History

Saturday, 11 April 2020

මැතිවරණ කොමිසමට හා කොවිඩ්ට වෙදකම්

 සිංහල ලිත් ඉලක්කම් 


මැතිවරණ කොමිසමට හා කොවිඩ්ට වෙදකම්



මා හිතනනේ ජනාධිපති ලේකම් මැතිවරණය සම්බන්ධයෙන් ලිපියක් යැවුවේ මැතිවරණ කොමිසමට කියා.  එයට හූල් ප්‍රතිචාර දක්වලා. එය සිංහල බෞද්ධ විරෝධී කඩමාල්ලක පළ කරලා. ජනාධිපති ලේකම් තම ලිපියෙන් කියා තිබුණා මැතිවරණ කොමිසම ජනාධිපතිට යැවූ ලිපිය ජනාධිපතිට ලැබීමට පෙර ජනමාධ්‍යයේ පළ වී තිබුණා කියා. දැන් මා දන්නවා මෛත්‍රිපාල සිරිසේන තමා ජනාධිපති ව සිටිය දී ජනමාධ්‍යයෙන් පුවත් ලබා ගත්තේ ඇයි ද කියා. තමන්ට නිල වශයෙන් ලිපි ලැබීමට පෙර ජනමාධ්‍යයෙහි ඒ පළ වන බව ඔහු දැන සිටින්න ඇති. 


ජනාධිපති ලේකම් මැතිවරණ කොමිසමට ලිපියක් යැවූ විට එයට ප්‍රතිචාරයක් දැක්විය යුත්තේ කොමිසම මිස කොමිසමේ එක් එක් සාමාජිකයා නො වෙයි. එයත් සිංහල බෞද්ධ විරෝධී කඩමාලුවලට නො වෙයි. හූල් යාපනයේ හිර වෙලාලු. මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඇඳිරි නීති තිබුණත් ගමනාගමනය නතර කිරීමට සිද්ධ වෙන්නෙ නැහැ කියන එකයි මගේ හැඟීම. මහින්ද දේශප්‍රිය මොරටුවේ හිර වෙලා ඇති බවක් පේන්නෙ නැහැ. ඒ කෙසේ වෙතත් කොමිසමේ සාමාජිකයන්ට ස්කයිප් හරි වෙනත් තාක්‍ෂණයක් හරි මගින් කතා කරන්න බැරි කමක් තියෙනවා කියා මා හිතන්නේ නැහැ. ජනාධිපති ලේකම්ට ප්‍රතිචාරයක් දැක්විය යුත්තේ කොමිසම මිස එහි එක් එක් සාමාජිකයා නො වෙයි. 

ඒ කොහොම වුණත් හූල් මහා දෙයක් කියා නැහැ. ඔහු කියන්නේ මැතිවරණ පනතේ 24(3) යටතේ මැතිවරණ කොමිසම අලුත් දිනයක් නියම කළ යුතු යැයි සඳහන් නොවන බව. අපත් කියා ඇත්තේ කොමිසමට එසේ දිනයක් නියම කිරීමට හැකි (පුළුවන්) බව මිස දිනයක් නියම කළ යුතු බවක් නො වෙයි. ඒ කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කියා ඇත්තේ අලුත් දිනයක් පිළිබඳ තීරණයක් ගැනීම මැතිවරණ කොමිසමේ කාර්යයක් බවයි. ඒ තීරණය කුමක් දැයි ජනාධිපති බලා ඉන්න බවයි මගේ හැඟීම. ඉන්පසු සුදුසු කල් පැමිණි පසු ජනාධිපති තීරණයක් ගනීවි. මැතිවරණ පනතේ අංක 113 වගන්තිය යටතේ ඔහු ක්‍රියා කරාවි කියා මා හිතනවා. 

මා දැක්ක ජයම්පති වික්‍රමරත්නත් ජූනි 2 වැනි දා හෝ ඊට කලින් හෝ අලුත් පාර්ලිමේන්තුව රැස්විය යුතු බව කියා තිබුණා. මේ සියල්ලන්ගේ මතය ජූනි 2 වැනි දා අලුත් පාර්ලිමේන්තුව රැස් කිරීමට බැරි නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කළ නියෝගය අවලංගු කළ යුතු බව. මා නීතිඥයකු තබා උගතකු වියතකු බුද්ධිමතකුවත් නො වෙයි. වැඩිම වුවහොත් බටහිර විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. 

එහෙත් 113 ගැන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ගැන මගේ අර්ථකථන තියෙනවා. එය හරි ද වැරදි ද කියා මා කියන්නේ නැහැ. නීතියේ ඇත්තේ නීති මුලධර්ම, ඊනියා සාක්‍ෂි හා එකිනෙකාගේ අර්ථකථන පමණයි. සමහරුන්ගේ අර්ථකථන පමණක් ක්‍රියාත්මක කරන්න කියා නීතියේ කියා තියෙනවා. මේ සමහරුත් අවසානයේ දී පුද්ගලයන් පමණයි. ජූනිි 2වැනි දාට පෙර කිහිප වරක් සංඛ අලුත් පාර්ලිමේන්තුව කැඳවාවි. දෙරණේ කිසිවකු දැන් මා සමග දුරකතනයෙන් සම්බන්ධ නොවන බැවින් මගේ මතය ඔවුන්ට ප්‍රකාශ කරන්න බැහැ. එහෙත් සුදුසු අවස්ථාවේ දී කාලය මගින් මතය ප්‍රකාශ කරන්නම්. එතෙක් බලා ඉමු. කඩමාලු කියවමු. 

