History

Wednesday, 10 June 2020

මංගල ගමනට යන්න අවසරයි

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9





මංගල ගමනට යන්න අවසරයි 

මට තපස්සු භල්ලුක ගැන මුලින් ම තොරතුරු සැපයුවෙ පේරාදෙණියෙ දර්ශනය හැදෑරූ සුගුණසිරි හාමුදුරුවන්. ඉන් පසු ධම්මිස්සර හාමුදුැරුවනුත් අනුජ මංචනායකත් තොරතුරු දන්නලා තිබුණා. මියන්මාර තොරතුරුත් මට ලැබිල තියෙනවා. මා හිතන් හිටිය තපස්සු භල්ලුක බුරුම වැසියන් කියල. එය ක්‍රමයෙන් තහවුරු වෙනවා. ඔවුන් තම වෙළෙඳ සමුහය සමග පැමිණ ඇත්තේ ගෝකණ්න වරායට. එය එකලත් ප්‍රසිද්ධ වරායක්. ගෝකණ්නයෙන් උතුරෙ ගිරිහඬු සෑය තියෙන්න. මේ පිළිබඳ තව ලිපි ගණනාවක් ම ලියන්න වෙයි. දැනට දන්නා ඉතිහාසය අනුව මියන්මාරය හා ලංකාව අතර මුල් ම සම්බන්ධය තපස්සු භල්ලුක. තොරතුරු එවූ සියළු දෙනා වහන්සේට හා සියල්ලන්ට පින්! දැන් වර්තමානයට.


මංගල සමරවීර හොඳ ප්‍රකාශයක් කරලා. ඔහු ගමනක් යන්න හදනවා. ඔහු මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වෙනව කියනවා. මට තේරෙන විධියට මන්ත්‍රී දේශපාලනය කියන්නෙ පාර්ලිමේන්තු දේශපාලනයෙ කොටසක්. මංගලට ඕන නම් මන්ත්‍රී දේශපාලනය නැති පාර්ලිමේන්තු දේශපාලනයෙ ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් සකර්බර්ග් පිටු අතර සකර්බර්ග් දේශපාලනයෙ ඉන්න පුළුවන්. මංගල මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වෙන්නෙ මන්ත්‍රීකමක් ගන්න බැරි නිසා වගේ වාචාල කතා කියන එක හරි නැහැ. මේ කියන්නෙ ඊට වඩා ගැඹුරට යන දේශපාලනයක්.

මංගල එ ජා පක්‍ෂයෙන් කැඩිල සජිත් එක්ක එකතු වුණා. මෙය රනිල්ගෙ දේශපාලනයෙන් කැඩීමක්. අද එ ජා පක්‍ෂය දෙකට බෙදිලා. මේ බෙදිල්ල ලලිත් ගාමිණී කැඩීම වගේ එකක් නො වෙයි. අද කැඩිල තියෙන්න එ ජා පක්‍ෂය පමණක් නො වෙයි. දෙමළ ජාතික සංධානයත් කැඩිල. මේ පක්‍ෂ දෙක තමයි සිංහල ජාතිකත්වයට විරුද්ධ පක්‍ෂ දෙක. අද සුමන්තිරන් සම්බන්ධන් හා ගෝලීය දෙමළ සංසදයෙ සුරේන් සුරන්දිරන් දෙමළ ජාතික සංධානයෙ සෙස්සන් සමග මතභේද ඇති කරගෙන. මේ සියල්ල සිංහල ජාතිකත්වයෙ ජයග්‍රහණ. 

