History

Sunday, 3 May 2020

නීතියේ යම් යම් ප්‍රශ්න

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්




0  1   2    3    4   5  6  7  8  9 





නීතියේ යම් යම් ප්‍රශ්න 




මිනිසුන් බොහෝ විට නිගමනවලට එන්නේ ඊනියා සත්‍ය පරීක්‍ෂාවකින් පසුව නොවෙයි. සත්‍යය කියා එකක් නැති විට සත්‍ය පරීක්‍ෂා තියෙන්නේ කොහොම ද? කිං සච්ච ගවේෂි බුදුහාමුදුරුවන්ගේ කාර්යයක් නො වෙයි. සත්‍ය මෙව ජයතෙ ඊනියා සත්‍යය යනු කුමක් දැයි තමන් දන්නේ යැයි කී ඒ තමන් සතුව සතුව ඇතැයි සිතූ  බමුණන්ගේ කතාවක්. ඉන් අවසන් වශයෙන් කියැවුණේ තමන්ගේ මතය ජයගන්නා බවයි. අද බටහිර විද්‍යාවත් එසේමයි. කොවිඩ් 19ට ප්‍රතිකාර නැති වුවත් බටහිර විද්‍යාව කයියෙන් හා හයියෙන් තම අනුගාමිකයන් රඳවා ගෙන ඉන්නවා. බටහිර වෛද්‍ය විද්‍යාව අසරණ ව සිටිය දී  අද වැලිසර නාවික හමුදා රෝහලේ දුම් (වාෂ්ප) හට්ටිය අල්ලනවා. කොළඹ මහා නගර සභාවේ දේශීය වෙදකම් කෙරෙනවා. මෙරට චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකට අනුව කොවිඩ් 19 සම්බන්ධයෙන් චීනය 90%ක් පමණ කර ඇත්තේ චීන දේශීය වෙදකම්.


නිගමනවලට පැමිණ පසුව ඒ යුක්තියුක්ත කිරීම සඳහා ඊනියා සාධක සෙවීම සාමාන්‍ය සිරිතයි. නිගමනවලට පැමිණෙන්නේ ඒ ඒ අයගේ රුචි අරුචිකම් අනුවයි. ඉඳහිට අදහස් වෙනස් කර ගන්නවා. මිනිසුන්ගේ සාංසාරික පුරුදු සංස්කෘතික පසුබිම් ආදිය අදහස් වෙනස් කර ගැනීමේ දී බලපානවා. බටහිර මතවාදවල ඇති අමුතු ප්‍රාතිහාර්යයක් සත්‍යයක් නැහැ. එහි ආධිපත්‍යය විසින් බොහෝ විට මිනිසුන් මෙහෙයවෙනවා. ඒ මතවාද එක් එක් අය තේරුම් ගන්නේ එක් එක් විධියට. ඒ ඒ අය මාක්ස් ගැන ලියා ඇති දේ කියවන්න. ඒ බටහිර වෛද්‍ය විශේෂඥයන් මාස්ක් ගැන කී කතා මෙන්. සමහරු තම ළමා කල සංස්කෘතික පසුබිම, සාංසාරික පුරුදු අනුව බටහිරයන් කරන මෙහෙයවීම තේරුම් ගන්නවා. පඬියකුට හිතෙන්න බැරි නැහැ සංසාරය පුරා ම බටහිරයන් හිටිය කියා. ඔවුන් ඒ තරම් පඬියන්. තේරුම් ගැනීම යන්නත් නිර්මාණයක්.

නීතිය සම්බන්ධයෙන් ඊනියා සත්‍ය පරීක්‍ෂාව සලකන්න. අද පාර්ලිමේන්තුව කැඳවීම, මැතිවරණ පැවැත්වීම, ඒ්කාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීම ආදිය ගැන ඒ ඒ අය මත පළ කරන්නේ ඒ ඒ අයගේ පක්‍ෂපාතීත්වය මත මිස ඊනියා සත්‍ය ගවේෂණයක් මත නොවෙයි. මා වුණත් එහෙමයි. තම තමන්ගේ පක්‍ෂපාතීත්වය මත ඒ ඒ කරුණ ගැන අදහස් පළ කිරීම, ඊනියා සාධක සෙවීම තමයි සිදු වන්නේ. 

ජනාධිපතිට ඒකාබද්ධ අරමුදලෙන් වියදම් කිරීමට ඇති හැකියාව ගැන සොයා බලමු. ඒ සම්බන්ධව ඇත්තේ ව්‍යවස්ථාවේ කියැවෙන්නේ මෙයයි.  "150(3) යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට  නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය."

මෙය අර්ථවිවරණය කරන්නේ කෙසේ ද? ජනාධිපතිට යම් මුදලක් අවශ්‍ය නම් එකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට වැය කිරීමට නියම කිරීමට බලය තියෙනවා. ඒ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක්. ප්‍රශ්නය කවදා සිට ද යන්නයි. එය අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට ද පරණ පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට ද? මා තර්ක කරන්නේ පරණ පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට කියා. ඒ මගේ කැමැත්ත එය නිසා. 