අද කඩා වැටෙන්නේ ඊනියා ධනපති ක්‍රමය පමණක් නො වෙයි. ලෙනින්ගේ සමාජවාදය නම් කඩන් වැටිල හුඟක් කල්. ඒ බර්ලින් තාප්පයත් සමග. කඩා වැටුණු බර්ලින් තාප්පයට මාක්ස් එංගල්ස් ලෙනින් ට්‍රොට්ස්කි ස්ටැලින් කෘෂෙව් ආදී සියල්ලන් යට වෙලා. ග්‍රම්ස්චිට පමණක් නොවෙයි ඊට පස්සේ පහළ වෙච්ච මහාප්‍රාණ දාර්ශනියකන්ටවත් ඔය කියන කිසිම සමාජවාදයක් ගොඩ ගන්න බැහැ. නිකම් කතා කර කර ඉන්න පුළුවන්.  කියුබාවේ ඇති සමාජවාදයක් නැහැ. 

ලෝක  ආර්ථිකය කඩා වැටෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. අර ලෝක ගම්මානයට මොකද වුණේ. ඒක ලොක්ඩවුන් වෙලා. හූල් කියන්නෙ යාපනෙත් ලොක්ඩවුන් කියලා. බොහෝ කලකට පෙර ඔය ලෝක ගමේ ගම්මුලාදෑනියා ගැන අප කතා කළා. අද ඔහුට කොරෝනා වැළඳිලා. කොරෝනාට තාම එන්නතක් නැහැ. අද කඩා වැටෙන්නෙ සමස්ත පද්ධතියමයි.

මේ සියල්ල පහළොස්වැනි සියවසේ පටන් ගත්ත ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය නිසා වෙන දේ. එය වෙන් කිරීම (නිරෝධායනය නොවෙයි), ස්වභාව ධර්මයෙන් ඈත්වීම, ආත්මාර්ථකාමීත්වය, ස්වභාව ධර්මය සූරාකෑම, ලෝකය මිනිසාට (සුදු පිරිමියාට) මවා ඇත යන  දර්ශනය, වියුක්ත චින්තනය, රේඛීය චින්තනය, ආරම්භයක් ඇතැයි සිතීම ආදී කරුණු මත පදනම් වෙලා තියෙන්නෙ. කතෝලික චින්තනයේ යම් සාමූහිකත්වයක් තිබුණා. මුස්ලිම් චින්තනය සාමූහිකත්වයෙන් අන්තවාදයකට ගිහින්. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ආත්මාර්ථකාමීත්වයෙන් අන්තවාදයකට ගිහින්. 

අපට මානුෂික රටවල් ලෙස හිතන්න පුරුදු කර සිටි බටහිර රටවල් අද ක්‍රියාකරන හැටි පේන්න තියෙනවා. කොරෝනා සඳහා පරීක්‍ෂණ අප්‍රිකාවේ කරන්න යෝජනා වී තිබුණා. බටහිර රටවල රෝහල්වල වැඩ වෙන හැටි දැන් කවුරුත් දන්නවා. ඒ රටවල ආත්මාර්ථකාමීත්වයේ නග්නත්වය ලන්ඩන් රඟහල්වල දකින්න පුළුවන්. ඒත් බටහිර කොණ (වෙස්ට් එන්ඩ්) රඟහල් ජූනි මස වන තුරු වසා දමා ඇති බවයි කියැවෙන්නෙ. රඟහල  දැන් ඇත අඩ අඳුරේ කියන්නත් බැහැ.  කොවිඩ් 19  ඒ රටවල් පැළඳ සිටි මනුෂ්‍යත්වයේ මුහුණු ආවරණ  ගලවලා මුව ආවරණ පළන්දලා. 

අපට අඩු තරමෙන් ඊනියා ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමේ ක්‍රම තියෙනවා. අපට නැවතත් ස්වභාව ධර්මයට යා හැකි කතා තියෙනවා. අපට නොදැනුමෙන් හදා ගත් දැනුම් තියෙනවා. අප විදර්ශනාව ගැන කියන්නේ අද ඊයේ නො වෙයි. ඒ බටහිර මතවාද මත සිට කරන එකකුත් නො වෙයි. බුදුදහම දර්ශනයක් කිරීම නම් බටහිර මතවාද මත සිට කරන්නක්. අපට මුස්ලිම් හා ක්‍රිස්තියානි සභ්‍යත්ව අතර කරන අරගලයේ දී පණිවුඩයක් දෙන්න පුළුවන්. ඒ මනෝරාජික සමාජවාදයක් ගැන සකර්බර්ග්ට කියා දීම නො වෙයි. 

