History

Monday, 13 April 2020

අවුරුදු සිතිවිලි කිහිපයක් හා නාළිකා

 සිංහල ලිත් ඉලක්කම්


අවුරුදු සිතිවිලි කිහිපයක් හා නාළිකා



අද වෙනදාට වඩා වෙනස් සිංහල අලුත් අවුරුද්දක්. ඒත් සූර්යයා පොළොවට සාපේක්‍ෂ ගමන අත්හරින්නේ නැහැ. පඬියන් මොනව කිවුවත් ඒ ගමන යනවා. සිංහල අලුත් අවුරුද්දක් ඇතැයි සිතන සියල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. අනෙක් අය ඒ ගැන නොතකන බැවින් ඔවුන්ට සුබ තියා අලුත් අවුරුද්දක්වත් නැහැ. ඒ කොහොම වුණත් ඉක්මණට මේ කොවිඩ් 19 පරාද කරන්න හැකි වේවා. එසේ ම ආණ්ඩුව රෝගය අඩුවෙලා කියා නීති රීති ලිහිල් කරන්න දැන් ම කටයුතු නොකළ යුතුයි. 


බටහිර වෙදමහත්වරුන්ගේ වෘත්තීය සමිතිය මෙන් ආණ්ඩුව හා ජනතාව බිය ගන්වන්න මට වුවමනාවක් නැහැ. ඒත් ආණ්ඩුව මෙතෙක් අනුගමනය කළ ක්‍රියා මාර්ගය ලිහිල් කරන්න පෙර තවත් සිතා බැලිය යුතුයි. අපට අවශ්‍ය ඉක්මණින් ඇඳිරි නීති අවසන් කිරීමට නොව ඉක්මණින් රෝගය අවසන් කිරීමට. එහි දී අඩු ආදායම්ලාභීනට හා ආදායමක් නැති අයට සහනකාරී ලෙස භාණ්ඩ බෙදා හැරීමට විමධ්‍යගත ක්‍රමවේදයක් ඉක්මණට සකස් කළ යුතුයි. 

පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් කුමක් කීවත් සූර්යයා දෛනික හා වාර්ෂික චලිතවල යෙදෙනවා. දෛනික ව උදාගිරෙන් නැග අවරගිරෙන් බැස යනවා. වාර්ෂික ව ඛගෝලය (හිස් ගෝලය - celestial sphere) නමින් හඳුන්වන ගෝලයක ක්‍රාන්තිවලයය (ecliptic) කියන වක්‍රයක් දිගේ ගමන් කරනවා. අලුත් අවුරුද්දේ අපට වැදගත් වන්නේ සූර්යයා මේ ක්‍රාන්තිවලයය දිගේ රවුම් ගැහීමයි. 

ඛගෝලයේ සමකය කියා වක්‍රයක් තියෙනවා. මෙය පෘථිවියේ සමකය ඛගෝලය මත ප්‍රක්‍ෂෙපණය කිරීමෙන් ලැබෙන්නක්. මේ සමකය අවුරුදු පතා වෙනස් වෙනවා. ඒ පෘථිවි අක්‍ෂය ද නිශ්චල ව නොතිබී කැරකෙන නිසා. ඒ කැරකැවිල්ලට  පෘථීිවි අක්‍ෂයේ පූර්වායනය කියා කියනවා. ජ්‍යොතිෂවේදීන් නිරායනය හා සයනය යනුවෙන් කියන්නේ මේ අයනය නොසැලකීමට හා සැලකීමට. පූර්වායන කතාව මා ගන්නේ බටහිර තාරකා විද්‍යාඥයන්ගෙන් නොවෙයි. නිරායන කතා මා කුඩා කලත් අම්මාගෙන් හා ආච්චි අම්මාගෙන් අසා තියෙනවා. 

බමරයක් කැරකෙන විටත් ඒ කැරකිල්ල දකින්න පුළුවන්. බමරයේ අක්‍ෂයත් යම් කිසි අචල අක්‍ෂයක් වටා කැරකෙනවා. ළඟපාත බමරයක් තියෙනවා නම් කරකවල බලන්න.  මෙය රූප සටහනකින් විස්තර කරන්න පුළුවන් වුණා නම් හොඳයි. සිංහල අවුරුද්ද පොත තියෙනවා නම් එහි පස්වැනි පරිච්ඡෙදයේ මෙය රූප සටහන් සහිත ව විස්තර කෙරෙනවා. සමකය හා ක්‍රාන්තිවලයය ඡෙදනය වන ලක්‍ෂයත් මේ වෙනස්වීම නිසා වෙනස් වෙනවා. මේ කතාව රූපවාහිනියේ රූප සටහන් සහිතව කියන්න පුළුවන්. ඒත් කිසිම නාළිකාවක් අද මට ඒ අවස්ථාව ලබා දෙන්නෙ නැහැ. ඔවුන්ට අනුව මා මිථ්‍යාමත ධාරියෙක්, නැත්නම් අන්තවාදියෙක්.