පරණ පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ රජයේ මුදල් වෙන් කර ඇත්තේ යම්කිසි දවසක් (x) සඳහා පමණක් යැයි කියමු. ඒ දිනය අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දිනට (y) පෙර යැයි සිතමු (x<y). දැන් ප්‍රශ්නය වන්නේ ඒ දින දෙක අතර (x හා y අතර) රජයේ මුදල් වියදම් කරන්නේ කෙසේ ද යන්නයි. ව්‍යවස්ථාව සම්පාදනය කළ අයගේ අභිලාෂය වන්නට ඇත්තේ කුමක් ද? ජනාධිපතිට මුදල් වැය කිරීමේ බලය ඇත්තේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට නම් x හා y අතර මුදල් වියදම් කිරීමට බැරි වෙනවා. මෙය අර 70(5) යටතේ කියැවෙන මාස තුනේ අවශ්‍යතාව ඇතත් නැතත් සිදුවන්නක්. 

ව්‍යවස්ථා සම්පාදකයන්ට අවශ්‍ය වී ඇත්තේ x හා y අතර රට අකර්මණ්‍ය කිරීමට ද? කිසිම ජනාධිපති කෙනකු ඒ අපේක්‍ෂා කරන්නේ නැහැ. ඒ තමාට එයට කර ගහන්න සිදු වෙන නිසා. ඒ නිසා කිසිම ජනාධිපතිවරයකු ව්‍යවස්ථා සම්පාදකයන්ට රට තමා බලයේ සිටින වකවානුවක රට අකර්මණ්‍ය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එසේ නම් අපට නිගමනය කිරීමට සිුදු වන්නේ ජනාධිපතිට මුදල් වැය කිරීමේ බලය පරණ පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට (x) ම ලැබෙන බවයි. අනෙක් අතට අලුත් පාර්ලිමේන්තුව රැස් වීමෙන් පසුවත් ජනාධිපතිට ඒකාබද්ධ අරමුදලෙන් වියදම් කිරීමට හැකි නම් පාර්ලිමේන්තුව රැස්වීමට පෙර වඩාත් එසේ කළ හැකි විය යුතුයි. 

අද තවත් මතයක් ගෙනෙනවා මැතිවරණ කොමිසමට බලය ඇත්තේ යම් දිස්ත්‍රික්කයක පමණක් මැතිවරණය කල් දැමීමට කියා. මැතිවරණ පනතේ 24(3) අප කිහිප  වරක් උපුටා දක්වා තියෙනවා. ඒ මෙසේයි. "24(3) යම් හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතුකොට ගෙන යම් මැතිවරණ කොට්ඨාසයක මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම, මැතිවරණය සම්බන්ධයෙන් (1) වන උපවගන්තිය යටතේ පළ කරන ලද  දැන්වීමෙහි සඳහන් දිනයෙහි කළ නොහැකි  වූ අවස්ථාවක, ගැසට් පත්‍රයෙහි පළ කරනු  ලබන නියමයක් මගින් කොමසාරිස්වරයා විසින් ඒ ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකි අතර, ඒ වෙනත් දිනය, ගැසට් පත්‍රයෙහි නියමය පළ කරනු ලැබීමෙන් පසුව එළඹෙන දහතරවන දිනයට  කලින් වූ දිනයක් නොවිය යුතු ය.
  
මෙයින් අදහස් කරන්නේ එක දිස්ත්‍රික්කයක පමණක් මැතිවරණ දිනය වෙනස් කිරීමට කොමිසමට බලය තිබෙන බව ද? යම් දිස්ත්‍රික්කයක යන්නෙන් අදහස් කරන්නේ එක ම එක දිස්ත්‍රික්කයක් ද? දිස්ත්‍රික්ක දෙකක මැතිවරණ පවත්වා ගැනීමට නොහැකි වුවහොත් කරන්නේ කුමක් ද? එකක පමණක් මැතිවරණය පවත්වනවා ද? දෙකේ ම පවත්වනවා ද? නැත්නම් එකකවත් පවත්වන්නේ නැත් ද? 

නීතිය පිළිබඳ යම්  මහාචාර්යවරයකු (මහාචාර්යවරියන් ද ඇතුළු ව ඉංගිරිසියෙන් ප්‍රොෆෙසර්)  අසනීප වුවහොත් එදිනට නියමිත දේශනය (බොහෝ විට වැඩක් නැති) වෙනත් දිනයක පැවැත්විය හැකි යැයි කිවහොත් එයින් කියැවෙන්නේ එක් මහාචාර්යවරයකුට පමණක් එය වලංගු වන බව ද? දිනයක දේශන පැවැත්වීමට නියමිත සියලු මහාචාර්යවරු අසනීප වුවහොත් කරන්නේ කුමක් ද?  ඊළඟ සතියේ අනුරූප දිනයට දේශන නියම කරනවා ද? එහෙමත් නැත්නම් ගිය වසරේත් පැවැත්වුයේ ඒ දේශනය ම බැවින් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන්ගෙන් අදාළ දේශනය පිටපත් කර ගැනීමට කියනවා ද? 

අවාසනාවකට මැතිවරණ කොමිසමට පසුගිය මැතිවරණයේ ප්‍රතිඵල ම මෙවර නිකුත් කිරීමට බැහැ. ඔය මහාචාර්යවරුන් හා වරියන් නම් කොමිසම එසේ කරන්නේ නම් සතුටු වනු ඇති. සිකුරාදා සංසදයත් සතුටු වනු ඇති. කොවිඩ් යම් පමණකට මෙල්ල වූ පසු මැතිවරණය ඉක්මණින් තියමු. මෙහි යම් කියන්නේ යම් දිස්ත්‍රික්කයක යෙදෙන අරුතින් නො වෙයි. යම් යන්නට යම් යම් අරුත් තියෙනවා.