History

Tuesday, 14 April 2020

ජෙනීවා සටහන්කරුවෝ හා බටහිර වෙදමහත්වරු

 සිංහල ලිත් ඉලක්කම් 


ජෙනීවා සටහන්කරුවෝ හා බටහිර වෙදමහත්වරු 



ජෙනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ආගම් හෝ විශ්වාස හෝ නිදහස පිළිබඳ සාකච්චාවල විශේෂ සටහන්කරුවා (rapporteur) යැයි කිව හැකි අහමඩ් ෂහීඩ් නම් අයකු මෙරට ජනාධිපතිට දන්වා ඇත්තේ කොවිඩ් 19 නිසා මිය යන රෝගීන්ගේ දේහ ආදාහනය කිරීමට ගෙන ඇති තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ චක්‍රලේඛවලට පටහැණි බවයි. ෂහීඩ්ට මේ සම්බන්ධ ඕනෑම දෙයක් කීමට ඇති නිදහස අප පිළිගන්නවා. ඔහුට තම අදහස් විවිධ ආකාරයෙන් ලෝකයට දැන්වීමටත් පුළුවන්. 


එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බටහිරයන් එසේ සිතුවත් ලෝක පොලිස් නිලධාරියාවත් අධිකරණ නිලධාරියාවත් නො වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ දී එවැනි අරමුණු බටහිර රටවලට තියෙන්න ඇති. මේ රටවලට බටහිර රටවල් කියන්නෙ නැතිව නැගෙනහිර රටවල් කියන්න ද කියා ඇතැම් පඬි නැට්ටන්ගෙන් අහන්න වෙනවා. අපි අවරදිග රටවල් කියමු ද? අද වන විට බටහිර රටවල ආධිපත්‍යය බිඳ වැටෙමින් පවතින බව ඔවුන්ගේ විශේෂ සටහන්කරුවකු වන ෂහීඩ්ට තේරෙන්නේ නැතිවා වෙන්න පුළුවන්. ෂහීඩ් කියන්නේ අවසන් වශයෙන් ගත් කල බටහිරයන්ගේ කුලී කාරයෙක්. කුලියට නැත්නම් වැටුපට වැඩ කරන්නෙක්. ඩොලර්වලින් ලැබුණත් රුපියල්වලින් ලැබුණත්  කුලිය කුලියමයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය හරි එක්සත් ජාතීන්ගේ සංවිධානය හරි ලෝක ආණ්ඩුකාරයා නො වෙයි. අප ඔවුන්ගේ චක්‍රලේඛ ඒ ආකාරයෙන් ම පිළිගන්න බැඳී නැහැ. ඒ චක්‍රලේඛ අපේ රටේ තත්වයට ගැලපෙන පරිිදි සකස් කර ගැනීමට මෙරට ජනතාවට අයිතිය තියෙනවා. බටහිරයන් විවිිධ ලෝක සංවිධාන මගින් අපේ ස්වෛරීභාවය නැති කරන්න උත්සාහ ගන්නවා. එහෙත් අප අපේ ස්වෛරිභාවය නැති කර ගන්න සූදානම් නැහැ. 

අද මෙරට ජනතාවගේ ස්වෛරීභාවය ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන වශයෙන් ම විධායකය හරහා. අද ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. අධිකරණ බලතලත් ක්‍රියාත්මක වන්නේ ව්‍යවස්ථාදායකය හරහා. අලුත් පාර්ලිමේන්තුව පත්කර ගැනීමට මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම දැනට පුළුවන් කොමිසමට. ඒ මැතිවරණ පනතේ 24(3) යටතේ. කොමිසමට යම් කරුණක් නිසා එසේ කිරීමට බැරි නම් හරි කොමිසම එසේ නොකරන්නේ නම් හරි ජනාධිපති පසුව ඒ ගැන බලා ගනීවි. 

කොමිසම මැතිවරණයක් පවත්වන තුරු ව්‍යවස්ථාදායකයක් නැහැ. ෂහීඩ් හරි වෙන කවුරු හරි ජෙනීවාහි ඉන්න සටහන්කරුවකු කොමිසමට ඒ ගැන ට්විටර් පණිවුඩයක්වත් එවනවා ද? එවුවත් කොමිසම එය ක්‍රියාත්මක කිරීමට බැඳී නැති බවත් කියන්න ඕන.  

අපේ රටේ තත්වය අනුව ජනාධිපති සෞඛ්‍ය බලධාරීන් විමසා දේහ ආදාහනය පිළිබඳ තීරණයක් ගෙන තියෙනවා. එය වෙනස් කරන්න ෂහීඩ්ට බැහැ. අලි සබ්‍රි නම් ඒ බව කල් ඇතිව දැන ගත්තා. ඔහු පසු බැහැල ගියා. ෂහීඩ්ටත් වෙන්නෙ ඒ දේමයි. මට ඉංගිරිසින්ගෙන් ගත්ත සන්තෑසියම කියන වචනය යොදා ගන්නත් හිතෙනවා. අවශ්‍ය නැහැ. මට ෂහීඩ්ගෙන් පොඩි කාරණයක් දැන ගන්න තියෙනවා. ඔහු අර සාජාහි පාලකයාටත් ලියුමක් යැවුවා ද? සාජා පාලකයා (සුල්තාන්වරයා)  තීරණය කරල තිබුණෙත් දේහ ආදාහනය කරන්න. සමහර විට සාජාහි බහුතරය මුස්ලිම් නිසා ෂහීඩ්ට ප්‍රශ්නයක් නැතිව ඇති. ෂහීඩ් ඊනියා සුළුතර අයිතිවාසිකම් ගැන සටහන්කරුවකු පමණක් වෙන්න ඇති. 

