History

Friday, 6 March 2020

නව දේශපාලනයක්

   සිංහල ලිත් ඉලක්කම් 


නව දේශපාලනයක්


අද මෙරට දේශපාලනයේ ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය ක්‍රමයෙන් නැති වී ගෙන යනවා. ශ්‍රී ල නි පක්‍ෂය මරා දමනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන විසින් නොවේ. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වීමට කරුණු සැලසූ අය එයට වග කියන්න ඕන. එයින් කියැවෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමට කටයුතු කෙළේ ඒ පිරිස බවයි. සිරිසේනත් සමග යම් පිරිසක් යහපාලනයට ගියා. ඔවුන් යහපාලන දින සියයේ ආණ්ඩුවේ ඇමතිකම් ගත්තා ද නැත් ද යන්න ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රසන්න රණතුංගත් යහපාලන මුල් ම කාලයේ සිරිසේනට ගෑවී සිටියේ. ඔහු අද කියනවා සිරිසේනට ගෑවී සිටි කිසිම අයකුට ඡන්දය නොදිය යුතු බව. ඒකත් හොඳ කියමනක්. 


එ ජා පක්‍ෂය නැති කෙරෙන්නේ සජිත් විසින් යැයි කීම සජිත්ට නැති හැකියාවක් ඇතැයි කීමක්. ඔහුට එවැන්නක් කිරීමට හැකියාවක් නැහැ. එ ජා ප නැති කෙරෙන්නේ බෝන් අගේන් කල්ලියක් විසින්. සජිත් එහි ඉත්තකු පමණයි. කෙසේ වෙතත් මේ මැතිවරණයෙන් පසු එ ජා පක්‍ෂයත් ශ්‍රී ල නි පක්‍ෂයත් තවත් ඊනියා මාක්ස්වාදී පක්‍ෂයක තත්වයට පත්වෙනවා. ඒ කියන්නේ ත්‍රිරෝද පක්‍ෂ ම නොවෙයි. එහෙත් මැති සබයේ එතරම් මන්ත්‍රි ආසන සංඛ්‍යාවක් නැති වේවි. 

ලංකා සමසමාජ හා ලංකා කොමියුනිස්ට් පක්‍ෂ ළඟට පැරණි ම පක්‍ෂ වූයේ එ ජා ප හා ශ්‍රී ල නි පක්‍ෂයයි. ඒ පක්‍ෂ හතර ම අද වන විට ඉතා දුර්වල පක්‍ෂ. ඒ පක්‍ෂවලට මැති සබයේ නියෝජනත්වයක් ලබා ගැනීමට නම් පොදු ජන පෙරමුණට හරි සමගි ජන බලවේගයට හරි එකතු වෙන්න ඕන. අප ද්විපක්‍ෂ ක්‍රමයෙන් ඉවතට යන්නේ නැහැ. තිබුණු ප්‍රධාන පක්‍ෂ දෙක වෙනුවට මැතිවරණයෙන් පසු වෙනත් පක්‍ෂ දෙකක් ප්‍රධාන පක්‍ෂ බවට පත් වේවි. 

ලසසප, ලකොප, එජාප හා ශ්‍රී ල නි ප යන පැරණි පක්‍ෂ එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කළා. ඒ ඔවුන්ට ප්‍රතිපත්ති තිබුණ නිසා. ඒහෙත් පොදු ජන පෙරමුණට හරි සමගි ජන බලවේගයට හරි ප්‍රතිපත්ති තියෙනවා ද? ලසසප හා ලකොප පක්‍ෂ පිළිවෙළින්  ට්‍රොට්ස්කිවාදී හා ස්ටැලින්වාදී පක්‍ෂ කියන්න පුළුවන්. ශ්‍රී ල නි ප ජාතිකවාදී පක්‍ෂයක්. එ ජා ප බටහිර ගැති පක්‍ෂයක්. හරි හෝ වැරදි හෝ වේවා ඒ පක්‍ෂවලට ප්‍රතිපත්ති තිබුණා. එහෙත් පොදු ජන පෙරමුණේ හා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති මොනවා ද? 

මේ නව දේශපාලනය ආරම්භ වුණේ 1977න් පසුව. ජේ ආර් තමයි එයට මග පෑදුවේ. ඔහු ඉදිරිපත් කළ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව යැයි හැඳින්වෙන ව්‍යවස්ථාව ප්‍රතිපත්ති විරහිත දේශපාලනයකට මග පෑදුවා. අතුරු මැතිවරණ නැති වුණා. ඊනියා මනාප ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා. දේශපාලන පක්‍ෂ මාරු කිරීම පාර මාරු කිරීමට වඩා පහසුවෙන් කෙරුණා. එකල පාර්ලිමේන්තු ගැබ හරහා යනවා යැයි කීම වැදගත් දේශපාලන මාරුවක්. අද සමහරු පාර්ලිමේන්තු ගැබ ගබ්සා කරලා. එහි ගැබක් නැහැ. පිටකොටුවේ බෝගහ හන්දියේ මෙන් දේශපාලනඥයන් ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට මාරු වෙනවා. 

