට තියෙන ප්‍රශ්නය ඒ වෙනස රනිල්ගෙ ආණ්ඩුව බටහිර කියන පදයට නැටීමත් මේ  ආණ්ඩුව එසේ නැටීමට එකඟ නොවීමත් වීම. සකර්බර්ග් වමට ඒ බව කියන්නත් බැහැ තේරෙන්නෙත් නැහැ. ඔවුන්ට ජාතිකත්වය තේරෙන්නෙ නැහැ. ඊනියා පංති සංකල්පයෙන් හරි ඔවුන් දන්න වෙනත් සංකල්පයකින් හරි ඔවුන්ට ජාතිකත්වය තේරුම් ගන්න බැහැ. ඔවුන් නමට හරි වමක් ලෙස පෙනී සිටිනවා. ජ වි පෙරමුණත් වමක් ලෙස පෙනී හිටියත් එය එ ජා ප වලිගයක් පමණයි. සකර්බර්ග් වම ජ වි පෙරමුණේ වලිගයක්. ඒත් ඔවුන් පෙනී සිටීමට දඟලන්නෙ වම නිර්ණයනය වෙන්නෙ ඔවුන්ගෙන් කියල. 

සකර්බර්ග් වමටත් රනිල්දාස වමටත් කරන්න පුළුවන් එක ම දෙය මේ ආණ්ඩුවේ වචනයක් දෙකක් අල්ලගෙන ආණ්ඩුවට පහර දෙන එක. එමගින් ඔවුන් තම ඊනියා වාම කන්‍යාභාවය රැක ගන්න හදනවා. එහෙත් ඔවුන්ගෙ කන්‍යාභාවය ගැන අහන්න වෙන්නෙ මංගලලාගෙන් වීම දෛවයේ සරදමක්. 

සකර්බර්ග් වම පහුගිය දවස්වල දිනේෂ් ගුණවර්ධන ජෙනීවාහි කළ ප්‍රකාශයක් අල්ල ගෙන ඔහු මෙරට බහුසංස්කෘතික රටක් බව පිළිගත්තා කියල බෙරිහන් දෙන්න පටන් ගත්ත. දිනේෂ් කිව්වෙ මොකක් ද කියන එක අපි විමසා බලමු. ඔහුගේ ඉංගිරිසියෙන් කරන ලද කතාවෙදි කිවුවෙ මෙහෙම දෙයක්. 


“No one has the well-being of the multi-ethnic, multi-lingual, multi-religious and multicultural people of Sri Lanka, closer to their heart, than the Government of Sri Lanka.”


මෙහි කිසිම තැනක මෙරට බහුසංස්කෘතික රටක් බවවත් වෙනත් බහුබූතයක්වත් කියලා නැහැ. මෙහි වචන යොදා ගෙන තියෙන්නෙ රාජ්‍ය තාන්ත්‍රික ව උචිත අන්දමට. එය සිංහලට පරිවර්තනය කළොත් කියන්න පුළුවන් මෙහෙමයි. "ලංකාවේ බහු වාර්ගික, බහු භාෂයික, බහු ආගමික බහු සංස්කෘතික ජනයාගේ සුබ සිද්ධිය ශ්‍රී ලංකා ආණ්ඩුවේ තරම් වෙනත් අයකුගේ හදවතට සමීප නැහැ." 

මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ කුමක් ද? මෙරට විවිධ ජනයා  ඉන්නා බවත් ආණ්ඩුව ඔවුන්ගේ සුභ සිද්ධිය ගැන හිතන බවත්. මෙරට විවිධ ජනයා ඉන්න බව අප කවුරුත් පිළිගන්නවා. එහි ඇති වරද කුමක් ද? එමෙන් ම ඒ සියළු ජනයාගේ සුබ සිද්ධිය පිණිස වැඩ කළ යුතු බවත් අප කියනවා. ආණ්ඩුවත් එහෙම කියනවා. එය වරදක් ද?  සියල්ලන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන එක ගැන සකර්බර්ග් වම උරණ වෙලා ද

මෙරට ඇත්තේ සිංහල බෞද්ධ රාජ්‍යයක් යැයි මා කිසි තැනක කියා නැහැ. මා කියන්නෙ මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවිය යුතු ය කියා. එහෙත් මෙය සිංහල බෞද්ධ රටක්. පසු ගිය ජනාධිපතිවරණයේ දී සිංහලයන් ඒ බව අනුමත කළා. අද ක්‍රියාකාරී දේශපාලනයේ දී එයට පිටින් යන්න බැහැ. එ ජා ප අර්බුදයට එක් හේතුවක් එයයි. 