මා කලින් කියා තියෙනවා ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය ලෙස බිහිවීමෙන් පසු පැරණි වම කැඩී යෑම ගැන. සිංහල ජාතිකත්වයට මුහුණ දෙන්නෙ කොහොම ද කියන එක පැරණි වම දැන ගෙන හිටියෙ නැහැ. එක් අතකින් ගත්තොත් ජ වි පෙ කියන්නෙ එයට මුහුණ දෙන්නෙ කෙසේ ද යන්නට පිළිතුරු හොයන්න උත්සාහ ගත් පක්‍ෂයක්.  ඔවුන් මාක්ස්වාදය (කවුරුත් කරන පරිදි තමන් දුටු මාක්ස්වාදය –- වාස්තවික මාක්ස්වාදයක් නැහැ) සිංහල බෞද්ධ සංස්කෘතියත් සමග මුහු කරන්න උත්සාහ කළා. ඔවුන් සිිංහල ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුණා. 

බණ්ඩාරනායක වගේ ම ජේ ආර් ජයවර්ධනත් සිංහල ජාතිකත්වය සමග ගණු දෙනු කිරීමට උත්සාහ ගත් දේශපාලනඥයන්. ඔවුන්ගේ ජාතික ඇඳුම එහි සංකේතයක් පමණයි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ගැන මුලින් ම කතා කෙළේ ජේ ආර්. ඩඩ්ලි හොඳ බෞද්ධයෙක් වෙන්න ඇති. මා දන්නේ නැහැ. ඒත් සිංහල ජාතිකත්වයේ ශක්තිය හඳුනාගත් දක්‍ෂිණාංශික දේශපාලනඥයා වුයේ ජේ ආර්. පෝය නිවාඩුව කාගෙ අදහසක් ද දන්නෙ නැහැ. ඒත් එය ක්‍රියාත්මක කෙළෙ එ ජා ප ආණ්ඩුවකින්. 

ධර්මිෂ්ට සමාජය ජේ ආර්ගෙ තවත් කතාවක්. ඔහු  සිංහල ජාතිකත්වයෙ කියන එක නොවෙයි මෙයින් කියන්නෙ. එහෙත් ඔහු සිංහල ජාතිකත්වය රවටන්න උත්සාහ කළා. ඒ බව හොඳින් ම දැන සිටි අයකු වන්න ඇත්තේ එෆ් ආර් සේනානායකගේ පුත් ආර් ජී සේනානායක කියා හිතෙනවා. ඔහුත් ගෝඨාභය කෙනෙක්. රිචඩ් ගෝඨාභය. ආර් ජී ගැන ජාතික ව්‍යාපාරයේ කතා වෙනවා අඩුයි. 1956 දී ආර් ජී කැලණියෙන් ජේ ආර් පරාද කළා. 

පැරණි වමට ජාතිකත්වයට මුහුණ දීමට නොහැකි වීම මුල් කර ගෙන සිංහල ජාතිකත්වය හා මාක්ස්වාදය ගැන ගුණදාස අමරසේකර ලියන්න පටන්ගත්තෙ අබුද්දස්ස යුගයක් සමග කියා හිතෙනවා. ඔහුට අවශ්‍ය වූයේ ඒ දෙකේ මුසුවක්. මට මතක හැටියට නව සමසමාජ පාක්‍ෂිකයකු ලෙස මා ඒ අදහස විවේචනය කළා. මට මතක නැහැ මා එ ලිපිය පළ කෙළෙ කොහෙද කියා. අමරසේකරගෙ අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද ලියැවුණෙ ඊට පස්සෙ. ඒකෙ ගුණදාස අමරසේකර ධර්මපාලතුමා මාක්ස්වාදය දැන හිටිය නම් එතුමා ද මාක්ස්වාදය මිශ්‍ර කර ගන්නා බවක් කිව්වා. අමරසේකරගේ ජාතික චින්තන අදහස එරික් ෆ්‍රොම්ගෙන් හා අන්ද්‍රයෙෆ් වැලිකිගෙන් ලබාගත් දෙයක්. වැලිකිගේ  A History of Russian Thought  කෘතිය ගැන ලියූ විචාරයක් මේ ජාතික චින්තන කතාවට මුල් වෙලා තියෙනවා. 