අවුරුද්දක් කියන්නෙ මොකක් ද. සූර්යයා එක් තැනක සිට ක්‍රාන්තිවලයය දිගේ රවුමක් ගහලා ආපසු ඒ තැනටම ඒම. එහෙත් මෙහි දී ප්‍රශ්නයක් තියෙනවා.  ඒ තැනට  ම කියල කියන්නෙ මොන තැනට ද? ඒ තැන අර සමකය හා ක්‍රාන්තිවලයය ඡෙදනය වන ලක්‍ෂ්‍යය කියල ගන්න පුළුවන්. එහෙමත් නැත්නම්  ඒ ලක්‍ෂ්‍යය ඛගෝලයෙහි ප්‍රක්‍ෂෙපණය වන ලක්‍ෂ්‍යය කියල ගන්න පුළුවන්. පඬියකුට හිතන්න පුළුවන් නම් (ඔවුන්ට හිතන්න බැහැ) තවත් අර්ථදැක්වීම් දෙන්න පුළුවන්. ඒ තැන ඡෙදන ලක්‍ෂ්‍යය කියල ගත්තොත් මේ රවුම ගහන්න සූර්යයාට දවස්වලින් නම් 365.242190ක් යනවා. 

අපට අලුත් අවුරුද්දට වැදගත් වෙන්නෙ මේ ලක්‍ෂ්‍යය නොව එහි ප්‍රක්‍ෂෙපණ ලක්‍ෂ්‍යය. අප අවුරුද්දක් කියන්නෙ, නැත්නම් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියන්නෙ සූර්යයා නැත්නම් සූර්ය දිව්‍ය රාජයා (ආදිත්‍ය කියලත් කියනවා. සමහර පඬියන් කැමතියි මා නලින් ද සිල්වා කියා හඳුන්වා ගනු වෙනුවට නලින් දේවාදිත්‍ය කියා හඳුන්වා ගැනීමට. ඔවුන්ට පින්. මා මැරෙන තුරු දේවාදිත්‍ය ලිඳමුලගේ නලින් ද සිල්වා) අර කරත්තයෙ නැගලා රවුමක් ගහලා ඒ ප්‍රක්‍ෂෙපණ ලක්‍ෂ්‍යයට ආපසු ඒමට යන කාලය. මේ රවුම් ගැහිල්ලට දින 365.256363ක් යනවා. 

ඒ කියන්නෙ සූර්යයාට මේ වසරේ මාර්තු විසි එකේ සිට ඊළඟ වසරේ මාර්තු විසි එකට යන්න ගත වන කාලයට වඩා කාලයක් යනව මේ සිංහල අවුරුද්ද උදාවෙන මොහොත ඉඳලා ඊළඟ අවුරුද්දෙ සිංහල අවුරුද්ද උදාවෙන මොහොතට යන්න. මේ නිසා තමයි සිංහල අවුරුද්ද අවුරුදු පතා ඉදිරියට ඇදෙන්නෙ. රොබට් නොක්ස් හිටපු දවස්වල අපි අවුරුද්ද පවත්වල තියෙන්නෙ එකල තිබූ ජූලියන් දින දර්ශනය අනුව මාර්තු 26, 27, 28 දිනවල. එය අද භාවිතා කරන ග්‍රෙගරියානු දින දර්ශනය අනුව අප්‍රේල් 7, 8, 9 දිනවල. 

ඒක ප්‍රශ්නයක් නොවෙයි. තව කලකින් අලුත් අවුරුද්ද අප්‍රේල් 13 14 දිනවල නොව අප්‍රේල් 14 15 දිනවල උදාවේවි. ප්‍රශ්නය තියෙන්නෙ ඔය දිනවල සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා ද කියන එක. අර ඡෙදන ලක්‍ෂ්‍යයෙ ප්‍රක්‍ෂෙපණය දැන් තියෙන්නෙ මීන රාශියෙ. ඒ ප්‍රක්‍ෂෙපණ ලක්‍ෂ්‍යය ක්‍රි පූ 1866 දි පමණ මේෂ රාශියට ගියා. ක්‍රි පු 68 දී පමණ මීන රාශියට ගියා. (ඒ ලක්‍ෂ්‍යය යන්නෙ ආපස්සට). එය කුම්භයට ක්‍රි ව 2597 දි යාවි. මා මේ දැනුම ලබා ගත්තෙ බටහිරින්. එහෙත් අප ළඟත් ඒ තියෙන්න ඕන. අද අර ඡෙදන ලක්‍ෂ්‍යය මීන රාශියෙහි තියෙන නිසා අප්‍රේල් 13 14 දිනවල සූර්යයා මීනයෙන් මේෂයට යන්නෙ නැහැ. සූර්යයා මීනයෙන් මේෂයට යන්නෙ ඊට දින හතරකට විතර පස්සෙ. අපේ අවුරුද්ද දින 71ක දි පමණ මාර්තු 21 දින දර්ශනයට අනුව දිනයකින් ඉදිරියට යනවා.  

