History

Sunday, 19 April 2020

කිරි කලයට ගොම හැලියක් මුසු කිරීම


෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




කිරි කලයට ගොම හැලියක් මුසු කිරීම




මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. මා මෙන් සිය ගුණයක් පොතපත කියවූ අය දහස් ගණනක් රටේ ඉන්නවා. පසුගිය දා කිරි කලයට ගොම ටිකක්වත් එකතු කරන්න එපා මැයෙන් පළ වූ ලිපිය ජාතික සංවිධාන වෙනුවෙන් කතා කරන්නේ තමන් යැයි කියා ගන්නා එක් වෙබ් අඩවියක් පළ කරලා. ඒ මදිවට එහි අවසන් ඡෙදයට වැඩි අවධානයක් යොමු කිරීමට එය වෙනමත් පළ කරලා. පැහැදිලිව ම එය මා සමච්චලයට ලක් කිරීමට කළ දෙයක්. එකී ඡෙදයේ කොටසක් මා පහත උපුටා දක්වනවා.

“දෙයියන්ගෙ පිහිටෙන් මහා මැතිවරණය මැයි අග සතියෙවත් තියා ගන්න පුළුවන් වේවි කියල හිතනවා. මැතිවරණ කොමිසම කලබල වෙන්න දෙයක් නැහැ. ජනාධිපති සුදුසු පියවර ගනීවි. හැකි ඉක්මණින් කොවිඩ් හා අමනුෂ්‍යයන් පරාද කරමු. ඒත් රැකවල් ඉවත් කරන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ. ජනාධිපතිට මැයි අග දි හරි නුවර පෙරහැර කිට්ටු කරල හරි මැතිවරණය පවත්වන්න පුළුවන්. නාථ දෙවියන් නීති උපදෙස් ලබා දේවි.”

වයස අවුරුදු හතේ පමණ සිට මා ඉගෙන ගත්තේ කොළඹ පාසල්වල. තුම්මුල්ල අසල පිහිටි අධ්‍යාපන ත්‍රිකෝණයේ මගේ ජීවිත කාලයෙන් අවුරුදු විසිඅටක් පමණ ගත කර තිබෙනවා. මා ඉන් ඉවත් කෙරුණේ වයස අවුරුදු හතළිස් අටේ දී. වයස අවුරුදු හතේ සිට හතළිස්අට දක්වා කාලයෙන් ඉතිරි කොටස ගෙවුණේ පේරාදෙණියේ සසෙක්ස් ප්‍රාන්තයේ බ්‍රයිට්න්හි හා මෙල්බර්න්හි. ඒත් මා දෙයියන්ගෙ පිහිටෙන් උගතකු බුද්ධිමතකු වියතකු වී නැහැ. එයට හේතුව මා කුඩා කල සිට පන්සල ඇසුරු කිරීම. 

පන්සල අමුතු තැනක්. එහි කියැවෙන්නේ නොදැනුම. මා පන්සලේ බෞද්ධ පොතපත රාශියක් කියෙව්වේ නැහැ. එහෙම කියෙව්වා නම් මා බුද්ධිවාදී තර්කවාදී බෞද්ධයකු වීමට තිබුණා. මගේ බුදුදහම අතක්කාවචරයි. අවුරුදු හතේ දී මාර්ග ඵල ලැබූ සෝපාක හාමුදුරුවන් උගතකු ව සිටි බවක් දැන ගන්න නැහැ. 

අද ආණ්ඩුව මැතිවරණයකට සූදානම් වන බව පේනවා. බොහෝ  විට මැයි අග මැතිවරණයක් තියන්න ඉඩ තියෙනවා. හෙට මැතිවරණ කොමිසම රැස්වී ඒ සම්බන්ධ තීරණයක් ගනීවි. මා හිතන්නේ හූල්ට යාපනයේ හිර වීමෙන් මිදී කොළඹ එන්න අවස්ථාව පෑදිලා කියලා. හෙට කොමිසමට සෞඛ්‍ය බලධාරීනේගෙන් ද වෙනත් අයගෙන් ද උපදෙස් ලැබීමට නියමිත බව කියනවා. කොමිසම මැතිවරණ පනතේ 24(3) යටතේ ක්‍රියාත්මක නොවී මැතිවරණය අප්‍රේල් නොපැවැත්වෙන  බව පමණක් කීමෙන් වරදක් කරලා. ඔවුන්ට සිද්ධ වෙනවා දිනයක් නියම කරන්න. ඔවුන් මැයි අග මැතිවරණය පැවැත්වීමට තීරණය කළොත් ඒ පවත්වන්න පුළුවන් දෙයියන්ගෙ පිහිටෙන් තමයි.

