History

Tuesday, 24 March 2020

අපි පරණ විධියට අලුතෙන් හිතමු

       සිංහල ලිත් ඉලක්කම් 


අපි පරණ විධියට අලුතෙන් හිතමු 



අපට හිතන්න කාලයක් ඇවිල්ල. මෙහි අප කියන්නෙ ලෝකයට ම. ඒත් මට ඒක එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ හරි වෙනත් තැනක හරි  ගිහින් කියන්න බැහැ. කිව්වත් ගණන් ගන්නෙ නැහැ. මිනිසුන් නිකම් ම හිතන්නෙ නැහැ. ප්‍රශ්නයක් ආව ම තමයි හිතන්නෙ. අද ලොකු ම ලොකු ප්‍රශ්නයක් ඇවිල්ල. අපට හිතන්න වෙලා. මා හිතන්නෙ සාමාන්‍යයෙන් හිතන විධියට නොවෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. හැමෝට ම ඒ හේතුව දැනී නැහැ. 


අවුරුදු පනහකට පමණ පෙර 1969 දී මා එංගලන්තයට ගියේ බටහිර විද්‍යාඥයකු වීමට. ඒ අදහස මට තිබුණෙ අවුරුදු පහළොවේ පමණ සිට. එහෙත් එංගලන්තයට ගිහින් ටික කලක් යන විට මා දැනගත්තා මට විද්‍යාඥයකු වීමට නොහැකි බව. අවුරුදු එකහමාරක් පමණ එංගලන්තයෙ ඉඳලා මා ආපහු ආවා. මා හිතන්න පටන් ගත්ත ඇයි මට බටහිර විද්‍යාඥයකු වීමට බැරි කියා. මට එයට පිළිතුරක් ලැබුණෙ මා කොළඹ විශ්වවිද්‍යාලයෙ ක්වොන්ටම් භෞතිකය උගන්වන්න පටන් ගත්තට පස්සෙ. 

ඒ පිළිතුර ඉතා සරලයි. මට බටහිර චින්තනයෙ හිතන්න බැහැ. බටහිර විද්‍යාඥයකු වෙන්න පුළුවන් බටහිර චින්තනයෙ හිතන්න පුළුවන් අයකුට. ලංකාවෙ බටහිර විද්‍යාඥයන් නැහැ. ලංකාවෙ විද්‍යා මහාචාර්යවරු විද්‍යාඥයන් නො වෙයි. ඔවුන් නිර්මාණය කරපු සංකල්පයක් ප්‍රවාදයක් නැහැ. චින්තනය කියන සංකල්පයත් මේ පිළිතුර නිර්මාණය කිරීමේ දී තනාගත් එකක්. බටහිර තියෙන්නෙ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය. මා එයට මුල දි කිවුවෙ යුදෙවු චින්තනය කියල. 

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෝකයෙ වර්ධනය වෙන්න පටන් ගත්තෙ පහළොස්වැනි සියවසේ. අද අමාරුවෙ වැටිල ඉන්න ඉතාලියෙ තමයි   මේ චින්තනය ඇරඹුණෙ. ඒ පිරෙන්ට්සි කියන නගරයෙ. ඒකට ඉංගිරිසින් කියන්නෙ ෆ්ලොරන්ස් කියල. එහි තියෙනවා ඩේවිඩ්ගෙ ප්‍රතිමාවක්. ඒ ප්‍රතිමාව ඉදිරියට ගිය මට හිතුනෙ මේ එකල ගෝලියාත් ව සිටි කතෝලික චින්තනය පරදවපු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය නියෝජනය කළ ඩේවිඩ් කියල. අදත් ඩේවිඩ් කෙනකු අවශ්‍යයයි. නැත්තන් කුමරතුංග මුනිදාස ශූරීන්ගෙ හීන්සැරයෙ වගේ කටුස්සකු අවශ්‍යයි. එ කටුස්සා අප ළඟ ඉන්නවා. 

අද ලෝකය ඇණ හිටලා. කවුරුත් පාහේ ලොක් ඩවුන් ෂට් ඩවුන් ගැන කතා කරනවා. අප එතැනට ආවේ කොහොම ද? පිරෙන්ට්සි නගරයෙන් පසු 1483 දි ජර්මනියෙ උපන් මාටින් ලූතර් කතෝලික චින්තනයෙන් තවත් ඇතට ගියා. එහෙත් 1527 දී ඔහුගෙ නගරයෙ  ඇති වූ වසංගතයක දි ඔහු මෙහෙම කියල තියෙනවා. “Use medicine; take potions which can help you; fumigate house, yard, and street; shun persons and places wherever your neighbor does not need your presence or has recovered, and act like a man who wants to help put out the burning city,” Luther advised. “What else is the epidemic but a fire which instead of consuming wood and straw devours life and body?”  
  