ඇතැම් විට මේ මාරු කිරීම් සිදුවන්නේ මුදලට. ඒ කතා කෙරෙන්නේ මිලියන හා බිලියනවලින්. එසේ මාරු වෙද්දී ප්‍රතිපත්තිවල සිදු වූ වෙනස කුමක් ද කියා කිසිවකු අසනවා ද? ඒ අසන්නේ නැත්තේ අද වන විට ප්‍රතිපත්ති  ගරුක වීම කුණුහරුපයක් වී තිබෙන නිසා. යමකු පක්‍ෂයක් මාරු කර වෙනත් පක්‍ෂයකට යන විට එක්කෝ තම ප්‍රතිපත්තියේ වූ වෙනසක් ගැන කියන්න ඕන. නැත්නම් පක්‍ෂය ප්‍රතිපත්ති වෙනස් කළ බව පෙන්වන්න ඕන. 

මේ ප්‍රතිපත්ති විරහිත බව ඔඩු දුවා ගොස් අද ප්‍රතිපත්ති විරහිත බව ප්‍රතිපත්තිය බවට පත් වෙලා. ප්‍රතිපත්ති විරහිත බව ප්‍රතිපත්තිය වන්නේ කෙසේ ද යන්න ඇරිස්ටෝටල්ගෙන් අහගන්න ඕන. එය ඊනියා විසංවාදයක් ද? විරුද්ධාභාසයක් ද? ඇරිස්ටෝටල්ගේ බංකොළොත් න්‍යායේ ප්‍රශ්නවලට අපි පසු දවසක එමු. සොක්‍රටීස් ගත් මග වෙනස් කෙරුණේ ඇරිස්ටෝටල් හා ඔහුගේ ගෝල බාලයන් විසින්. ඇරිස්ටෝටලීය න්‍යායේ (logic) විරුද්ධාභාස ඇත්තේ ඇයි? කුලකවාදය මඩ ගොහොරුවක්. දේවානම්පිය තිස්ස රජුත් ඒ ගැන දැන සිටියා. කුලකවාදය බටහිර ඇතිවුණ් ඊට බොහෝ කලකට පසුව වීම වෙන ම කරුණක්.  

පොදු ජන පෙරමුණ හා සමගි ජනතා බලය ප්‍රතිපත්ති විරහිත දේශපාලනයේ කුඨප්‍රාප්තිය ද? සමහර විට මැතිවරණය සඳහා ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කරාවි. එය අවශ්‍ය නැහැ. අපේ ප්‍රතිපත්තිය ප්‍රතිපත්තියක් නැති කම යැයි එක වාක්‍යයකින් කියන්න පුළුවන්. 

අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් ම නොව මුදල් පිළිබඳ ප්‍රශ්නයක්. ඇතැමුන් ඒ දිනවල සිට නිතර කියන කතාවක් තමයි බලය ගන්නෙ නැතිව කිසිවක් කරන්න බැහැ කියන එක. එහෙත් බලය හැමෝට ම ගන්න බැහැ. මොන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළත් එක් අයකු දෙන්නකු තමයි බලය රඳවා ගන්නෙ. අල්පයක් හැරෙන්න ඔවුනුත් අනෙක් අයත් අද බලන්නේ මුදල් දිහා. දේශපාලනය තමයි අද තිබෙන හොඳ ම රස්සාව. මේ රස්සාවෙන් හම්බ කර ගත්තෙ නැති අය කී දෙනකු ඉන්නවා ද? ඒ අතේ ඇඟිලි ගණනට වඩා අඩුයි. මෙය ධනවාාදයට ලඝු කරන්න පඬියන් උත්සාහ කරාවි. ජේ ආර්ට පෙර මෙරට තිබුණේ සමාජවාදයක් නොවෙයි. 

පොදුජන පෙරමුණත් සමගි ජන බලවේගයත් අද ක්‍රියා කරන්නේ බලය ලබා ගැනීම. ඒ මුදල් ඉපයීමට මිස වෙන එකකට නොවෙයි. ජනතා සේවය කියන්නෙ බොරු කතාවක් පමණයි. මේ පක්‍ෂ දෙක රට තව තවත් ප්‍රපාතයට ඇද දමාවි. එහෙත් ජනතාව අද ඉන්නේ ඔවුන්ට වඩා බොහෝ ඉදිරියෙන්. බොහෝ දේශපාලනඥයන්ට වඩා ජනතාව අද ජාතිකත්වයට අවතීර්ණ වෙලා. තවමත් ජාතිකත්ව දේශපාලනයේ කිහිප දෙනකු ඉන්නවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා දිනේෂ් ගුණවර්ධන ඉන් ප්‍රධානයි. 

එක්කෝ පොදුජන පෙරමුණ ජාතිකත්ව පක්‍ෂයක් වෙන්න ඕන. එහෙම නැත්නම් යථා කාලයේ එය දියවී යන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය ජාතිකත්ව මගක් ගන්න ඕන. ඒ සඳහා විශාල විභවයක් තියෙනවා. පොදුජන පෙරමුණ අද ශක්තිමත් වගේ පේන්න තියෙනවා. එහෙත් එය හුඹසක් පමණයි. ජාතිකත්ව නයා ඉන්නේ හුඹසෙන් පිට. සමගි ජන බලවේගය ගැන කතා කරන්න දෙයක් නැහැ. එය තවත් දේශපාලන අම්බලමක් පමණයි.