රටේ තත්වය හොඳ අතට හැරී තිබෙනවා. හෙට සිට ඇඳිරි නීති ලිහිල් කෙරෙනවා. ජනාධිපති ලේකම් ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත්ව කරලා. දිස්ත්‍රික්ක හරහා යෑම තවමත් තහනම්. ඒ කියන්නෙ දැනට (අද දවසේ) කොළඹ දිස්ත්‍රික්යෙන් පිට සිටින කොළඹ රාජකාරි කරන අයට කොළඹට ඒමට විශේෂ අවසර ගන්න වෙනවා. 

විසිදෙවැනිදායින් පසුවත් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් වසම්වල ඇඳිරි නීති තියෙනවා. ඒ ප්‍රදේශ හරහා ගමනාගමන පහසුකම් සලස්වනවා ද? ගල්කිස්ස බම්බලපිටිය ස්ථාන පසුකර දුම්රිය ගමන් කරනවා ද? ඒ දුම්රිය ස්ථානවල දුම්රිය නවත්වන්නේ නැතැයි කියමු. බස්රථවලට එය බලපාන්නේ කෙසේ ද? කළුතර සිට කොළඹ එන මගියකුට ගල්කිස්සේ දී බැස යන්න පුළුවන් ද? ඒ සඳහා නිසි උපදෙස් බස් රියැදුරන්ට දී තිබේ ද? අකුරණ හරහා යන මහනුවර මාතලේ බස්රිය ගමන් කරනවා ද? තවත් ප්‍රශ්න තියෙනවා.

අප තව සති දෙකක්වත් බැලුව නම් හොඳය කියා මා හිතන්නෙ. උගතකු බුද්ධිමතු වියතකු නොවන මා සෞඛ්‍ය විශේෂඥයකු ද නො වෙයි. මට නිශ්චිත උපදෙසක් දෙන්න බැහැ. එහෙත් අනිල් ජාසිංහ මහතා කියන දේට සැලකිල්ලක් දක්වන්න ඕන. ඔහු කියන්නේ තත්වය සම්පූර්ණයෙන් ම පාලනය වී නොමැති බවයි.  මැයි අග මැතිවරණයක් තියන්න නම් ආණ්ඩුව අද හෙට ඇඳිරි නීති ලිහිල් කරන්න ඕන. එය පැහැදිලියි. 

බැරිවෙලාවත් මැතිවරණය අස්සෙ කොවිඩ් නැවත මතුවුණොත් ප්‍රශ්නයක්. එ නිසා තමයි මා කියන්නෙ මැයි අග මැතිවරණය දෙයියන්ගෙ පිහිටෙන් තියා ගන්න පුළුවන් වේවි කියා හිතන බව. කොවිඩ් නැවත මතු වෙන්න තියෙන සාධක කිසිවකුට හරියට කියන්න බැහැ. දෙයියන්ගෙ පිහිට තමයි බලාපොරොත්තු වෙන්න තියෙන්න. 

ආණ්ඩුව මෙතරම් අවදානමක් ගන්න ඕන ද? ජූනි 3වැනි දාට කලින් අලුත් පාර්ලිමේන්තුව කැඳවිය යුතු ය කියා දැන් නියමයක් නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු හදිසි  අවස්ථාවක් පැන නැගුණා. අප්‍රේල් මස මැතිවරණය තියන්න බැරි බව කොමිසමට වැටහුණා. ඔවුන් අප්‍රේල් මස මැතිවරණය පවත්වන්නෙ නැහැ කියා ප්‍රකාශ කළා. ඔවුන් කළ වරද මැතිවරණයට දිනයක් නියම නො කිරීම.  හෙට ඔවුන් දිනයක් නියම කරාවි. එය මැයි අග විය යුතු ම නැහැ. මැතිවරණ පනතේ 24 (3) යටතේ ඔවුන්ට ගැසට් නිවේදනයකින් වෙනත් දිනයක් නියම කරන්න පුළුවන්. අවශ්‍ය ඒ නියම කරන දිනය ගැසට් නිවේදනයේ දිනයට සති දෙකකින් පසුව වීම පමණයි. 