මේ අද කරන දේට වඩා වැඩි වෙනසක් නැහැ. ඒත් අද ඒ කරන්නෙ මාටින් ලූතර් ඇරඹූ ක්‍රමයෙ "ඉස්සරහට" ගිහින් බටහිර වෛද්‍ය විද්‍යාව අසරණ වෙලා ඉන්න අවස්ථාවෙ. එකල ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය යටතෙ ලෝකය "ඉදිරියට" ගිහිල්ල තිබුණෙ නැහැ. 1564 දි ඉපදී 1642 දී මියගිය ගැලීලියෝ ඉතාලි ජාතිකයෙක්. ඔහූ ඊනියා විද්‍යාත්මක ක්‍රමයෙ පියා ලෙස හැඳින්වෙනවා. 

නිව්ටන් උපන්නෙ ගැලීලියො මිය ගිය අවුරුද්දෙ. ඔහු කේම්බ්‍රිජ් විශ්වවවිිද්‍යාලයෙ ඉගෙන ගත්ත කාලෙත් වසංගතයක් හැදිලා. විශ්වවිද්‍යාලෙ නිවාඩුවට ගෙදර ගිය නිවුටන්ගෙ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුණ බවක් කියනවා. කතාවට අනුව ඔහුට ගුරුත්වාකර්ෂණ බලය කියන හිතළුව ඇවිල්ල තියෙන්නෙ ඇපල් ගෙඩිය වැටීමෙන් ඇති වූ ආවේගයට ඒක සාමාන්‍ය ආවේගය නොවෙයි. නිවුටෝනීය යාන්ත්‍රිකයෙ කියැවෙන ආවේගය (impulse) 

ගැලීලියෝ නිව්ටන්ලට පස්සෙ තමයි ධනවාදය ඇති වුණෙ. නිව්ටන් මිය ගියෙ 1727 දි. ධනවාදයත් අර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ ම ඵලයක්. ධනවාදය නිසා බටහිර විද්‍යාව ඇතිවුණා කියන එක පඬි කතාවක් පමණයි. එංගලන්තයෙ අටවැනි හෙන්රි කතෝලික පල්ලියෙන් වෙන් වුණෙ දහසය වැනි සියවසේ මුල. එක්සත් රාජධානියෙ පාර්ලිමේන්තුව ඇති වුණෙ 1706 දි  එංගලන්ත හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තු එකතු වෙලා. ප්‍රංශ විප්ලවය ඇරඹුණෙ 1789 දි. ඇමරිකන් විප්ලවය ක්‍රියාත්මක වුණෙ 1765 සහ 1783 අතර.  

ප්‍රංශ විප්ලවයෙ අදහස් වර්ධනය වුණා. වෝල්ටෙයාර්ගෙ පෞද්ගලික නිදහස පිළිබඳ අදහස රාජ්‍යයට විරුද්ධව පුද්ගලයා වෙනුවෙන් ඉදිරිපත් වුණු ඊනියා මානව අයිතිවාසිකම් පිළිබඳ අදහස් අද කඩා වැටිලා. බටහිර රටවල ඉන්න බටහිර  වෛද්‍යවරුන් මෙරට බටහිර වෛද්‍යවරුන්ට වඩා අදක්‍ෂ අය නො වෙයි. එහෙත් කොවිඩ් 19 පාලනය කිරීම ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා. අර මහියංගනයෙ නිරෝධායනයට විරුද්ධව චන්ඩිකම පෙන්නපු අයගෙ මානව අයිතිවාසිකම් මොනව ද?  

බටහිර වෛද්‍ය විද්‍යාව හිතපු ගමන් වසංගතයකට විරුද්ධ ව එන්නත් හදන්න බැහැ. අප ඉන්ද්‍රිය ගෝචර ලෝකය කියා එකක් මවා ගන්නවා. අපෙන් තොර ව ඉන්ද්‍රිය ගෝචර ලෝකයක්වත් නැහැ. මේ ඉන්ද්‍රිය ගෝචර ලෝක මිනිසුන් විවිධ ආකාරවලට විස්තර කරනවා. සමහරු ඉන්ද්‍රිය ගෝචර නොවන ලෝකයකුත් නිර්මාණය කර ගන්නවා. 