එහෙත් මේ සියල්ලට ප්‍රථම අපි කොරෝනාවට අපේ ප්‍රතිකාර දෙමු. එය හුදු ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමක් පමණක් වෙන්න පුළුවන්. එය ප්‍රතිකාරයක් ද නැද්ද යන්න ප්‍රතිකාරය යනු කුමක් දැයි නිර්වචනය කිරීම මත පදනම් වන දෙයක්. රෝගියකු ඒ ක්‍රමය මගින් සුවපත් වේ නම් එය ප්‍රතිකාරයක්. යමකු එමගින් රෝගය නොවැළඳී සිටිනවා නම් එය ප්‍රතිශක්තිකරණය වර්ධනයක්. ඕන එකක් කියා ගන්න. 

ඒත් ආයුර්වේද හා පාරම්පරික වෙදමහතුන් හා වෙනත් වෙදමහතුන් වෙද හාමිනේලා ඒ ගැන අනවශ්‍ය විවාද ඇති කර ගන්න වුවමනාවක් නැහැ. මෙය දුම් හටටිය ද හුමාලය ද වේදුව ද ආදී වශයෙන් තර්ක කරන්න අවශ්‍ය නැහැ. මොන නමින් හැඳින්නුවත් කෙරෙන්නෙ එක ම ක්‍රියාවලියක්. කිසිවකු දුම් ආශ්වාස කරන්නෙ නැහැ. දර ලිප්වලින් නම් දුම් පිටවෙනවා. ඔය මුට්ටියෙන් නම මොකක් වුණත් පිටවෙන්නෙ හුමාලය. දෙවියන්ගෙන් හරි දේව මණ්ඩලවලින් හරි දැනුම ලබා ගන්න පුළුවන් අයත් ඉන්න බව අමතක කරන්න එපා. 

පොත පතේ දැනුම ලබා ගැනීමට හෝඩිය පන්තියට ගිය පමණින් බැහැ. ඒ සඳහා අවුරුදු ගණනක් මහන්සි වෙන්න ඕන. අණ්වික්‍ෂයකින් වයිරයනයක් බලන්න කොපමණ පුහුණුවක් අවශ්‍ය ද? මනුෂ්‍ය නොවන සත්වයන්ගෙන් දැනුම ලබන්නත් පුහුණුවක් අවශ්‍යයයි. තමන්ට තනියම ආධ්‍යාත්මික ව දැනුමක් ලබන්න ඊටත් වඩා කලක් අවශ්‍ය  කියා හිතනවා. පාරමිතා දහම් පුරන්න  කල්ප ලක්‍ෂ ගණන් යනවා. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයට විශිෂ්ට සාමාර්ථයක් ලද පමණින් (මට එයත් නැහැ) සසරින් එතෙර වන්න බැහැ. මට නම් සසර බොහෝ දිග බව මා දන්නවා. 

අද අප උත්සාහ ගන්නේ කොවිඩ් 19 මුල් කරගෙන කෙරී ගෙන යන ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුමේ දී අපේ චින්තනය මත පදනම් ව පණිවුඩයක් දෙන්න. අපි අඩු තරමෙන් කැඳ කෝප්පය හා දුම් හට්ටිය (අවශ්‍ය නම් වේදුව) ගැන එකඟත්වයකට පැමිණෙමු. ඔය මුට්ටියට දමන ඖෂධ මෙලෙස ම විය යුතු ය කියා නියමයක් පාරම්පරික වෙදකමේ නැහැ. පාරම්පරික වෙදකමේ ප්‍රතිකාර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. අප කුඩාකල පමණක් නොව මහළු වියේත් දුම් හට්ටිය අල්ලනවා. ඒ දුම් බොන්න නොවෙයි. මුට්ටියෙන් එන්නේ හුමාලය බව අප දන්නවා. කඩෙන් ඖෂධ පැකට් ගන්න ම අවශ්‍යතාවක් නැහැ. පැඟිරි වර්ගවල කොළත් හොඳයි කියන එකයි මගේ හැඟීම. කවුරුන්වත් එය පිළිගන්න ඕන නැහැ.  

වෙදමහත්වරුන් දුම් හට්ටි ගැන වාද විවාද  නොකර ජනතාවට තම ගෙවත්තෙන් සොයා ගත හැකි කොළ පොතු ආදිය ගැන යම් දැනුමක් ලබා දෙනවා ද? ඒ දැනුම ලබා දීම සඳහා රුපවාහිනී නාළිකා මැදිහත් වෙනවා ද? දුම් හට්ටියයි කැඳ කෝප්පයයි බොරු කියල කියන උද්ධච්ඡ බටහිර වෙදමහත්වරුන්ගෙන් මා අහන්නෙ  ඒ බව බොරු කියන්න තමන් තම ක්‍රමය අනුව ඊනියා පරීක්‍ෂණ කරල තියෙනවා ද කියා?