History

Saturday, 18 April 2020

වෙනත් ආර්ථික ව්‍යුහ ගැන සිතමු




   

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 



වෙනත් ආර්ථික ව්‍යුහ ගැන සිතමු 



ආණ්ඩුව කිරි කලය බේරා ගෙන. ගොම එකතු කරල නැහැ. ග්‍රාම  නිලධාරීන් සමග තිබූ ප්‍රශ්නය විසඳා ගෙන ඇති බවයි පේන්න තියෙන්නෙ. දැන් ඉතින් කොවිඩ් 19 පරාජය කරල මැතිවරණයකට සූදානම් වෙමු. මා සති කිහිපයකට පෙර සිට කියන්නෙ මැතිවරණ කොමිසම තම වගකීම පැහැර හැරියොත් ජනාධිපතිට මැතිවරණ පනතේ 113 වගන්තිය යටතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. එහි දී අර පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මාස තුනකට කලින් පාර්ලිමේන්තුව කැඳවන්න ඕන  කියන වගන්තිය අදාළ වන්නේ නැහැ. 


මැතිවරණ කොමිසම තම කාර්යය ඉටු කරල නැති නිසයි ජනාධිපති මැදිහත් වෙන්නෙ. දැන් මැතිවරණ කොමිසම දිනයක් නියම කරන්නෙ නැත්නම් ජනාධිපති නියම කරන දිනයක දි මැතිවරණය පැවැත්වීමට සූදානම් වෙන එකයි තියෙන්නෙ. නාථ දෙවියන් අවශ්‍ය පරිදි නීති උපදෙස් දේවි. චම්පකගෙ හිටපු ගෝලයෙක් එක එකා මගේ කතා තම පුවරුවල පළ කිරීම තමාට කැමති විධියට අර්ථකථනය කරනවා. මගේ ගෝලයන් 3% ව්‍යාපාරවල නැති බව පමණක් කියන්න ඕන. හැබෑට ම මේ දවස්වල චම්පක කෝ?
  
පහළොස්වැනි සියවසේ ඇරඹුණු ඊනියා පුනරුදය හා ඉන්පසු ඇති වූ විවිධ සිද්ධි හා ඒ හා සම්බන්ධ දර්ශනවාද ඥානවිභාග අද කඩන් වැටිලා. එක තැනකින් පටන් ගෙන රේඛාවක් (සරල රේඛාවක් විය යුතු නැහැ) දිගේ යන බටහිර දර්ශනයට අද චක්‍රීය ව වටේ යන්න සිද්ධ වෙලා. වෙනත් විධියකින් කිව්වොත් අරක මොකක් ද කියල ඇහුවොත් මේක මගින් කියනවා. මේක මොකක් ද කියල ඇහුවොත් අරක මගින් කියන්න හදනවා. ඔය රවුමෙ යන එක විවිධ වචනවලින් වහන්න බැහැ.

මා මෙය කලින් කිහිප වතාවක් ම කියා ඇති. මා නවවැනි පංතියෙ (කනිටු පෙළ සහ සමහරුනට සාමාන්‍ය පෙළ පළමු වසර) ඉන්න දවස්වල අපේ රසායන විද්‍යා ගුරුවරයා ක්‍රිස්ටි ගුණසේකර අපට අම්ලයක් අර්ථ දක්වන්න කිවුවා. Define an acid. ඔහු බලාපොරොත්තු වූ පිළිතුර නොලැබුණු විට ඔහු කිවුවා Explain definition. අවුරුදු  දහහතරෙ ළමයින්ට එයට දෙන්න  පිළිතුරක් තිබුණෙ නැහැ. ඊළඟට ඔහු කිවුවා Define explanation  කියා. එය මගේ හිතේ හිටියා. පසු කලෙක මා චක්‍රීය චින්තනයට යොමු කෙළෙ මේ ප්‍රශ්නාවලියයි. 

අද ලංකාවෙ තාක්‍ෂණය පැත්තෙන් තරුණයන්ගෙ නිර්මාණශීලීත්වය මතුවෙලා. ශාස්ත්‍රීය පැත්තෙන් එහෙම කියන්න බැහැ. පඬියන්ට අනුකරණයවත් බැහැ. ලංකාවෙ අද කතාවෙනවා ආර්ථිකය ගොඩ ගැනීම පිළිබඳ ව. එය හොඳයි.  එහෙත් අප ආයන අපනයන ආර්ථිකයක් ගැන බටහිර මෙන් අවධාරණය කළ යුතු නැහැ. මට මෙහි දී පරණ කතාවක් මතා වෙනවා. අප්‍රිකාවෙ රටක ගොවියකු මඤ්ඤොක්කා (සමහර අප්‍රිකානු භාෂාවලින් කසාවා) වගා කරනු දුටු බටහිර ආර්ථික විිද්‍යාඥයකු ඔහුගෙන් අහල ඇයි කසාවා වගා කරන්නෙ කියා. ගොවියා කියල කෑමට කියා. එවිට ආර්ථික විිද්‍යාඥයා කියල එය පාඩුයි වෙළෙඳ භෝගයක් වගා කරන්න කියලා. එවිට ගොවියා අහල ඒ මොකට ද කියලා. ආර්ථික විද්‍යාඥයා කියලා වෙළෙඳ භෝගය පිටරට යවලා විදේශ විනිමය උපයන්න පුළුවන් කියලා. ගොවියා අහල විදේශ විනිමය මොකට ද කියලා. ආර්ථික විද්‍යාඥයා කියලා විදේශ විනිමයෙන් කෑමට ආහාර ගෙන්න ගන්න පුළුවන් කියා. එවිට ගොවියා කිවුවලු මා දැනුත් කන්නෙ කෑමට ආහාර වගා කිරීම කියලා.

