History

Sunday, 1 March 2020

ජාතික ලැයිස්තු පත් කිරීම්, ජඩමාධ්‍ය හා සකර්බර්ග්

      සිංහල ලිත් ඉලක්කම්





ජාතික ලැයිස්තු පත් කිරීම්, ජඩමාධ්‍ය හා සකර්බර්ග්     

ජාතික ලැයිස්තුවේ අපේක්‍ෂකයන් විය යුත්තේ කවුද යන ප්‍රශ්නය මින් ඉහත දී ද සාකච්ඡා කර තියෙනවා. එහෙත් එය තවත් සාකච්ඡා කෙරෙන්න ඕන. ඒ සාකච්ඡාවලට මා සහභාගි වෙන්න ම ඕනෙ නැහ. මගේ ලිපි දැනට කාලය වෙබ් අඩවියටත් බදාදා අරුණ පුවත්පතටත් පමණක් සීමා වෙනවා. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ ඒ අදහස් සමාජයට යන්නෙ නැහැ කියලා. ජඩමාධ්‍යයට ඒක ප්‍රශ්නයක්. ඔවුන්ට බාහිර ව අදහස් සමාජයට යනවා. ආණ්ඩුව ජෙනීවා යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීම අප ලැබූ ජයග්‍රහණයක් හා සකර්බර්ග් වම්මුන් ඇතුළු වෙනත් පුහු වම්මුන් ලැබූ පරාජයක්. එම් සී සී ගිවිසුම අත්සන් නොකිරීමත් එසේමයි. සයින්දමරදු නගර සභා ගැසට් නිවේදනය අවලංගු කිරීමත් එලෙස ම යි.



මේ ප්‍රශ්න ගැන අප කතා කරන්නේ අද ඊයේ නොවෙයි. සයින්දමරදු ප්‍රශ්නයේ දී මට කියන්න ඉතිරි වෙලා තිබුණෙ ජනවර්ගය ජන කොටස ආගම ආදිය මත පදනම් ව මැතිවරණ සම්බන්ධ කිසිම සීමා නිර්ණයක් නොකළ යුතු බවයි. එය අදට වඩා හෙටට බලපාන කතාවක්. ඒ කතාව හෙමින් සමාජයට එකතු වෙනවා. ආණ්ඩුව යම් විධියකින් එලෙස සීමා නීර්ණයක් කරන්න උත්සාහ කළොත්, සමහර විට සිංහල නගර සභාවක් ප්‍රාදේශීය සභාවක් සමග, ජනතාව එයට විරුද්ධ වේවි. 



මා කරන්නේ ඒ සඳහා අවශ්‍ය පදනම නිර්මාණය කිරීම පමණයි. එදාට ප්‍රශ්නය පළමුවෙන් කතා කරන්නේ කවුද යන්න ප්‍රශ්නයක් වන්නේ නැහැ. මා අද ඒ සඳහා පදනම නිර්මාණය කර අවසන්. මා දැන් සකර්බර්ග් පඩංගු යොදා ගන්නේ බටහිර විද්‍යාවට අදාළ ව වෙනත් අයකු ලියා ඇති ලිපයක් පළ කිරීමට පමණයි. කාලය යනු වෙබ් අඩවියක්. සකර්බර්ග් පමණක් නොව ජඩමාධ්‍ය ද නැතිවයි අපේ අදහස් සමාජයට යන්නෙ.



දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ නිර්මාණයක් බව අද සමාජයේ තහවුරු වෙමින් පවතිනවා. පියසිරි අමරකෝන් මහතා කියවා ඇති ලේඛන මගින් එයට  තවත් පොහොර වැටෙනවා. ප්‍රභාකරන් පරාජය කළ හැකි බව පළමුවෙන් ම පැවසුවේ ඊනියා යුද්ධ විශේෂඥයන් නො වේ. එය දේශපාලන ඉල්ලීමක් බවට පත් වුණා. සිංහල ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් බව කිවුවෙ සකර්බර්ග්ගෙ පඩංගුවල නො වෙයි. ඉන් සකර්බර්ග් වම්මුන් ප්‍රපාතයෙන ප්‍රපාතයට ඇද වැටුණා. මොවුන්ට කිසි දාක මෙරට බහුතරයට කතා කරන්න බැහැ.  අප තවත් දේ කතා කරනවා.



