History

Friday, 12 June 2020

යළි සිංහල බෞද්ධයකු වීම

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9




යළි සිංහල බෞද්ධයකු වීම


මා සිංහල බෞද්ධයෙක්. මගේ වත්මන් සිංහල බෞද්ධකම මට ගෙදරින් ලැබුණ එකක් නො වෙයි. ගෙදරින් ලැබුණු සිංහල බෞද්ධකම පසුව ලැබුණු බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා නැති වුණා. විද්‍යාඥයකු වීම, විප්ලවය සාක්‍ෂාත් කර ගැනීම ආදිය තමයි වයස අවුරුදු 14 (විද්‍යාඥයකු වීම), 18 (විප්ලවය) කාලයේ සිට තිබුණෙ. එහෙත් 1980 පමණ වන විට ඒ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. 1970 වන විට මා දැන ගෙන හිටියා මට විද්‍යාඥයකු වීමට නොහැකි බව. අවුරුදු එකහමාරෙන්  ආචාර්ය උපාධියක් ලබා ගැනීම නේචර් වැනි සඟරාවල පත්‍රිකා පළ කිරීම ඒ තරම් වැඩ නො වෙයි. අමාරු වැඩේ මේවයින් කැඩෙන එක.  එතකොට (1970) මට වයස විසිපහක් පමණ ඇති. දැන් වයස ඒ වගේ තුන් ගුණයක්. 


1977 දි ඕස්ත්‍රේලියාවෙන් පැමිණ අවුරුදු දෙකක් පමණ රැකියාවක් නොමැති ව සිට (පේරාදෙණියේ විද්වතුන් මා බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප කළ නිසා - එය සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. අස්කරනවාට වඩා බඳවා නොගෙන සිටීම පහසුයි) 1979 දී මට කොළඹ පත්වීමක් ලැබුණා. එය ජේ අර්ට පින්සිද්ධ වෙන්න සිදු වූවක්. 

ඔස්මන්ඩ් ජයරත්නගේ කමිටුවෙන් නිර්දේශ කර තිබුණා සියළු විශ්වවිද්‍යාල එකතු කර එක් විශ්වවිද්‍යාලයක් හදන්න. ඒ අනුව තමයි අර මණ්ඩප හැදුවෙ. එහි ප්‍රශ්නය වුණෙ සෑම පත්වීමක් ම අර තනි විශ්විද්‍යාලයෙන් අනුමත වෙන්න ඕන. ඒ නිසා මට කොළඹ මණ්ඩපයේ පත්වීමක් ලබාදුන්නෙ නැහැ. පේරාදෙණි මණ්ඩපය එයට විරුද්ධ වුණා. මා සියළු විශ්වවිද්‍යාලවලට එරෙහිව පසු කලෙක නඩු කී විට මේ ලිපි පිටපත් මට ලබා ගන්න හැකි වුණා. පේරාදෙණියෙන් තනි විශ්වවිද්‍යාලයට එවා තිබූ ලිපිවල පිටපත් මා ළඟ තියෙනවා. 

ජේ ආර් 1978 අංක 16 දරණ පනතෙන් තනි විශ්වවිද්‍යාලය හා මණ්ඩප අහෝසි කර  වෙන වෙන ම විශ්වවිද්‍යාල පිහිටෙවුවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ද ඇති කලා. ස්ටැන්ලි කල්පගෙ කොමිසමේ සභාපති කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස තවත් ස්ටැන්ලි කෙනකු ස්ටැන්ලි විජේසුන්දර පත් කෙරුණා. ඔහු ජේ ආර්ගෙ නෑයෙක්. ඒ නිසා ඔහු අනෙක් ස්ටැන්ලිට යට වුණේ නැහැ. ඔහු මා කොළඹට ගත්තා. ඒ 1979 අගෝස්තුවේ පමණ. අනෙක් ස්ටැන්ලි පසු කලෙක මගේ මිතුරකු වුණා. ඔහු සිංහල ජාතිකවාදියෙක්. 

කොළඹ දී මට ක්වොන්ටම් යාන්ත්‍රිකය උගන්වන්න භාර දුන්නා. මා පේරාදෙණියේදීත් ඒ පාඨමාලාව උගන්වා තිබුණ. ඒත් කොළඹ දි එය වෙනස් වුණා. කොළඹ  ඒ වැඩේ පටන් ගන්න  විට මට වයස තිස්පහක් පමණ.   එය මැන්ටල් වයසක් කියන්න බැහැ. පඬි නැට්ටකුට කියන්න පුළුවන් මා කලින් ම මැන්ටලයක් වෙලා කියලා. ක්වොන්ටම් භෞතිකය නිවුටෝනීය භෞතිකයෙන් පදනම වශයෙන් ම වෙනස්. 