මේ කතාව තරමක අතිශයෝක්තියක් තමයි. එහෙත් එහි ගතයුත්තක් තියෙනවා. අප ආනයන අපනයන ආර්ථිකය දොහොත් මුදුණින් පිළිගන්න ඕන නැහැ. ලෝකයට ජංගි මහල අපි පිටරටින් හැට්ට (උදාහරණයක් ලෙස) ගෙන්නන්න ඕන.  අප හැකිතාක් ස්වයංපෝෂිත වෙන්න ඕන. ලලිත් ඇතුළත්මුදලි තමයි කිවුවෙ භාණ්ඩයක් (හාල් වුණත්) පිටින් ආනයනය කිරීම ලාභ නම් එය ලංකාවෙ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය  නැහැ කියලා. මෙය මුළුමනින් ම වැරදියි. අපි බටහිර ආර්ථික විද්‍යා නියම අනුව ලෝකය නිර්මාණය කිරීම අවශ්‍ය නැහැ. යමක් මෙරට නිර්මාණය කිරීමේ දී මිනිසුන් යම් යම් ක්‍රියාවල නිරත වෙනවා. ලාභය කියන එකට වෙනත් අර්ථදැක්වීම් තියෙනවා.

තවත් කරුණක් නම් අප මහාපරිමාණයෙන් නිෂ්පාදනය ගැන හිතන්න ඕන නැහැ.  මේ අපනයනය බලා හිතන දෙයක්. අර නිර්මාණශීලී තරුණයන්ට අත දෙන්න ඕන. අපනයන කිරීම වරදක් හැටියට නොවෙයි හිතන්නෙ. ඒත් නිෂ්පාදනය අපනයනය ඉලක්ක කර ගෙන කළ යුතු නැහැ. 

එමෙන් ම එක් අයකු එක් දෙයකට (රැකියාව කියන වචනය යොදා ගන්න මා කැමති නැහැ) පමණක් සීමා වය යුතු නැහැ. කම්හල්කරුවකු හවස් වරුවේ ගොවිතැන් කරන්න පුළුවන්. එහෙමත් නැත්තන් එක් සෘතුවක ගොවිතැනත් තවත් සෘතුවක කම්හලේ වැඩත් කරන්න පුළුවන්. 

හැකිතාක් විශේෂඥයන් අඩු කර ගත යුතුයි. අද හමුදාව හැම දෙයක් වගේ ම කරනවා. එකල ගොවියන් අවශ්‍ය වූ විට හමුදා භටයන් වුණා. අපට අවශ්‍ය බොහෝ දේ කරන්න පුළුවන් බොහෝ මිනිසුන්. එක දෙයක් පමණක් කරන් පුළුවන් අයගෙන් එතරම් වැඩක් නැහැ. ඔවුන්ට අනෙක් කරුණු පෙනෙන්නේ නැහැ. එකක් අනෙකට ගැට ගැසී ඇතිබව තේරුම් ගන්න ඕන. වෙන් කිරීමට වඩා එකතු කිරීම වැදගත්. විශ්ලේෂණයට වඩා සංස්ලේෂණය වැදගත්.  

අප ස්වභාව ධර්මයෙන් බොහෝ ඈතට යා යුතු නැහැ. ස්වභාව ධර්මය සමග සහජීවනයෙන් ජීවත් වන්න ඕන. අවශ්‍ය නම් ගතික සමතුලිතතාව කියන වචන යොදා ගත්තට කමක් නැහැ. මේ ගැන මා කලින් ලියා ඇති. සරල සල්ලහුක ජීවිතවලට පුරුදු වෙන්න ඕන. සරල කියන එක සාපේක්‍ෂ බව මා දන්නවා. අප ස්වභාව ධර්මය සූරා නොකෑ යුතුයි. සරලකම එලෙස තේරුම් ගන්න පුළුවන්. 

සැම දෙයකට ම පිළිතුරු බටහිර විද්‍යාවේ ඇත කියන උපකල්පනයෙන් වැඩ නොකළ යුතුයි. කොවිඩ් 19 ඒ පාඩම උගන්වනවා. බටහිර විද්‍යාවේ ඇත්තේ ඇතැම් විට වැඩ කරන වියුක්ත හිතළු ටිකක් විතරයි. මා ඒවා පට්ටපල් බොරු ලෙස හඳුන්වනවා. හරි යන එහෙම නැත්නම් වැඩ කරන එකෙන් කියැවෙන්නේ නැහැ ඒව හරි කියා. සූර්ය ශක්තිය වුණත් යොදා ගන්න ඕන සීමා ඇතුලෙ. 

අප බටහිර ආර්ථික ව්‍යුහ අත්හැරලා අපේ ව්‍යුහවලට යන්න ඕන. අද ලෝකයේ රටවල වෙළෙඳ ශේෂ එකතු කර බලන්න. එය සෘණ වන්නේ ඇයි? අප ලෝකය ලෙස ණය කාට ද? ස්වභාව ධර්මයට අපේ දරු මුණුබුරන්ගේ ජීවිත උකස් කර අපට ජීවත් වෙන්න බැහැ. අප ණය ගන්නේ ස්වභාව ධර්මයට ඔවුන්ගේ ජීවිත උකස් කරලා.