බටහිරයන් කරන්නෙ ඉන්ද්‍රිය ගෝචර ලෝකය විස්තර කරන එක. එහෙත් එහි දී ඔවුන් ගුරුත්වාකර්ෂණය  අවස්ථිති රාමු වැනි ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්පත් යොදා ගන්නවා. අර්නස්ට් මාක් එසේ ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගැනීම විවේචනය කළා. අයින්ස්ටයින්ට ඒ අදහස් බලපෑවා. ඔහු ගුරුත්වාකර්ෂණ හිතළුව අයින් කළා. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නොවන අවකාශ කාල වක්‍රතාව යොදා ගත්තා! 

ධනවාදයට විරුද්ධ වුණු අය ඊනියා සමාජවාදයක් බලාපොරොත්තු වුණා. එය මාක්ස්ගේ හිතළුවක් පමණක් බවත් එය හරි නොව හරියන්නෙ නැති දෙයක් බව මේ වන විට සනාථ වෙලා. මාක්ස් අනාථයි. නාථ දෙවියන්ටවත් ඔහුට පිහිට වෙන්න බැහැ. කියුබාව චීනය රුසියාව සමාජවාදී රටවල් නො වෙයි. වම්මුන්ට සකර්බර්ග් නැත්නම් පැවැත්මක් නැහැ. 

අප (මිනිසුන්) කරන දේ පැහැදිලි කර ගන්න ඕන. අප කරන්නෙ ඉන්ද්‍රිය ගෝචර ලෝකයක් මවා ගෙන එය විස්තර කිරීමට ඊනියා සංකල්ප ප්‍රවාද නිර්මාණය කිරීමයි. මේ ප්‍රවාද නැත්නම් කතන්දර හුදු හිතළු පමණයි. ඉන් සමහර ඒවා වියුක්තයි. කතන්දර හරි නැහැ. ඒත් සමහර වෙලාවට හරි යනවා. හරි ගියා ම අප ඒක පිළිගන්නවා. ඒත් බටහිර විද්‍යාවෙ සංකල්ප කතන්දර වැඩි කාලයක් අල්ලලා හිටින්නෙ නැහැ. ඒවා බොහොම තාවකාලිකයි. ගුරුත්වාකර්ෂණය නම් අවුරුදු දෙසිය පනහක් පමණ පැවතුණා. බටහිර වෛද්‍ය විද්‍යාවෙ ප්‍රතිකාර වෙනස් වෙනවා. කලින් ප්‍රතිකාරය වැරදි කියපු අවස්ථා එමටයි. 

අද කොවිඩ් 19 මේ සියල්ල වෙනස් කරන්න ඉල්ලනවා. අද බටහිර වෛද්‍ය විද්‍යාවට කොත්තමල්ලි ඉඟුරු සුදුළුෑණු පත්පාඩගම් වෙනිවැල්ගැට පිහිටයි. ආච්චිලගෙ ක්‍රම මිණිබිරියන්ගෙ ක්‍රමවලට වැඩිය හරි යනවා (හරි නොවයි). මා කියන්නේ නැවත කුඹුරු ගොවිතැනට පමණක් යන්න නො වෙයි. අනුරාධපුරයට බරකරත්තයෙන් යන්නත් නොවෙයි. අපට එසේ කී අය අද සකර්බර්ග් වම්මුන් වෙලා. අපි පරණ විධියට අලුතෙන් හිතමු. ඒ කියන්නෙ අපේ චින්තනය පදනම් කර ගෙන හිතමු.

සමාජ විකාශය හැමෝට ම පොදු කෙරුවෙ බටහිරයන්. අපට අපේ විකාශයක් කර ගන්න දුන්න නම් අප අද වන විට මොකක් නිර්මාණය කර ගන්න තිබුණ ද? අප තවමත් අපේ යමක් ඉතුරු කර ගත්ත නිසා අප බටහිරට වඩා සාර්ථක ව කොවිඩ්ට මුහුණ දෙනවා. අපට අපේ චින්තනයක් තියෙනවා. අපි අලුතෙන් හිතමු. අපි කාවිඩ්ට යට නොවෙමු. අපි සෙසු ලෝකයාටත් පණිවුඩයක් දෙමු.