එය ඇරිස්ටෝටල්ගෙ ද්විකෝටික න්‍යායෙන් තේරුම් ගන්න බැහැ. එයට විවිධ විවරණත් අවශ්‍ය වුණා.  අයින්ස්ටයින් කෝපන්හේගන් විවරණය පිළිගත්තේ නැහැ. ක්වොන්ටම් අංශුවලට ඇරිස්ටෝටල් හරියන්නෙ නැහැ. අප ඇරිස්ටෝටල්ගෙ න්‍යාය විසිකර අවසන්. පඬි නැට්ටන් ඒ ගැන ලියන ලිපි නොදැක්කා වගේ ඉන්නවා. ක්වොන්ටම් යාන්ත්‍රිකය සමග නිරීක්‍ෂකයා නිරීක්‍ෂ්‍යය සම්බන්ධය ආදී ප්‍රශ්න වැලක් මතු වෙනවා. නිවුටෝනීය සත්බවවේදය (Ontology) මුළුමනින් ම කඩා වැටෙනවා. පසු කලෙක මා වෙනත් සත්බවවේදයක කවොන්ටම් යාන්ත්‍රිකය (Quantum Mechanics in a different ontology)  යන මැයෙන් පත්‍රිකාවක් ලිවුවා. එහි අංශුවකට එක්වර දෙතැනක කිහිපතැනක ඉන්න පුළුවන්. මා කියන්නේ ක්වොන්ටම් යාන්ත්‍රිකය හරි කියන එක නො වෙයි. එය තවත් පට්ටපල් බොරුවක්. 

මාක්ස්වාදය සමගත් මට ප්‍රශ්න ඇති වුණා. 1980 මාර්තු මාසයෙ මා නව සමසමාජ පක්‍ෂයෙන් අස්වුණා. 1979 –- 1983 සංක්‍රමණීය කාල පරිච්ඡෙදයක්. මේ කාලයෙ තමයි ක්වොන්ටම් යාන්ත්‍රිකය චතුස්කෝටික න්‍යායෙන් තේරුම් ගන්න පුළුවන් වුණෙ. අර අංශුවක් එක විට කිහිප තැනක තියෙන කතාව(තියෙනවා කියන්නෙ සම්මුතියෙන් - නැත්නම් පඬි නැට්ටකු විකාර කියවන්න පටන් ගනීවි) මට ලැබුණෙ චුල්ල පන්තක තිස්ස හාමුදුරුවන්ගෙ කතාවෙන්. පඬි නැට්ටන් කතාව දන්නවා ඇති නේ. ඔවුන් නොදන්න දෙයක් තියෙනවා ද? එක් පඬිම පඬි නැට්ටකුට (එවැන්නන් ඉන්නෙ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල) අනුව බුදුහාමුදුරවන්ගෙ කාලෙ තර්ක තිබිලා නැහැ. ඔහුට තර්කය කියන එක බටහිර අදහසක්. 

ඇත්ත නේන්නම්. බුදුහාමුදුරුවන් කාළාම සූත්‍රයෙ තක්ක හේතු, නය හේතු කියලත් තියෙනවා. කාළාමයන් ඉන්න ඇත්තෙ අපරගෝයානයෙ වෙන්න ඇති. මෙහි තක්ක නය වෙන වෙනමත් කියනවා. පඬි නැට්ටන් එක්ක කතා කරන එක ණයක්. ඔවුන් දන්නෙ තමන් කියෙවුවා කියන පොත් ගැන නයි අරින්න. එක් පඬි නැට්ටියක ද කොහෙද අහනවා බුදුහාමුදුරුවො ගණිකා මඩමක් පූජා කළොත් භාර ගන්නවා ද කියා. මේ නැට්ටන් හා නැට්ටියන් අඩු තරමෙ ඔය හාමුදුරුවරු යමක් පිළිගන්න විධිය දැකල තියෙනවා නම් ඔය ප්‍රශ්න අහන්නෙ නැහැ. යමක් පිළිගැන්වූ පමණින් පිළිගන්නෙ නැහැ. පිළිගන්න බව අත තැබීමෙන් හාමුදුරුවරු ප්‍රකාශ කරනවා. 