දැන් කවුරුන්වත් කියන්න ඕන නැහැ මා බටහිර දැනුම යොදා ගෙන අපේ දැනුම බොරු කරන්න හදනවා කියලා. නැහැ මීනයෙන් මේෂ කතාවත් අපේ නොවෙයි. අප්‍රේල් 13 14 මට තේරෙන විධියට සූර්යයා රේවති නැකතින් අස්විද නැකතට යන දින. ඔය නැකත් 27 අපේ. අස්විද කැති ආදී වචන සිංහල. නැකත නැත්නම් නකත කියන්නෙත් සිංහල. එය සංස්කෘතයට ගියා ම නක්‍ෂත්‍ර වෙනවා. නක්‍ෂත්‍ර කියන වචනයට සංස්කෘතෙන් නිරුක්ති නැහැ. එය නකත් කියන වචනය සංස්කෘතකරණයට ලක්වීම. අස්විද ආදී වචන සංස්කෘතෙන් කියන්නෙ සංස්කෘතකරණයට ලක් වීමෙන් පසුව. 

තවත් දෙයක් කියන්න තියෙනවා. බුදහාමුදුරුවො නාගදීපයට වැඩියෙ බක්මහ අමාවක දිනයෙ. පසළොස්වක දා නොවෙයි. මහාවංසය කියවල බලන්න. ඒ බව රොබෙයිරො කියන පෘතුගීසි ඉතිහාසඳයත් කියනවා. ඔහු කියන්නෙ සිංහලයන් ඒ දිනයෙ සිට තම වර්ෂ ගණන් කරනවා කියලයි. මේ දිනය අද කියන විධියට නම් මාර්තු මැද වෙන්න ඕන. ඒ කියන්නෙ අද අප්‍රේල් මැද අවුරුද්ද ලබන නිසා මාසයකින් පමණ කලින්. අවුරුදු දිනය මාසයක් පස්සට ගිහින් තියෙන්නෙ දැනට අවුරුදු 2200කට විතර ඉස්සර. අවුරුදු 2400ක් පමණ ආපසු යන්න නම් තවත් දින තුනක් පමණ මාර්තුවෙ ඉස්සරහට ගිහින් තියෙන්න ඕන. මට හරියට ම කියන්න බැහැ. ඒත් මා නිච්චියට ම දන්න දෙයක් තියෙනව. බුදුහාමුදුරුවො නාගදිපයට වැඩිය වසරෙ අධි වෙසක් පොහොයක් තියෙන්න ඇති. 

බුද්ධවර්ෂ පිළිබඳ මතභේදයක් තියෙනවා. ථෙරවාද සම්ප්‍රදාය අනුව බුදුහාමුදුරුවන් පිරිනිවන්පාල තියෙන්නෙ ක්‍රි පූ 544 දි. 1956 බුද්ධ ජයන්තිය වුණෙ ඒ නිසා. ඒත් සමහරු කියන්නෙ පරිනිර්වාණය ක්‍රි පූ 480 දි පමණ සිදු වුණා කියලා. ඒ අනුව නම් 2020 තමයි බුද්ධ ජයන්තිය. ලංකාවෙ බුද්ධ වර්ෂය පටන් ගත්තෙ අර බුදුහාමුදුරුවන් නාගදිපයට වැඩිය දවසෙ ඉඳන් ද? බුදුහාමුදුරුවන් නාග දිපයට වැඩම කරල තියෙන්නෙ බුදුවෙලා පස්වැනි වසරෙ. ඒ කියන්නෙ පරිනිර්වාණයට අවුරුදු හතළිහකට පමණ පෙර. එහෙම ගත්තොත් හා පරිනිර්වාණය ක්‍රි පූ 480 දි කියල ගත්තොත් අපේ බුද්ධ වර්ෂ පටන් ගත්තෙ ක්‍රි පූ 520 ද? මේ ගැන කවුරු හරි හොයල බලනවා නම් හොඳයි.     

දැනට දින දෙකකට පෙර මා අවුරුද්ද නමින් ලියූ ලිපියේ සඳහන් සබැඳිවලට ගියොත් මේ කතාව තවත් අරුත් ගෙන දේවි. දැන් නොනගතේට ළඟයි. වැඩ අත්හරින්න ඕන. අගත අනගත කතා ව මතක ද?