History

Wednesday, 25 March 2020

අනාර්ය අධිපරිභෝජනය

    සිංහල ලිත් ඉලක්කම්


අනාර්ය අධිපරිභෝජනය



ඊයෙ බොහෝ තැන්වල ජනයා උපදෙස් පිළිපදිමින් සංවර ව මීටරයක දුරින් ඉඳගෙන අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගන්නවා දැක ගන්න තිබුණා. මාත් මහරගම නගරයට ගියා පළතුරු ටිකක් හා පොල් ගෙඩි කිහිපයක් මිල දී ගැනීමට. මා ඒවා වවාගෙන නැත්තේ මොකද කියල පඬියකු අහන්න පුළුවන්. කෙහෙල් ගස් කිහිපයක් තිබුණට හැමදා කෙහෙල් හැදෙන්නෙ නැහැ. පොල් ගහේ ගෙඩි තියෙනවා. අවාසනාවකට මට ගස් යන්න බැහැ. ඒ කොහොම වුණත් මා දිග පෝලිම් දැක්කා. සතොස පෝලිම කිලෝ මීටර බාගයකට වඩා දිගයි. ඔවුන් මීටර පරතරය තියා ගෙන හිටියා. 


එහෙත් ඒ අතර සමහර පෙදෙස්වල තදබදයක් තිබුණ බව රූපවාහිනියෙන් දකින්න පුළුවන් වුණා. මේ හැම තැනක ම දකින්න පුළුවන් වුණෙ අධිපරිභෝජනය, එකතු කිරීම හා අවිනිශ්චිතබව. ආණ්ඩුව අවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයා ළඟට ම යවන්න වැඩ පිළිවෙළක් සකස් කරනවා. බැසිල් රාජපක්‍ෂ එය භාර ව ක්‍රියා කරනවා. එහෙත් එහි දී විසඳා ගත යුතු ප්‍රශ්න රාශියක් තියෙනවා

පළමුවෙන් ම එදිනෙදා වැඩක් කරල මුදලක් හම්බ කරන අය. ඔවුන්ට ණයට දීමේ වැඩ පිළිවෙළක් සකස් කරන්න පුළුවන් ද? යම් ආදායමක් ලැබුවත් අතේ මුදල් නැති අය ඉන්නවා. ඇඳිරි නීති නිසා බැංකුවට යන්න බැහැ. ජංගම ඒටීඑම් ගැන හිතන්න පුළුවන් ද? ඊසි කැෂ් හැමෝට ම නැහැ. කාඩ්පතින් මුදල් ගෙවන අයත් ඉන්නවා. ඔවුන්ටත් ක්‍රමයක් සකස් කරන්න පුළුවන් ද? බැසිල් රාජපක්‍ෂ කමිටුවට මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීමට හැකි වේය කියා හිතනවා. 

එහෙත් ඒ සියල්ලට ම වඩා මේ අවස්ථාව මා ඊයේ කී පරිදිි (අද අරුණ පුවත්පතේ සඳහන් විධියට)  පරණ විධියට අලුතෙන් හිතන්න යොදා ගනිමු. අප දැන් බටහිරයන් අනුකරණය කර අධිපරිභෝජනයකට පුරුදු වෙලා. අත්‍යවශ්‍ය, අවශ්‍ය, අනවශ්‍ය අතර අද වෙනසක් නැහැ. තරගකාරීත්වය නිසා අල්ලපු ගෙදර පරදවා පරිභොජනය කරන්න පුරුදු වෙලා. මට මතක් වෙන්නෙ අර ලොකු රුපවාහිනියක් ගන්න අත් දෙක දිග කරගෙන යන තැනැත්තා. ඔහුට ත්‍රිරෝද රථයේ ගාස්තුව ගෙවන්න බැරි වෙන්න ඇති. අත් දෙක ළං කරන්න බැරි නිසා. 

මිනිසුන්ගේ තණ්හාව වැඩි දියුණු කරන අධ්‍යාපනයක් ජනමාධ්‍යයක් අද තියෙන්නෙ. අපට ඕන තව තවත් පරිභෝජනය. අප අනවශ්‍ය දේත් මිල දී ගන්නවා. අඩුම තරමින් අපේ පරිභෝජන  රටාව වෙනස් කර ගන්න මේ අවස්ථාවක් කර ගන්න පුළුවන් ද? පරණ විධියට අලුතෙන් හිතමු. අපි සරල ජීවිතයකට හුරු වෙමු. ගෘහභාණ්ඩ ගෙදර බිම් වර්ගඵලය උත්සවයකට සහභාගි වෙන පිරිස ආදිය ද අපට සීමා කරන්න පුළුවන් ද? අද මධ්‍යම පාංතිකයන් වසන ගෙවල්වල විශාල හිස් ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒවා ප්‍රයෝජනයක් නැති ඉඩ. අද නම් තෙල් පුරවා ගෙන බයිසිකල් පදින්න පුළුවන්.   