අදත් ඊනියා උගත් ගැමි තරුණ පරපුරක් ආදිය ගැන කියමින් අමරසේකර උත්සාහ කරන්නෙ ගැමි උගතුන් ලවා මාක්ස්වාදය හා සිංහල ජාතිකත්වය මුසු කරන්න. අද ඔහු ජාතිකවාදී කඳවුරේ ඒ අදහසට ගරු කරන කණ්ඩායමක මාධ්‍ය ප්‍රකාශක වගේ වැඩ කරනවා. 

මාක්ස්වාදය හා සිංහල ජාතිකත්වය මුසු කරන්න පුළුවන් දේ නො වෙයි. ඊනියා සමාජවාදයට සිංහල ජාතිකත්වය ආරෝපණය කරල කරන්න පුළුවන් දෙයක් නැහැ. මෙහි දී මට හැම විට ම මතක් වෙන්නෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ බිත්තියක පාරට පේන්න බෞද්ධ කොඩිය ඇඳලා තියෙන හැටි. ඒ වුණත් අද ජාතික චින්තනයෙ  කියන අය ඉන්නෙ මේ මතයෙ. මා නම් ඒ මතයෙ නැහැ. 

ගෝඨාභය රාජපක්‍ෂගෙ නායකත්වය යටතෙ සිංහල ජාතිකත්වය අද ශක්තිමත්. එහි ශක්තිය හමුවේ තමයි එ ජා පක්‍ෂය කැඩී තියෙන්නෙ. රනිල්ට කිසි දා සිංහල ජාතිකත්වයට මුහුණ දෙන්න බැහැ. ඔහු පොත් කියවනවා ඇති. ඒත් මෙය පොත් කියවීම පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. 

අද එ ජා පක්‍ෂයේ ඇතැමුන් බලන්නෙ සජිත්ට සිංහල ජාතිකත්වයක් අටවල ගෝඨාභයට මුහුණ දෙන්න. මංගල මුල දි ඒ අදහසෙ හිටියෙ නැහැ. ඔහුට ඇති ජාතිකත්වයක් නැහැ. ඒත් රනිල්ට වඩා සජිත්ට ඡන්ද තියෙන බව පෙනුණට පස්සෙ චම්පක කිරිඇල්ල මංගල වගේ අය කරත්තයට ගොඩ වුණා. සමහරු තමන් කළ වරද තේරුම් ගත්තා. ඒ අයට ඕන කෙළෙ රනිල් සජිත් සමගි කරන්න. සමහරු ඔය මැතිවරණය අවලංගු කරන්න කියල ඉල්ලුවෙත් ඒ සඳහා ඉඩක් ලබා ගන්න. ඒත් නීතිය ඔවුන්ට හරස් වෙලා. මංගලට දැන් කරන්න පුළුවන් එක ම වැඩේ ඔහු කරලා. මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වෙලා. 

සිංහල ජාතිකත්වයෙ ශක්තිය හමුවෙ තමයි එ ජා ප වගේම දෙමළ ජාතික සංධානය කැඩෙන්නෙත්. ඒ දෙක ම සිංහල විරෝධී පක්‍ෂ. සුමන්තිරන් ඇතුළු පිරිසකට තේරෙනවා බෙදුම්වාදී දේශපාලනය නන්දිකඩාල් කලපුවෙ ගිල්ලවල මරාදාලා කියලා. විග්නේෂ්වරන්ට ඒ බව තේරෙන්නෙ නැහැ. 

සුමන්තිරන්ලා මහින්දට කිට්ටු කරන්න බලනවා. ඒත් අප ඔවුන් ගැන සතපහක විශ්වාසයක් තියන්න ඕන නැහැ. අප කළ යුත්තෙ ඔවුන්ටත් මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වෙන්න සැලැස්සීමයි. ඒ සඳහා සිංහල ජාතිකත්වය තව තවත් ශක්තිමත් කිරීමයි. අප සෘජුව සිංහල නොවන ජනතාව සමග දේශපාලනය කරන්න ඕන.