මෙරට අධ්‍යාපනයේ ලොකු ප්‍රශ්න තියෙනවා. පළමු ප්‍රශ්නය ආනන්ද විද්‍යාලය සිංහල බෞද්ධ විද්‍යාලයක් නොවීමයි. බෞද්ධ කොමිෂන් සභා වාර්තාවෙන් පාසල් රජයට ගන්න නිර්දේශ කෙරුණා. එහෙත් කරුණු දෙකක් නිසා එය සාර්ථක වුණේ නැහැ.පළමුවෙන් ම ඇතැම් පාසල් ඒ ඒ ආගමික මණ්ඩල මගින් පාලනය කෙරුණා. එපමණක් නොව ඒ පාසල්වල ගුරුවරුන්ගේ වැටුප් රජයෙන් ගෙවීමට තීරණය වෙලා. එයින් සිදු වී ඇත්තේ ඇතැම් ආගමික පාසල්වල නඩත්තුව යම් ප්‍රමාණයකට රජයෙන් කෙරීමයි! 



ආනන්ද විදුහලේ එවක විදුහල්පති මෙත්තානන්ද මහතා කතෝලික ආක්‍රමණයට විරුද්ධ ව ලිවුවා. ඔහුට කොලට්ලා පමණක් නොව එකල වෙනත් ජනමාධ්‍යවේදීන් ද විරුද්ධ වුණා. එහෙත් ඒ මහතාගේ අදහස් යම් ප්‍රමාණයකට ජයගත්තා. සමාජයේ පැතුරුණා. අද මෙරට බෝන් අගේන් ආක්‍රමණයක් තියෙනවා. ඇතැමුන් තමන් බෝන් අගේන් නොවන බව පෙන්වීම සඳහා දන් දෙනවා. අටපිරිකර පූජා කරනවා.



දෙවනුව බෞද්ධ කොමිෂන් සභාව තේරුම් නොගත් කරුණක් වූයේ මෙරට රජයෙන් ද ලබා දෙන අධ්‍යාපනය පමණක් නොව එකල තිබූ බෞද්ධ පාසල්වල ද ලබා දුන් අධ්‍යාපනය ක්‍රිස්තියානි වීම.  මෙය අර අධ්‍යාපනයේ තිබෙන දෙවැනි ප්‍රශ්නයක් ද වෙනවා. අපි මේ ගැන විටින් විට කතා කරමු. අද මද්‍රාසා පාසල් ගැන නිශ්චිත ප්‍රතිපත්තියක් සූත්‍රගත කරන්න නොහැකි වීමට ද මෙය ප්‍රධාන කරුණක් වෙනවා. මෙරට අධ්‍යාපනය පළමුවෙන් ම සිංහල බෞද්ධ විය යුතුයි. ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු ආගමික අධ්‍යාපන ගැන කතා කරන්න ඕන ඒ පදනමේ සිට. ඒ සම්බන්ධයෙන් අද අප ඉන්නේ සුළුතරයේ. සකර්බර්ග් වම්මුන් ඉන්නේ බහුතරයේ. එයින් කියන්නේ සකර්බර්ග වම්මුන්ගේ මතය ජනයා පිළිගත් බවක් නොවෙයි. සකර්බර්ග් වම්මුන් මෙන් ම මෙරට බහුතරය ද අද ඉන්නේ එකම අධ්‍යාපන ප්‍රතිපත්තියක. ඒ බටහිර අධ්‍යාපන ප්‍රතිපත්තියක.

මට කතා කරන්න ඕන වුණෙ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයන් කවුද කියන ප්‍රශ්නය. ජාතික ලැයිස්තුවෙන් පරාජිත අපේක්‍ෂකයන් පත් නොකළ යුතු බවට අද රටේ යම් මතයක් ඇති වී තිබෙනවා. එය හොඳයි. අපට අවශ්‍ය එය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට. මැතිවරණයෙන් පරාජය වන අය පමණක් නොව දිනන්න බැරි අයත් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් නොකළ යුතුයි. ක්‍රියාකාරීව දේශපාලනයේ යෙදෙන කිසිවකු ජාතික ලැයිස්තුවේ අපේක්‍ෂකයන් නොකළ යුතුයි. දේශපලන ක්‍රියාකාරිකයන් මැතිවරණයෙන් තරග කර පත් වෙන්න ඕන.