යම් විධියකින් මැතිවරණ කොමිසම දිනයක් නියම නොකළොත් ජනාධිපතිට මැතිවරණ පනතේ 113 යටතේ දිනයක් නිම කරන්න පුළුවන්. එයත් මැයි අග විය යුතු ම නැහැ. මා නුවර පෙරහැර කාලය සඳහන් කෙළේ ඒ වන විට රෝග තත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි නිසා. 113 මෙසේයි.

"මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් නියම කිරීමෙන් හෝ මැතිවරණයක් සඳහා දිනයක් නියම කිරීමෙන් පසු යම් වේලාවක ඒ නියමය අනුව යම් මැතිවරණ කොට්ඨාසයක කවර හෝ හේතුවක් නිසා මැතිවරණයක් පවත්වා නොමැති බව ජනාධිපතිවරයා සෑහීමකට පත්වන පරිදි පෙන්වා දෙනු ලැබුවහොත්, ඒ කොට්ඨාසයෙහි මැතිවරණයක් පවත්වන ලෙස, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන දැන්වීමක් මගින් වෙනත් නියමයක් ජනාධිපතිවරයා විසින් කවර හෝ වේලාවක කරනු ලැබිය හැකි ය."
     
මැතිවරණය පැවැත්වෙන දිනය මිස පාර්ලිමේන්තුව කැඳවන දිනය 24(3) හි හෝ 113 හි හෝ සඳහන් වන්නේ නැහැ. මතුවන හැම අවස්ථාවකට ම සරිලන සේ නීති සකස් කරන්න කිසිවකුටවත් බැහැ. ගණිතයේ දී වුවත් සමහර අවස්ථා මග හැරෙන්න පුළුවන්. මැයි අග මැතිවරණයක් පැවැත්වීමට නොහැකි නම් ජූනි 3 හෝ එයට පෙර හෝ පාර්ලිමේන්තුව කැඳවන්න හැකියාවක් නැහැ. නීතියේ කාර්ය සාධන නොහැකියාව පිළිබඳ ධර්මය (මේ යෙදුම නිවැරදි ද කියා මා දන්නේ නැහැ) කියා එකක් තියෙනවා. එවිට සුදුසු පරිදි ක්‍රියා කරන්න වෙනවා. ව්‍යවස්ථාවේ හෝ  මැතිවරණ පනතේ හෝ කියා නැතත් ජූනි 3 වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි නම් ජනාධිපතිට ඒ සඳහා වෙනත් දිනයක් නියම කරන්න පුළුවන්. එහෙත් මැතිවරණ කොමිසමට බැහැ. ඔවුන්ට කළ හැක්කේ වෙනත් මැතිවරණ දිනයක් නියම කිරීම පමණයි. 

මැතිවරණය පැවැත්වීම හා පාර්ලිමේන්තුව කැඳවීම ගැන ආණ්ඩුව දහස් වරක් සිතිය යුතුයි. රට යම් කිසි ආකාරයකට දැඩි විපතකට පත් වුවහොත් මැතිවරණය මැයි අග පැවැත්වීමට ගන්න අවදානම කිරි කලයට ගොම හැලියක් මුසු කිරීමක් වෙනවා. එවැනි අවස්ථාවක නාථ දෙවියන් නීති උපදෙස් දෙන එකක් නැහැ.  සියළු උගතුන් මට සිනහසේවි. උගතකු නොවීම කෙතරම් භාග්‍යයක් ද?   එ ජා ප ජ වි පෙ මැතිවරණයට විරුද්ධ වන්නෙ අවදානමක් ගැන හිතල නොවෙයි පරදිනවට බයට.