History

Friday, 10 April 2020

මැතිවරණ කොමිසම දැන් මොනව කරයි ද?

  සිංහල ලිත් ඉලක්කම්


මැතිවරණ කොමිසම දැන් මොනව කරයි ද? 



කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල ගැන මගේ ඇත්තේ ප්‍රසාදයක්. එය මට අවශ්‍ය ආකාරයට ම සිදු නුණත් ඉන් සාර්ථක ප්‍රතිඵලයක් අත් වේවි කියා හිතන්න පුළුවන්. මට ඇති එක් කණගාටුවක් නම් මෙහි දී ආණ්ඩුව ජ වි පෙ යොදා නොගැනීමයි. කලකට පෙර ජ වි පෙ ඉතා සාර්ථක ව ගැසට් කිසිවක් නැතිව තුණ්ඩුවකින් පමණක් ඇඳිරි නීතියක් පවත්වාගෙන ගියා. 


ආණ්ඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හෙවත් බටහිර වෙදමහත්වරුන්ගේ වෘත්තීය සමිතියකට ඇහුම්කන් දෙන්නෙත් නැහැ. අලුත්ගේ හැමදාමත් පරණ කතන්දරේ කියවනවා. 3A, 3B 4 යුග ගැන කියනවා. පොකුරු ව්‍යාප්ති ගැන කියනවා. ඔවුන් කියන කිසි දෙයක් හරියන්නෙ නැහැ. පාදෙණිය කාගෙ පැත්තෙ ද කියා පාදෙණියවත් දන්නෙ නැහැ. ආණ්ඩුව පාදෙණියටවත් සවන් දෙන්නෙ නැද්ද? ඔහුට ප්‍රියන්තා සේනානායක මගින් නාථ දේව මණ්ඩලයෙන් පණිවුඩ ලැබෙනවා. 

මේ වන විට ඇතැම් බටහිර වෙදමහත්තුරු අලුත්ගේ නවීන් සොයිසා පාදෙණිය සමාගමට විරුද්ධව කියනවා. එහෙත් සිංහල බෞද්ධ විරෝධී එක් පඬියකු (රටේ වෙදකු වන ඔහු ජී එල්ලා සමග මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස් කිරීමට ක්‍රියා කළා) බටහිර වෙදමහත්තුරුන්ගේ වෘත්තීය සමිතියේ තර්කයේ එල්ලිලා. ඔය තර්ක දිරච්ච ලණු හින්ද පඬියා වැටෙන්න පුළුවන්.

අද තමන් ඊනියා ජාතික සංවිධාන බව කියා ගන්නා තුන් හතර දෙනෙක් ද ඊනියා පර්යේෂණ ඒකකයක් හදාගෙන එහෙන් මෙහෙන් අහුලා ගත් කරුණු ආණ්ඩුවට විරුද්ධව කියනවා. ඔවුන් ආණ්ඩුවත් සමග ඉන්න බව පෙන්වමිනුයි මේ පර්යේෂණ කතා කියන්නෙ. මට බදුල්ල පළාත් සභා මැතිවරණයත් සෝභිත හාමුදුරුවනුත් මතක් වෙනවා. ආණ්ඩුව වැඩියෙන්ම ආරක්‍ෂා වෙන්න ඕන හිතවතුන් යැයි කියන්නන්ගෙන්.

අද ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂයක් නොව අන්වීක්‍ෂයක් දැක නැති අය වෛරස ගැන කතා කරන්නෙ හරියට ගෙදර මේස පුටු ගැන කතා කරනවා වගේ. ඔවුන්ට බටහිර විද්‍යාඥයන් ගැන එච්චර විශ්වාසයක් තියෙනවා. ඒත් බටහිර විද්‍යාව හුදු තර්ක බුද්ධිය මත පමණක් යැපෙන්නක් නොවෙයි. අර ආනුභවිකවාදය ගැන මොකක් ද කියන්නෙ. කාලෝ ෆොන්සේකාට එය තේරුණේ නැහැ. කමක් නැහැ බටහිර විද්‍යාව තමයි නූතන ආගම. විද්‍යාඥයන් තමයි එහි කපුවන්. වෛරස ගැන දන්නෙ කපුවන්. අපට කපුවන් විශ්වාසයි. ඒ නිසා වෛරස ගැනත් විශ්වාසයි. කපුවන්ට වැරදිච්ච තැන් ඕන තරම් තියෙනවා. 