දේශපාලන ක්‍රියාකාරයකු යනු දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු පමණක් නො වෙයි. රූපවාහිනියේ හරි පිටත හරි  සාකච්ඡා සම්මන්ත්‍රණ වාද විවාදවලට සහභාගි වන්නන්, දේශපාලන රැස්වීම් ආමන්ත්‍රණය කරන්නන්, අති විශාල බහුතරය පක්‍ෂයක සාමාජිකයන් නොවූවත් ක්‍රියාකාරීන් වෙනවා. ඔවුන්ට දේශපාලන ක්‍රියාකාරීන් ලෙස මැතිවරණයේ දී තරග කර ජයගන්න පුළුවන් වෙන්න ඕන. දේශපාලන ක්‍රියාකාරීත්වය නිසා ඔවුන් ගැන ජනතාව දන්නවා. ඔවුන්ට ප්‍රධාන පක්‍ෂයකින් ඉදිරිපත් වෙලත් ජනතාවගේ කැමැත්ත ලබා ගන්න බැරි නම් එතැන ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට දිනන්න බැරි නම් එයින් කියන්නේ ඔවුනුත් පරාජිත ගොඩට වැටෙන එක පමණයි. මා හිතනවා දේශපාලන පක්‍ෂ තම පක්‍ෂවලට හිතවත් දේශපාලන ක්‍රියාකාරීන්ට තරග කිරීමට බල කරන්න ඕන කියලා. 

අප කලින් දවසක කියා ඇති ජාතික ලැයිස්තුව වෙන් කරන්න ඕන ක්‍රියාකාරී දේශපාලනයක නොයෙදෙන එහෙත් පාර්ලිමේන්තුවේ දී තම හැකියාවෙන් යමක් කරන්න පූළුවන් අයට කියා. විවාදයක දී ඔවුන්ට අලුත් අදහසක් සමහර විට දේශපාලන පැත්තකින් නොබැලූ මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් වේවි. අප ඒ සඳහා ද ඉඩ දිය යුතුයි.

දෙවනුව ස්ථාවර ආණ්ඩුවක් ඇති කිරීමටත් එය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. විශේෂයෙන් ම දහනවැනි ව්‍යවස්ථාව මගින් අවුල් කර ඇති දේශපාලනය නිරවුල් කිරීමටත් ඒ යොදා ගන්න පුළුවන්. ජනාධිපතිට පුළුවන් වෙන්න ඕන ජාතික ලැයිස්තවෙන් යම් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් නම් කරන්න. ඉස්සර සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පත්වෙන මන්ත්‍රීවරුන් අනූපස් දෙනාට අමතර ව අග්‍රාණ්ඩුකාරයා පත් කළ මන්ත්‍රීවරුන් හය දෙනකු හිටියා. මට මතක හැටියට සිංගල්ටන් සැමන් වගේ උදවිය පාර්ලිමේන්තුවට පත් කෙරුණෙ අග්‍රාණ්ඩුකාරයා විසින්. 

මැතිවරණයක දී ජනාධිපතිට හිතවත් පක්‍ෂයට බහුතරයක් නැත්නම් හා අඩුව මන්ත්‍රී ධුර යම් සංඛ්‍යාවක් නම් (පහක් යැයි කියමු) ජනාධිපතිට පුළුවන් වෙන්න ඕන උපරිමයකට යටත් ව තමාට හිතවත් පක්‍ෂයට බහුතරයක් ලැබෙන සේ මන්ත්‍රින් (හය දෙනකු) ජාතික ලැයිස්තුවෙන් නම් කරන්න. ඉන් පසු බහුතරය ඇති පක්‍ෂයට 113ට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලැබෙන සේ මන්ත්‍රින් නම් කරන්න පුළුවන් වෙන්න ඕන. එය දහඅටක උපරිමයක් විය යුතුය කියා විශ්වාස කරනවා. මේ සංඛ්‍යා වෙනස් කරන්න පුළුවන්. ඉතිරි මන්ත්‍රීන් සංඛ්‍යාව අනෙක් පක්‍ෂවලට සමානුපාතික ව දෙන්න පුළුවන්.

මෙහි ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි කියන්න පුළුවන්. එහෙත් දහනවයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක් ද? දහනවය නිසා මෙරට ස්ථාවර ආණ්ඩුවක් හදන්න බැරි වෙන්න පුළුවන්. දහනවය සංශෝධනය කරන්න ඕන. ඒත් ඒ සඳහා තුනෙන් දෙකක් අවශ්‍ය වෙනවා. තුනෙන් දෙකක් ගැනීම වෙන ම කතා කරමු. ඉහත සඳහන් සංශෝධන මීළඟ පාර්ලිමේන්තුවේ කරන්න බැරි වෙන එකක් නැහැ. ඒ ගැන දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍යයි. කලින් කී පරිදි මා එයට සහභාගි වෙන්න ඕන ම නැහැ.