අපේ අධිපරිභෝජනය නොවන්න අපට ටිකක් කල් අල්ලන් ඉන්න පුළුවන් වේවි. අප රටේ මධ්‍යම පංතිය පහුගිය දශක කිහිපයක ප්‍රසාරණය වුණා. ඔවුන් අධිපරිභෝජනයෙන් ඉවත් වෙනවා නම් හොඳයි. ඒ මධ්‍යම පංතිය බොහෝ දුරට බෞද්ධයන්. ඔවුන් එක කකුලක් බුදුසසුනෙහිත් අනෙක් කකුල වෙනත් තැනකත් තබා ගෙන ඉන්නෙ. ඔවුන් බෞද්ධයන් ලෙස සරල සල්ලහුක ජීවිත ගත කරන්නේ නම් කාටත් පහසු වේවි. 

මේ සමබන්ධයෙන් බුදුහාමුදුරුවන් බුදුපුතුන්ට කළ අවවාදයක් අරියවංශ සූත්‍රයෙහි දැක්වෙනවා. එහි කොටසක් මා උපුටා දක්වනවා. "මහණෙනි, මේ ශාසනයෙහි  මහණ තෙම ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සිවුරක් ගැන සතුටුවීමෙහි ගුණ කියන්නේ වේද, සිවුරක් නිසා නුසුදුසු සෙවීමකට නොපැමිණෙයි. සිවුරු නොලැබීම හේතුකොටගෙන නොතැවෙයි. සිවුරු ලැබද, එහි නොඇලුණේ, මුසපත් නොවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් නික්මීමේ නුවණින් යුක්තව පරිභොග කරයිද, ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය."

මේ ගිහියන්ට දුන් අවවාදයක් නො වෙයි. එහෙත් ගිහි අපට ඉන් ගන්න පුළුවන් පාඩම් බොහොමයක් තියෙනවා. අප පරිභෝජනය කළ යුත්තේ සසරින් නික්මීමේ නුවණින් යුතුවයි. මට සසරින් නික්මීමට බටහිර විද්‍යාව හා දැනුම කට ගාගත් පඬි නැට්ටන් බාධා කරනවා. එහෙත් මගේ පරිභෝජන රටාව රටටවත් මටවත් ප්‍රශ්නයක් නො වෙයි. මට පඬි නැට්ටන් පහත් කොට සිතන්න වෙනවා. ඒ ඔවුන් අනුකාරක මනසින් රටට කරන විපත්තිය නිසා. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු ලෙස සලකතත් මා එය ටිකක් හදාරලා තියෙනවා. අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණ බලයක් නැතැයි කී බව මට තේරෙනවා. පොල් වැටෙන්නට හේතුවක් හැටියට නිව්ටන් ගුරුත්වාකර්ෂණයක් කිවුවා. අයින්ස්ටයින් කිවුවේ එයට හේතුව අවකාශ වක්‍රතාව කියා. අයින්ස්ටයින් හරි නැහැ. ඔහු හරි යනවා. නිවුටන් ද හරි ගියා. අයින්ස්ටයින් හරි යන විට නිවුටන් හරි යන්නේ නැහැ. පඬි නැට්ටන් අයින්ස්ටයින් හරි ගිය තැන් නිවුටන් හරි ගිය තැන් හැටියටත් පෙන්නනවා. පඬි නැට්ටන්ට හරි හා හරි යන කියන එකේ වෙනස තේරෙන්නේ නැහැ.

බුදුහාමුදුරුවන්ගේ ආර්ය වංශය පැරණි ආර්ය වංශය මිසක් බටහිර ආසියාව පැත්තෙන් පැමිණි බමුණු ආර්ය වංශයක් නො වෙයි. බමුණු ආර්ය කියන්නෙත් සංස්කෘතියක්. බුදුහාමුදුරුවන් ඒ සංස්කෘතිය විවේචනය කරමින් තමයි පැරණි ආර්ය වංශයක් ගැන කිවුවෙ. අප සිංහලයන් ආර්ය කියලා කියනවා. එය වැරදියි. ඒ කියන්නෙ බමුණු ආර්යයන් ගැන. අප ආර්යයන් තමයි. ඒත් ඒ බුදුහාමුදුරුවන් කියන ආර්යයන්.  අරියවංශ සූත්‍රයේ කියන්නෙ සරල ජීවිත ගත කළ සසරෙන් ඉවත්වීමට වෙර දැරූ ආර්යයන් ගැන. 

අප අවුරුදු තිස්පහක් පමණ මේ දේ කියා තිබෙනවා. පොඩ්ඩක් හරි ඒ දේට ඇහුම්කන් දුන්න නම් අපට ප්‍රශ්න ටිකක්වත් ලිහිල් කරගන්න තිබුණා. තකතීරු අධ්‍යාපනය නිසා එය බැරි වුණා. මා කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ව සිටින විට භාවනාව සඳහා ශාලාවක් හා කාලයක් ලබා දුන්නා. එයට සතපහක් විටින්නැති ඊනියා විද්‍යාඥයන් විරුද්ධ වුණා. ඔවුන් බෞද්ධයන් බවයි කියන්නෙ. රටේ හැටි ඔහොමයි. 

අපි බුදුහාමුදුරුවන් කියන ආර්යයන් මිස බමුණු ආර්යයන් නො වෙමු. අපි පැරණි බමුණන්ගෙන් මෙන් ම ගූගල් බලා ගෙන වක්‍ර අඳිමින් අපට උගන්වන නූතන බමුණු විද්‍යාඥයන්ගෙන් හා අනෙක්  බමුණු උගතුන්ගෙනුත්  නිදහස් වෙමු.