අද ඊට වඩා වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. ඒ අර අති උතුම් ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධයි. ජනාධිපති මැතිවරණය ගැන ගැසට් නිවේදනයක් නිකුත් කරල නාම යෝජනා කැඳවල අවශ්‍ය කටයුතු කෙරුවා. 1980 අංක 1 දරණ මැතිවරණ පනත අනුව දැන් වැඩේ බාරවෙන්නෙ මැතිවරණ කොමිසමට. එය ඉතා පැහැදිලියි. එකී පනතේ 24(3) අනුව යම් මැතිවරණ දිස්ත්‍රික්කයක  යම් හදිසි අවස්ථාවක් හරි නුදුටු තත්ව යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි නම් කොමිසම ගැසට් නිවේදනයක් මගින් මැතිවරණය සඳහා වෙනත් දිනයක් නියම කරන්න පුළුවන්. එය කලින් ගැසට් නිවේදනය නිකුත් වූ දිනට දින දහහතරකින් හෝ ඉන් පසුව හෝ වෙන්න ඕන. 

මේ ගැන ආයෙත් කාගෙන්වත් මතය විමසන්න ඕන නැහැ. කොමිසම පනතේ සඳහන් අන්දමට කටයුතු කරනවා මිස මත විමසන්න ඕන නැහැ. ජනාධිපති ලේකම් කොමිසමට කියල තියෙන්නෙ ඒකයි. කොමිසම මොකද කරන්නෙ. කොමිසමට දිනයක් නියම කරන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. මා හිතන්නෙ එවැනි අවස්ථාවක කොමිසමට බලන් ඉන්න වෙයි. 

ඒ මගේ මතය. කවුරුන්වත් මගේ මතය අහල නැහැ. කොමිසමේ සභාපතිතුමා පේරාදෙණියෙ විිද්‍යා පීඨයෙ ඉන්න කාලෙ මා එහි ගණිතය ඉගැන්නුව කියනවා. මා පේරාදෙණියෙන් අස්වුණෙ 1975 අප්‍රේල් මාසෙ අවුරුදු හතළිස් පහකට ඉස්සෙල්ල. පස්සෙ කාලෙක ජී එල් පීරිස් නම් කිවුවෙ මා ගණිතය උගන්නන්නෙ  නැහැ කියල. ඒ ගැන  සභාපතිතුමාගෙ මතය මා විමසන්නෙ නැහැ.  24(3) මෙහෙමයි.
    
"24 (3) Where due to any emergency or unforeseen circumstances the poll for the election in any electoral district cannot be taken on the day specified in the notice relating to the election published under subsection (1), the Commissioner may, by Order published in the Gazette, appoint another day for the taking of such poll, and such other day shall not be earlier than the fourteenth day after the publication of the Order in the Gazette." 

දැන් කොමිසම දිනයක් නියම නොකළොත් මොකද වෙන්නෙ. එවිට මැතිවරණ පනතේ 113 වගන්තිය මගින් බලය ජනාධිපතිට ලැබෙනවා. යම් හදිසි අවස්ථාවක් නිසා (මහජන ආරක්‍ෂක පනතේ කියැවෙන හදිසි තත්වයක් නො වෙයි) ජනාධිපති යම් මැතිවරණ දිස්ත්‍රික්කයක  යම් හේතුවක් නිසා මැතිවරණය පවත්වා නැති බවට සෑහීමකට පත් වේ නම් ඔහුට  ඒ දිස්ත්‍රික්කයෙ මැතිවරණයක් පැවැත්වීමට ගැසට් නිවේදනයක් මගින් වෙනත් දිනයක් නියම කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නය ඉවරයි.

කොමිසමට පුළුවන් නම් මැයි 30 වැනි දාට පෙර මැතිවරණයක් සඳහා දිනයක් නියම කරන්න. බැරි නම් ජනාධිපති පසුව මැතිවරණයට වෙනත් දිනයක් නියම කරාවි. ඒ දිනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැත්තෑවන වගන්තිය අනුව කෙරෙන්නක් නොවන බව පමණක් මේ අවස්ථාවේ දී සඳහන් කරන්න ඕන. ජනාධිපතිට අවශ්‍ය නම් හැත්තෑව යටතේත් ක්‍රියා කරන්න පුළුවන්. ඒ සියල්ල පසුවට. හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට කිවුවලු.  කාගෙත් දැන ගැනීම සඳහා 113 මෙහෙමයි. මතක තියා ගන්න ඕන සංඛ්‍යා 24. 70, 113. 

"113. If at any time after the President has ordered or fixed the date for an election, it is shown to his satisfaction that in any electoral district owing to any cause whatsoever no election has been held in pursuance of such Order be may at any time by notice in the Gazette issue another Order that an election shall be held in that district."