අර වැඩ තහනම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ගැනත් යමක් කියන්න ඕන. පොලීසියට දඬුවම් දීමේ බලයක් නැහැ. ඒ නිසා පොතට අනුව ඔවුන් කළ වැඩේ වැරදියි. එහෙත් අද අපට විශාල ම තර්ජනය ඇඳිරි නීති කඩන්නන්ගෙන් හා ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන්නන්ගෙන්. ඒ අයට ඉක්මන් දඬුවම් දීමේ ක්‍රමයක් තියෙන්න ඕන. අද මෙතරම් සංඛ්‍යාවක් ඇඳිරි නීති කඩකර ඇතැයි කීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අඩු තරමෙන් ඔවුන් සති දෙකකටවත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. 

එහෙත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීම පමණ ඉක්මවා දුන් දඬුවමක් ලෙසයි පෙනෙන්නේ. මෙවැනි දඬුවම් නිසා අනෙක් පොලිස් නිලධාරීන් අකර්මණ්‍ය වීමට ඉඩ තියෙනවා. ඉන් වාසිය ලැබෙන්නේ ඇඳිරී නීති කඩකරන්නන්ට. ආරක්‍ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගනු ඇතැයි බලාපොරෙත්තු වෙනවා. 

ඇඳිරි නීති කඩන්නන්ට අමතරව නිරෝධායන කඳවුරුවලිනුත් සමහරු පැන යනවා. ඔවුන් පැන යන්නේ මොකද කියල විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලවා සමීක්‍ෂණයක් කරල දැන ගන්න පුළුවන් ද? ඒ අතර නිරෝධායන කඳවුරු ඩෙල්ෆ් දූපතේ පවත්වාගෙන යෑමට හැකියාවක් තියෙනවා ද කියල හොයල බලනවා ද? කඳවුරුවල ඉන්න අයට පැනල යන්නත් අමාරු වේවි. 

බටහිර වෙදමහත්වරුන්ගෙ වෘත්තීය සමිතිය කියල තියෙන්නෙ ඔවුන් නැත්නම් රට ම අවමඟුල් ගෙයක් වෙනවා කියා.ඒක නම් අප දන්නේ නැහැ. අර ජෝන් හොප්කින්ස් වක්‍රවලට මොකද වුණේ. ඒ වක්‍ර මෙරටට හරියන්නෙ නැද්ද? ඔය පොකුරු (ජාසිංහ මහතා කියන පොකුරු නොවෙයි) මෙරට නැත්තෙ මොක ද? හමුදා කඳවුරු ඒ ආශ්‍රීිත පර්යේෂණාගාර මේ රටේ නැහැ. බටහිර වෙදමහත්තුරු සමහරු හරි උද්ධච්ඡයො. ඔවුන් සමහරු දේශීය වෙදමහත්තුරුන්ගෙ දරුවන් වෙන්නත් පුළුවන්. ඒ සමහරුන්ට ඉංගිරිසින් දීපු හීන මානයකුත් තියෙනවා. 

දුම් (හුමාලය)  හට්ටිය හා කැඳ කෝප්පය ගැන එක් බටහිර වෙදමහතකු ආණ්ඩුවේ නාළිකාවක මහා ප්‍රශ්නයක් නැගුවා. ඔහු ඇහුවා ඒ ගැන පර්යේෂණ කරල තියෙනවා ද කියලා. ඊනියා පර්යේෂණ නැතත් ඇතැම් බටහිර වෙදමහත්තුරු ඒ යොදා ගෙන තියෙනවා. ඒ සාර්ථක වෙලත් තියෙනවා. අද හමුදා භටයන්ට දුම් හට්ටිය ලැබෙනවා.  එය ප්‍රතිකාරයක් ද නැත්නම් ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කරන්නක් ද යන්න තීරණය කෙරෙන්නෙ අවස්ථාව අනුව.

අර බටහිර වෙදමහතා අන්තිමේ දී කියනවා බටහිර ක්‍රමයට තවම ප්‍රතිකාරයක් නැති බව. ඔහුට කියන්න පුළුවන් අර ඊනියා සමාජ දුරස්ථභාවය පිළිබඳ කතාව විතරයි. සිංහලෙන් කියනවා නම් වෙන් කිරීම එකිනෙකාගෙන් හැකිතාක් ඈත් ව සිටීම. ඇතැම් බටහිර වෙදමහත්වරු උද්ධච්ඡයන් වුණාට ඔවුන්ට කියන්න දෙයක් නැහැ. ගුවන් කාලය ලංකාවෙ එතරම් වටින්නෙ නැති නිසා ප්‍රශ්නයකුත් නැහැ. 

අර බටහිර වෙදමහත්වරුන්ගෙ වෘත්තීය සමිතිය හොට බිම ඇන ගෙන. ආණ්ඩුව ඔවුන්ට ඇහුම්කන් නොදුන් එක හොඳයි. ඒගොල්ලත් කරන්නෙ දේශපාලනයක්. කවුරුවත් අහන්නෙ නැහැ අර පාදෙණිය නවීන් අුලුත්ගේ තුන් කට්ටුවේ වසංගත රෝග විශේෂඥයකු ඉන්නවා ද කියා. අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගෙන ඒවා මේ රටට ගැලපෙනවා ද නැත් ද කියා හොයන්නෙ බලන්නෙ නැතිව ගුවන් කාලය කා දාන එක ලොකු වැඩකුත් නොවෙයි, ප්‍රශ්නයකුත් නො වෙයි. බටහිර වෙදකම ආශ්‍රීත තවත් වෘත්තීය සමිති නිලධාරියකු වන සමන් රත්නප්‍රිය අන්තර්ජාලය පරිහරණය කරන්නෙ නැත් ද?