ඔය සංක්‍රමණීය කාලෙ තමයි මා නැවතත් සිංහල බෞද්ධයකු වුණෙ. එය හුදු විශ්වාසයක් මත වූවක් නො වෙයි. ඉන් පෙර මට විද්‍යාව, ගණිතය, තර්කය ගැන නම් තිබුණෙ  විශ්වාසයක්. තර්කයත් මිනිසුන්ගෙ නිර්මාණ. නය (logic) එහෙම නැත්නම් න්‍යායත් මිනිසුන්ගෙ නිර්මාණ. බුදුදහම කියල දෙන්නෙ නොදැනුම. දැනුම බොරුවක් ය මායාවක් කියන එක. 

ඔය අනෙක් හැම එකක ම කියන්නෙ දැනුම ගැන. මොකක් හරි දැනුමක් ගැන විශ්වාසයක් ඇති කර ගැනීම ගැන. දැනුම සංස්කරණයක් (නිර්මාණයක්) ගැන. අවිජ්ජා පච්චයා සංඛාරා. බුදුදහමෙ විශ්වාසයක් නැහැ. සියලු දැනුම් බොරු  බව මායා බව නොදන්නෙ නම් ඒ, ඒ දැනුම් ගැන තියෙන විවිධ විශ්වාස නිසා. මා යළි සිංහල බෞද්ධයකු වීම රටට යම් ප්‍රමාණයකටවත් දැනෙන්න ඇති. පඬි නැට්ටන්ට නම් දැනෙනව. මේ එක පොඩි අදහසක්. එය යළි සිංහල බෞද්ධයකු වීමේ ප්‍රතිඵලයක්. 

මේ රට ශාසනයට කිහිප වතාවක් ම පූජා කළ රටක්. මේ රටෙහි වෙනත් දෙයක් කරනවා නම් වෙනත් ආගමික සිද්ධස්ථානයක් හදනවා නම් සිංහල බෞද්ධ රාජ්‍යයෙන් අවසර ගන්න ඕන. ඒක ඉංගිරිසින් තම ක්‍රිස්තියානි රාජ්‍යයෙත් අඩු තරමෙන් දෙවතාවක් පිළිගත්තා. පළමුව 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන්. දෙවනුව 1892 අංක 4 දරණ ආඥා පනතෙන්. බුදු හාමුදුරුවන්ගෙ තර්කය හැටියට මා හඳුන්වන දෙය ඉංගිරිසින්ටත් පිළිගන්න වුණා. හාමුදුරුවරු තමන් වහන්සේ පිළිගන්නා දේ ඇතැම් විට අන්‍යයන්ටත් දෙනවා. හැබැයි බලහත්කාරයෙන් ගන්න එන්න එපා. මේ ගැන විස්තර පසුවට.

අද ආණ්ඩුව නිරෝධායනය සඳහා 1897 ආඥා පනතක් හොයා ගෙන. ඔය ආඥා පනත් මෙරට නීතිය. ඒ තවමත් වලංගුයි. 1892 ආඥාපනතත් වලංගුයි. එය හරියට ක්‍රියාත්මක කරනවා නම් මුහුදු මහා විහාරය සහ අනෙක් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන්නෙ නැහැ. රට ම ශාසනයට පූජා කළා මදිවට ඒ ඒ විහාරස්ථානවලත් වෙන වෙන ම පූජා කරල තියෙනවා. ඒවා අද මහ දවල් මංකොල්ල කනවා. මහ දවල් මහ බැංකු මංකොල්ලයටත් වඩා මේ මංකොල්ලය දරණුයි. කලකට ඉහත දඹුල්ලෙත් ප්‍රශ්නයක් මතු වුණා. 

බටහිර ක්‍රිස්තියානි රටක බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කරන එක ලෙහෙසි නැහැ. ඒ සඳහා නීති රීති කොන්දේසි තියෙනවා. මේ රටේ එහෙම එකක් නැහැ. ඕන අයකුට ඕන එකක්  හදන්න පුළුවන්. ඒ සිංහල බෞද්ධයන්ගෙ නිවටකම නිසා. අර නැගෙනහිර පළාතෙ සිද්ධස්ථාන ගැන පත් කර ඇති විශේෂ කාර්ය සාධක කමිටුවේ ප්‍රයෝජනය සඳහා 1892 ආඥාපනත මෙහි සඳහන් කරනවා. මේ කරුණ ඔවුන්ගෙ අධ්‍යයනය සඳහා. 

 
“Section 16 of the "Declaration of British Sovereignty" dated 21/11/1818 and ordinance no 4 of 1892.

"As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations"