History

Thursday, 11 June 2020

තපස්සු භල්ලුක, ගිරිහඬු සෑය සහ බුරුමය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9





තපස්සු භල්ලුක,  ගිරිහඬු සෑය සහ බුරුමය




අද ලිපියෙන් මුලින් ම කෙරෙන්නේ ගිරිහඬසෑය හා තපස්සු භල්ලුක ගැන පූජ්‍ය සුගුණසිරි හිමියන්ගෙන් ලැබුණු තොරතුරු කිහිපයක් කාටත් දැනගැනීමට සැලැස්වීම ය. එකක් හැර මේ සියල්ල පැරණි පොත්වලිනි. මෙහි මුලින් ම දැක්වෙන්නේ පියදාස සිරිසේන මහතාගේ කතාවකින් උපුටාගත් කොටසක්. මෙහි ධර්මදාස නමැත්තාට තපස්සු භල්ලුක ගැන කෙරෙන හැඳින්වීමක් වෙයි. මෙය සිරිසේන මහතාගේ හිතළුවක් විය නො හැකි ය. තපස්සු භල්ලුක බුරුම ජාතිකයන් බවට මෙරට ඈත අතීතයේ සිට මතයක් තිබී ඇත. සිරිසේන මහතා මෙහි තම චරිතයක් ලවා කියවන්නේ ඒ දැනුමයි. නවකතාවලත් (මෙය නවකතාවක් ද නැත් ද යන්න වෙන ම ප්‍රශ්නයක්) ඉතිහාසය තියෙනවා. 


“අප ජාතියට වඩා තථාගත ධර්මයේ අයිතිය ඇති දැන් ඉන්නා එකම ජාතිය බුරුමයෝය. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ ධ්යා න සුවයෙන් සත්සතිය ගෙවා පළමුවෙන්ම ලැබූ දානය පිළිගන්නා ලද්දේ තපස්සු භල්ලුක නමැති බුරුම සහෝදරයන් දෙදෙනා ගෙනි. පළමුවෙන්ම ලෝකයේ සුගතාගම්කාරයන්වූ බුරුමයන් ඇරුනාම උතුම්වූ තථාගත ශාසනය රැකගැණීමේ ගෞරවය සිංහල අපට ලැබීම ඇත්තෙන්ම ධර්මදාස, සිංහලයන්ට දිව්ය සැප ලැබුනාට වඩා ප්රීමතිදායක නොවේද? “ (පියදාස සිරිසේන නවකථා එකතුව- 04-සුචරිතාදර්ශය හෙවත් සරත් කුමාර චරිතය)

සඳකිඳුරු දා කව් සන්නය කියන්නේ වෙන කතාවක්. එහි ඇතැම් සන්න මෙසේයි.

157. තපුස් බල්ලුක - ‘තපුස්’ යනු පාළිපොත්හි ‘තපස්සු’ ‘තපුස්ස’ යන දෙයයුරින් ම පැනේ. සංස්කෘතයෙහි ‘ත්ර පුස’ යනු යි. එ හෙයින් ‘තපුස්’ යනු වඩා ගැළපේ. ‘බල්ලුක’ යන්න පාළියෙහි ‘භල්ලුක’ ‘භල්ලික’ යන දෙ ආකාරයෙන් ඇත්තේ ය. මේ දෙදෙන ‘උත්කල’ ජනපදයෙන් පැමිණියහ. මොවුන් ගේ ජන්මභූමිය

174
‘අසිතඤ්ජන’ නුවර ය යි මනොරථපූරණියෙහි ද පුෂ්කරවතී නුවර ය යි පරමත්ථිදීපනියෙහි ද කියන ලදී. ඒ දෙකම ගන්ධාරයට අයත් ය. පසු ව බුදුරදුන් රජගහා නුවර වැඩ වසන සමයෙක මේ වෙළෙඳුන් දෙදෙන එහි පැමිණ බණ ඇසූ බවත් ‘තපුස්ස’ වෙළෙඳා සෝවාන් ඵලයට පැමිණි බවත් ‘භල්ලික’ වෙළෙඳා පැවිදි ව රහත් වූ බවත් සඳහන් වේ.

කෙස්දා - බුදුරජු දුන් කෙශධාතුමිට රන් කරඬුවෙකින් පිළිගත් වෙළෙන්දෝ එය රථයෙක තබා ගෙන ගොස් ‘අසිතඤ්ජන’ නගරයෙහි දාගබක් කරවා නිධාන් කළහ. ඒ දාගැබ රැන්ගුන්සෑය’ ය යි මතයෙක් වේ. උත්කල ජනපදය ගන්ධාර දෙශයට අයත් ය. අසිතඤ්ජන නගරය ද එහි ය. එය දඹදිව උත්තරාපථයෙහි පිහිටියේ ය.

175 පද වැනුම
එ හෙයින් රැන්ගුම නො විය හැකි යි. රටින් රට වෙළෙඳාමේ ගිය ඔවුන් රැන්ගුමේත් සෑයක් කරවන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. ලක්දිව ද ඔවුන් කෙශධාතු නිදන් කොට දාගබක් කළ බවත් එය ‘ගිරිහඬු’ නම් වූ බවත් පූජාවලියෙහි කියන ලදී. තිරිකුණාමලයේ සිට හැතැපුම් 30 ක් පමණ උතුරින් මුඳු වෙරළ ළඟ ඇති ‘තිරියාය්’ නම් ගම අසල වූ පර්වගතයෙක එය පිහිටි බවත් එහි තිබී ලැබුණ ශිලාලිපියෙක ත්රිපුස්සක, වල්ලික දෙවෙළඳුන් විසින් කැරුණැ යි සඳහන් වන බවත් ප්රෙකට ය. ගිරි හඬු නම් විහාරයක් ලක්දිව දකුණු පළාතේ ද ඇත්තේ ය. (සඳකිඳුරු දා කව් සන්නය)

මෙහි කියන්නේ තපස්සු භල්ලුක කෙශධාතුන් වහන්සේ නිධන් කර අසිතඤ්ජන නගරයෙහි චෛත්‍යයක් කළ බවත් එකී නගරය දඹදිව පිහිටා ඇති බවත් ය. උත්කල සිට තමයි තපස්සු භල්ලුක බුදුහාමුදුරුවන් බැහැ දුටු ගමන අරඹල තියෙන්නෙ. ඒකෙන් ඒකෙන් කියන්නෙ නැහැ උත්කල ඔවුන්ගෙ ජන්මභූමිය කියලා. ඒ දඹදිව ඔවුන් ගමන් ඇරඹූ නගරය වෙන්න පුළුවන්. කොහොමටත් ප්‍රශ්නයක් වන්නේ මේ චෛත්‍යයක් වත්මන් ඉන්දියාවේ ඇත් ද යන්නයි. 

තපස්සු භල්ලුක කෙශධාතූන් වහන්සේ නිධන් කර චෛත්‍ය කරවා ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ලංකාවේ හා මියන්මාරයේ ය. මියන්මාරයේ එකල රජු කර වූ ඒ චෛත්‍යය ශ්වෙදගොන් යැයි මතයක් වෙනවා. යැන්ගොන් නුවර සිංගුත්තර කන්දේ තනා ඇති චෛත්‍යය මුල දී මීටර් 8.2ක් වී තිබෙනවා. දැන් එය මීටර් 110ක් පමණ . 

කෙසේ වෙතත් එකලත් රැන්ගුමේත් සෑයක් කළ බවට ලංකාවේ කතාවක් තිබිල තියෙනවා. එය වැදගත්. රජුගෙන් පසු කලෙක පුරාවිද්‍යාඥයන් සිටි බවක් පේන්න නැහැ. ඔවුන් හිටිය නම් චෛත්‍යය මීටරයකින්වත් උස්සන්න දෙන්නෙ නැහැ. 

සඳකිඳුරු දා කව් සන්නය තපස්සු භල්ලුක මාර්ගඵල ලැබූවා කියන කතාව පිළිගන්න බැහැ. ඔවුන් බුදුහාමුදුරුවන් බැහැ දුටුවේ බුද්ධත්වයෙන් අටවැනි සතියේ. ඒ වන විට බුදුහාමුදුරුවන් ධර්මය දේශනා කිරීමට තීරණය කර තිබුණේ නැහැ. සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනය ලැබුණේ ඉන් පස්සෙ. තපස්සු භල්ලුක පෙරුම්පුරා ඇත්තේ පළමු දෙසරණ සරණ ගිය උපාසකයන් වීමට වෙන්න ඇති. අප පෙරුම්පුරා ඇත්තේ කුමකට ද කියා අපවත් දන්නේ නැහැ. අප පෙරුම්පුරා නැතිව වෙන්න ඕන. පඬි නැට්ටන් නම් පඬි නැට්ටන් වීම සඳහා පෙරුම්පුරා තියෙනවා.
   
