History

Thursday, 5 March 2020

මැතිවරණ එළඹුම

 සිංහල ලිත් ඉලක්කම්


මැතිවරණ එළඹුම



තව දින කිහිපයකින් මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ වෙනවා. කිසිම පක්‍ෂයකින් හාමුදුරුනමකට නාම යෝජනා නොදේවිය කියා බලාපොරොත්තු වෙනවා. හාමුදුරුවරුන් තරග කිරීමෙන් හරි ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවිය යුතුයි. එය අපේ සම්ප්‍රදායට විරුද්ධයි. එංගලන්ත ක්‍රිස්තියානි සම්ප්‍රදායට නම් එකඟයි. එංගලන්තයේ ඊනියා සාමි මන්ත්‍රී මණ්ඩලයේ ඇංග්ලිකන් පූජකවරුන් අසුන් ගන්නවා. සාමි මන්ත්‍රී මණ්ඩලය පාර්ලිමේන්තුවේ කොටසක්.


කැන්ටබරියේ හා යෝක්හි ආච් බිෂොප්වරුන් ඇතුළු ඇංග්ලිකන් පූජකවරුන් තම භක්තියේ ආරක්‍ෂිකාව වූ ඔවුන්ගේ රැජනට යටයි. ඇංග්ලිකන් ක්‍රිස්තියානි  සභාවේ නායිකාව එංගලන්ත රැජනයි. අපේ රජවරු හාමුදුරුවරුන්ට යටයි. අපේ එනම් සිංහල බුද්ධාගමේ හාමුදුරුවරුන් මාළිගාවට වැඩියෙ නැහැ. පාර්ලිමේන්තු වඩින එක අපේ සම්ප්‍රදායක් නො වෙයි. හාමුදුරුවරුන් රජතුමා පන්සලට කැඳෙව්වා. ඒ අනුශාසනා කිරීමට. සමහර විට අදිකාරම්වරුන් හා වෙනත් ප්‍රධානීන් සමග සාකච්ඡා කළා. ඒ රජුන් පහකිරීමට මෙන් ම රජුන් තැනීමට. පන්සල රජුට හා ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ තැන. 

අපේ පන්සල් මිනිසුන්ට පිනක් දහමක් කර ගන්න තියෙන තැන් පමණක් නොවෙයි. එහෙ ම වුණා නම් අද වන විට පන්සල් තියෙන්නෙ නැහැ.  සොළීන් පෘතුගීසීන් ලන්දේසීන් ඉංගිරිසින් පන්සල් විනාශ කරලා. සොළීන් පොළොන්නරුවෙ ශිව දේවාලෙ හදල තියෙන්නෙ එතැන තිබූ පන්සලක් කඩල බව දැන් හෙළිදරවු වෙලා. පෘතුගීසීන් පත්තිනි දේවාල කඩල පල්ලි හැදුවා. මඩු දේවස්ථානය විතරක් නොවෙයි අවුරුද්දකට පමණ පෙර බෝම්බ ප්‍රහාරයකට හසු වුණූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයත් එලෙස පත්තිනි දේවාල කඩා හදපු පල්ලි.  ඒ් පල්ලිවලට  තවමත් ඇතැම් බෞද්ධයන් යන්නේ පරම්පරාගත සිරිතක් අනුව. 

අප කුඩා දරුවන් මහණ කරන්නෙත් හුදෙක් ඔවුන්ට නිවන සම්මාබෝධ කිරීමට නො වෙයි. ඔවුන්ට පුහුණුවක් ලබා දෙනවා රට දැය සමය රැකීමට. සාමණේර හාමුදුරුවරුන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතා කරන පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් අප දරුවන්ට බටහිරන් නියම වී ඇති අධ්‍යාපනයක් අනිවාර්ය කිරීමෙන් දරුවන්ගේ මානව අයිතිවාසිකම් කඩ වීම ගැන කතා කරන්නේ නැහැ. 

මහාවිහාරය කළ ප්‍රධාන ම කටයුත්ත වූයේ මේ සසුන ඇරඹීම හා පෝෂණය කිරීම. ඒ පිළිබඳ ව අප මහාවිහාරයට ණය ගැතියි. අප මහාවිහාරයේ වන්නේ ඒ අරුතින්. එහෙත් අභයගිරියෙන් දේශීය කලාවට (ශිල්පීය) හා   ශාස්ත්‍රයට වූ සේවය අමතක කරන්න බැහැ. අභයගිරිය තමයි දේශජ ශාස්ත්‍රීය නිර්මාණවල තෝතැන්න. පස්වැනි සියවසෙන් පමණ පසු එය නැති වීම අපට වූ පාඩුවක්. අප භාරතයට යට වුණේ ඉන් පසුව. අදත් අප බටහිර දැනුම් ආධිපත්‍යයට යට වී ඉන්නේ මේ ශාස්ත්‍රීය සම්ප්‍රදාය නැති වූ නිසා. එහෙත් ඒ මහා විහාර සසුන හා භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තු වැඩමවීම දෙකක්. සුප්‍රසිද්ධ විද්‍යාලංකාර ප්‍රකාශයෙනුත් භික්‍ෂු දේශපාලනයක් මිස පාර්ලිමේන්තු දේශපාලනයක් ගැන කියැවුණේ නැහැ. 