දිනේෂ් ජෙනීවාහි දී ඒ කිසිවක් කියන්න ගියේ නැහැ. එතැනට එසේ කීම අවශ්‍යත් නැහැ. එමෙන් ම ඔහු ලංකාව ඊනියා බහුසංස්කෘතික රටක් කියලත් නැහැ. ඔහු කියා ඇත්තේ ලංකාවේ බහු සංස්කෘතික බහු ආගමික බහු වාර්ගික ජනයා ඉන්න බව පමණයි. ඒ කියන්නේ විවිධ සංස්කෘතිවල විවිධ ආගම් අදහන ජනයා ඉන්න බවයි.

මා නොයෙක් වර පැහැදිලි කර දී ඇති බහුසංස්කෘතික රටක් යන්නෙන් අදහස් දෙකක් කියැවෙන බව. එකක් රටේ විවිධ සංස්කෘතීන් තිබෙන බවත් එහෙත් එක් සංස්කෘතියක් ප්‍රධාන, විශේෂිත, ඇතැම් විට ආධිපත්‍යයික සංස්කෘතිය බවත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එසේ තිබුණත් නැතත් එංගලන්තය එක්සත් රාජ්‍ය මහා දාර්ශනිකයන් ඉන්නේ යැයි කියන ප්‍රංශය ඕස්ත්‍රේලියාව වැනි රටවල් විවිධ ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍ය ඇති රටවල්. මුස්ලිමුන් කෙරෙහි ප්‍රංශය ක්‍රියා කරන්නේ ඉතා දරදඬු අන්දමින්. ඕස්ත්‍රේලියාවත් එහෙමයි. එංගලන්තයේ ක්‍රිස්තියානි බව අමුතුවෙන් කියන්න ඕන. දෙවියෝ රැජන රකිත්වා කියා තමයි ජාතික ගීයේ කියන්නෙ. ඇය ඇංග්ලිකන් ක්‍රිස්තියානි භක්තියේ ආරක්‍ෂිකාව හා නායිකාව. චාල්ස් හෙට බෞද්ධ නොවෙයි කතෝලික වුණොත් රජ වෙන්න බැහැ. ඒත් කාගෙන් හරි ඇහුවොත් කියාවි එංගලන්තය බහු සංස්කෘතික රටක් කියා.

බහු සංස්කෘතික කියන වචනවල දෙවැනි තේරුම තමයි රටේ විවිධ සංස්කෘතික තියෙන බවත් ඒ සංස්කෘතීන් සමාන බවත්. බටහිරයන්ට හා ඔවුන්ගේ මත මෙරට ප්‍රකාශ කරන සිවල් සාමාජිකයන්ට, එ ජා ප නායකයන්ට, සකර්බර්ග් වමට අවශ්‍ය ලංකාව ඒ දෙවැනි අරුතේ බහු සංස්කෘතික රටක් බව කීම. එසේ කියා මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂිත තැන අහිමි කිරීම. 

දිනේෂ් ජෙනීවාහි දී මේ කිසිම අර්ථයකින් ලංකාව බහු සංස්කෘතික රටක් කියා නැහැ. ඔහු මෙය සිංහල බෞද්ධ රටක් නොවේ ය කියා මංගලගේ ගොඩට වැටීත් නැහැ. ඔහු කියා ඇත්තේ මෙරට විවිධ සංස්කෘතිවල විවිධ ආගම්වල විවිධ භාෂා කතා කරන ජනයා ඉන්න බව පමණයි. එසේ කීීමෙන් මෙරට ඊනියා බහු සංස්කෘතික රටක් බවට ඉහත සඳහන් කිසිම අර්ථයකින්  කිසිසේත් ම කියැවෙන්නේ නැහැ. මේ ජනයාගේ විවිධ සංස්කෘතීන් සමාන බවක් කියා නැහැ. සකර්බර්ග් වමට අවශ්‍ය දේ දිනේෂ් කියා නැහැ. එහෙත් ඔවුන් තම අනුගාමිකයන් අතළොස්ස රැවටීම සඳහා දිනේෂ් බහු සංස්කෘතික රටක් බව කියා ඇතැයි බෙරිහන් දෙනවා. 

දිනේෂ්ගේ සරල වැකියක් තෙරුම් ගන්නට බැරි අය බටහිර චින්තකයනගේ සංකල්ප, ප්‍රවද ආදිය තේරුම් ගන්නේ කෙසේ ද? එක්කෝ ඒ බැරි අය මන්ද බුද්ධිකයන් නැත්නම් උග්‍ර රැවටිලිකරුවන්. ඒ දෙක ම වෙන්නත් බැරි නැහැ.