පූජාවලියෙහි කියන්නේ මෙවැන්නක්. “එ කල බුදුහු ඒ පාත්රෝයෙන් මිපිඬු පිළිගෙන පළමුවන භොජන ය වළදා ඒ වෙළඳ දෙබෑයන්ට අනුමෙවෙනි බණ වදාරා බුත්සරණ-දහම්සරණ පිහිටුවා ඔවුන් බුදුසස්නෙහි ද්වෙවාවික නම් උපාසක කළ සේක. ඒ වෙළඳ දෙබෑයෝ ‘ස්වාමිනි! නිති අප වඅඳපුදාගන්නා නියායෙන් වස්තුවක් දුනමැනවැ’යි කිහ. ස්වාමිදරුවෝ ශ්රීා හස්තයෙන් සිරස පිරිමැද කෙශධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔහු රුවන් කරඬුවකින් ඒ කෙශ ධාතු පිළිගෙන රථයෙහි තබා සියනුවර ගෙන ගොස් පූජා කරන්නාහු කලෙක ජලයාත්රානවෙහි ඇවිද ශ්රී් ලංකාද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දාරකඬුව ගලපිට තබා බත් පිස කා යන කල දාකරඬුව තුබූ පළින් සොලවා ගත නො හී මේ උත්තම ස්ථානයෙක් වනැ යි දැන පාෂාණගොඩකින් වසා ගඳ දුම් මල් පුදා ගායහ, පසුව ගිරිහඬු නම් වෙහෙරෙක් විය.”  (පූජාවලිය)

මෙයින් කියැවෙන්නෙ තපස්සු භල්ලුක කෙශධාතුන් වහන්සේ සිය නුවර ගොස් පසුව දාකරඬුව සමග ලංකාවට පැමිණ දරපැන් සොයා ගොස් ඇති බවයි. ඔවුන් භාරතයේවත් ලංකාවේවත් වැසියන් වන්න බැහැ. දඹදිවින් පීටත් වූ ඔවුන් සියරට බලා ගොස් ආපසු ලංකාවට පැමිණ තිබෙනවා. මෙය සමහර විට වැරදීමක් වෙන්න පුළුවන්. තපස්සු භල්ලුක සියරට යන අතර දාකරඬුව සමග ලංකාවට පැමිණියා වෙන්න පුළුවන්. අර පඬි නැට්ටා තවම නැව් ගැන කිසි දෙයක් නොකීවත් තපස්සු භල්ලුකට නැව් තිබිල තියෙනවා.

මේ පූජාවලිය ප්‍රස්ථාවනාව “තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ ලක්දිව ගොකර්ණය (ත්රිුකොණමලය) අසල ගිරිහඬු වෙහෙර කෙසධාතු නිදන් කළහ” යන මෙහි සඳහන් ප්‍රවෘත්තිය බොහෝ දෙනාගේ සැකයට භාජනය වෙමින් පැවති එක් කරුණකි. එහෙත් ඉතා මෑතකදී එය සඳහන් ශිලා ලිපි‍යක්’ ඒ ස්ථානයේ තිබී සොයා ගැණීමෙන් පසු ව පූජාවලී කර්තෘන්වහන්සේගේ කීමේ සත්යගතාවය ප්‍රකට වී ය. (පූජාවලිය-ප්‍රස්ථාවනාව)

පුජ්‍ය මාදුරුමය ධම්මිස්සර හිමියන් විසින් පර්වර්තනය කරන ලද සෙල්ලිපියෙහි මෙසේ සඳහන් වෙනවා. මෙහි නාගයන් ගැන ද S. නාගයන් කියන්නෙ නාවිකයන්, වෙළෙන්දන්. තපස්සු භල්ලුක ද නාගයන් ද නැත්නම් මේ වෙළෙඳ සමූහය සමග නාගයන් ද ගොස් තිබෙනවා ද? දෙවැන්න වීමට ඇති ඉඩකඩ වැඩියි. ඔවුන් ලංකාවේ නාගයන් ද? මේ අදාළ වාක්‍යය. 

"සමුද්‍රස්ථ වූ එක් වූ ගුණයන්ගෙන් යුක්ත වූ සමීපයට පැමිණි නාගරාජයන් සහිත වූ අතිශයින් ශාන්ත වූ වෙළඳ සමූහයක් විසින් ගොඩ බැස සතුටින් ඉදිකරන ලද්දේ යැයි යම් හෙයකින් ලෝකයෙහි ප‍්‍රසිද්ධ වී ද ඒ මේ ගිරිකණ්ඩිත චෛත්‍යය මනා ව බබළයි."