අප කොපමණ ඉල්ලා සිටියත් දේශපාලන පක්‍ෂ තම ලැයිස්තුවල දූෂිතයන් නම් කරනවා. දිනන්න බැරි අපේක්‍ෂකයන් (ඒ කියන්නෙ ඉල්ලුවොත් පරාජිත අපේක්‍ෂකයන්) ජාතික ලැයිස්තුවලින් නම් කරනවා. සියළු දේශපාලන ක්‍රියාකාරීන් තරග කළ යුතුයි. මේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් යහමින් තියෙන්න ඕන. බොහෝ විට මුදල් තියෙන්නෙ දූෂිතයන් ළඟ. ඒ නිසා දූෂිතයන් නැතිව ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්න බැහැ. ජාතික ව්‍යාපාරයේ වගකීමක් වෙනවා ඒ අය හඳුනාගෙන හැකි ආකාරයකට ඔවුන්ට විරුද්ධ ව ව්‍යාපාරයක් ගොඩ නැගීම. එහි දී ඔවුන් කාගේ කවුරුන් ද කාට මුදල් වියදම් කරන්නේ ද යන්න වැදගත් වන්නේ නැහැ. 

අපේ අරමුණ විය යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂට එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ආධාර කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දීම මිස උකුස්සන්වත් දියකාවන්වත් වෙනත් පක්‍ෂීන්වත් සර්පයන්වත් සතුන්වත් පාර්ලිමේන්තු යැවීම නො වෙයි. සතුන්ට සර්පයන්ට මෙත් වැඩීම එකක්. ඔවුන් පාර්ලිමේන්තු යැවීම තවත් එකක්. 

එක්සත් ජාතික පක්‍ෂය තරග කළත් නොකළත් සජිත් වෙන ම තරග කළත් නොකළත් ඒ කඳවුර අද බලවේගයක් වන්නේ නැහැ. සජිත් බෞද්ධ ද නැද්ද කියා මා දන්නේ නැහැ. යමකු ගාථා කී පමණින් බෞද්ධ වන්නේ නැහැ. අද අබෞද්ධයන් කී දෙනකු ගාථා කියනවා ද? පිරිත් නූල් බැඳ ගෙන ඉන්නවා ද? ශ්‍රද්ධාව මවා ගන්න පුළුවන් එකක් නොවෙයි. චම්පක දින ගණනක් මහණ වෙලත් හිටියා. 

චම්පකට රැවටුණු අය අද තමන් ගැන කණගාටු වෙනවා. බොහොම කාලෙකට පෙර මේ පිරිසෙන් කිහිප දෙනකු මහරගම වජිරඥාන භික්‍ෂු මධ්‍යස්ථානයේ දී මට තර්ජනාත්මක ව කතා කෙළේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමක අබියස! මෙරට ජාතික ව්‍යාපාරයේ පුනබ්භවය නොපිළිගන්නා අය ඉන්නවා. පන්සිල් ගැනීමට අකමැති අය ඉන්නවා. ජාතික ව්‍යාපාරයත් අනෙක් ව්‍යාපාර මෙන් ම සජාතීය නැහැ. 

ගෝඨාභය රාජපක්‍ෂට හිතවත් පිරිස් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ. එහෙත් ඒකෙන් කියන්නෙ නැහැ ඒ සංධානයේ සියල්ලන් ම ඔහුට හිතවත් කියා. ඇතැමුන් අවුරුදු පහේ දහයේ න්‍යාය පත්‍ර උඩ වැඩ කරන අය. අප ඒ අය හඳුනා ගන්න ඕන. ගෝඨාභය රාජපක්‍ෂට තමන් කැමති යම් පිරිසක් සංධානයෙන් අපේක්‍ෂකයන් ලෙසත් ජාතික ලැයිස්තු මන්ත්‍රීන් ලෙසත් නම් කරන්න අවස්ථාව තියෙන්න ඕන. ඔවුන් වියත් මගේ ද හමුදාවේ හිටපු නිලධාරීන් ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් ඇති නොවන බවට වග බලාගන්න ඕන.

සංධානයේ අපේක්‍ෂකයන් ඉදිරිපත් වනු ඇත්තේ පොදුජන පෙරමුණෙන්. එය තරමක ප්‍රශ්නයක් නමුත් විශාල ප්‍රශ්නයක් නො වෙයි. ආණ්ඩුවේත් රජයේත් නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මිස වෙනත් කිසිවකු නො වෙයි. ඔහු පක්‍ෂයක සාමාජිකයකු නොවී සිටීම ඉතා වැදගත්. අප ඡන්දය දිය යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂ ශක්තිමත් කර රට ජාතිකත්වය දෙසට තව තවත් තල්ලු කිරීමට මිස වෙනත් අරමුණු පෙරදැරි කර ගෙන නො වෙයි.