History

Tuesday, 9 June 2020

බාලගිරි දෝෂය වැළඳුණු මැතිවරණ කොමිසම හා ඇරිස්ටෝටල්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9





බාලගිරි දෝෂය වැළඳුණු මැතිවරණ කොමිසම හා ඇරිස්ටෝටල් 




මැතිවරණ කොමිසමට බාලගිරි දෝෂය හැදිලා. අද නෙවෙයි හෙට. ඒත් මේ හෙට කවද වෙනකම් කල් දාන්න පුළුවන් ද? ඔය හැම එකට ම සීමාවක් තියෙනවා. පරණ පාර්ලිමේන්තුව 2020 සැප්තැම්බරයෙන් පස්සෙ සක්කරයටවත් කැඳවන්න බැහැ. ඒකෙ අවුරුදු පහ පිරෙනවා. එතකොට මැතිවරණ කොමිසම. ඒකත් සදාකාලික නැහැ. සදාකාලික නොවූ ලෝකයක (සම්මුති) සදාකාලික මැතිවරණ කොමිසමුත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 103 වැනි වගන්තිය යටතෙ කොමිසමේ සාමාජිකයන්ගෙ කාලය අවුරුදු පහකට සීමා කරලා. ඒවා දහනවවැනි සංශෝධනයෙ වැඩ. අපට කරන්න දෙයක් නැහැ.


"103 (6) කොමිෂන් සභාවේ සාමාජිකයකු මේ ව්‍යවස්ථාවේ (3) වැනි ඡෙදය යටතේ යම් නුසුදුසු වීමකට පාත‍්‍ර වුවහොත් හෝ ජනාධිපතිවරයා අමතා යවන ලියවිල්ලක් මගින් ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ මේ ව්‍යවස්ථාවේ (4) වැනි ඡෙදය යටතේ ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් හෝ චරිත දූෂණ වරදක් සම්බන්ධයෙන් අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබුවහොත් හෝ ඔහු ප‍්‍රජා අශක්නුතාවන්ට යටත් කළ යුතු බවට යෝජනා සම්මතයක් 81 වැනි ව්‍යවස්ථාව යටතේ සම්මත කර ඇත්නම් හෝ මේ ව්‍යවස්ථාවේ (5) වැනි ඡෙදය යටතේ ධුරය හැර ගියාක් සේ සලකනු ලබන්නේ නම් හෝ මිස, ඔහු ධුරයට පත් කරනු ලැබූ දින සිට අවුරුදු පහක කාලයක් ධුරය දැරිය යුත්තේ ය."

දැන් ඉතින් බලන්න ඕන ඔය සාමාජික මහත්වරුන් පත් කෙරුණෙ කවද ද කියලා. මගේ තොරතුරු (මා හොඳ තොරතුරු සපයන්නෙක් නොවෙයි) 2015 නොවැම්බරයෙ තමයි ඔය මහත්වරුන් පත් කෙරිල තියෙන්න. එතකොට තව මාස පහක් විතර ගියා ම ඔක්කොම සෙල්ලම් ඉවරයි. යන යකා කොරහ බිඳින්නෙ නැතිව යන්න කියල තමයි බාරයක් වෙන්න තියෙන්නෙ. පඬි නැට්ටන් නම් ඔය බාර හාරවලට විරුද්ධයි. පඬියන් දන්නෙ බැර හර. බාර හාර කියන්නෙත් එක විධියක බැර හර.

ඒත් ඕන නම් ජනාධිපතිවරයාට ඊට කලින් මැතිවරණයට මැදිහත් වෙන්න පුළුවන්. ඒ 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතෙ 113 වගන්තිය යටතෙ. ඒ වගන්තිය නැවතත් උපුටා දක්වන්නම්. එහි වැදගත්කම අර නඩු කී අයට වැටහිලා නැහැ. ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න බැහැ කියන එක මුසාවක්. 

"113. මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් නියම කිරීමෙන් හෝ මැතිවරණයක් සඳහා දිනයක් නියම කිරීමෙන් පසු යම් වේලාවක ඒ නියමය අනුව යම් මැතිවරණ කොට්ඨාසයක කවර හෝ හේතුවක් නිසා මැතිවරණයක් පවත්වා නොමැති බව ජනාධිපතිවරයා සෑහීමකට පත්වන පරිදි පෙන්වා දෙනු ලැබුවහොත්, ඒ කොට්ඨාසයෙහි මැතිවරණයක් පවත්වන ලෙස, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන දැන්වීමක් මගින් වෙනත් නියමයක් ජනාධිපතිවරයා විසින් කවර හෝ වේලාවක කරනු ලැබිය හැකි ය."
   
මේ කියන්නෙ අප්‍රේල් මැතිවරණ දින නියමය අනුව මැතිවරණ කොමිසම බාලගිරි දෝෂය නිසා හරි වෙනත් හේතුවක් නිසා හරි වැඩ කරල නැති බව පෙනී ගියහොත් ජනාධිපතිවරයාට වෙනත් දිනයක් නියම කරන්න පුළුවන් බවයි. මැතිවරණ කොමිසමට මැතිවරණ පනතෙ 24(3) යටතෙ දිගින් දිගට මැතිවරණ කල් දාන්න ඉඩක් නැහැ. ජේ ආර් ජයවර්ධන ඔය වගේ දේ අමතක කරන පුද්ගලයෙක් නො වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මැතිවරණ පනතත් ඔහුගෙ මූලිකත්වයෙන් සම්පාදනය කෙරුණෙ.
 
දැන් මේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් රාජ්‍ය සේවකයන්. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 103(9) පැහැදිලිව ම සඳහන් වෙනවා. මා එයත් උපුටා දක්වන්නම්. සමරුනට ඊනියා මූලාශ්‍ර ඕන නේ. 

"103 (9) දණ්ඩ නීති සංග‍්‍රහයේ IX වැනි පරිච්ඡෙදයේ අර්ථානුකූලව සහ ඒ කාර්යය සඳහා කොමිෂන් සභා වේ සියලූ ම සාමාජිකයන් රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුත්තේ ය.

අර හූල් කර ඇති කතාව රජයේ සේවකයකුට ඔබින දෙයක් ද? ඒ කතාව දේශප්‍රියත් අනුමත කරනවා ද? වනන්නෙ නැතිව හරියට කියන්න. හූල් කියල තියෙන එක වාර්තාවක් අනුව මෙහෙමයි. “මම සිංහල නොදනිමි. එබැවින් සිංහල භාෂාවෙන් ලියා ඇති සියලුම කුණු කියවීමට මට නොහැකිය. SLPPට සහාය දක්වන සමහර මුද්‍රිත / මාධ්‍ය මෙහි ප්‍රමුඛ පෙළේ ය. ඔවුන් දිගින් දිගටම අමු බොරු ලියමින් සිටිති. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ය. ඔබ ඔවුන්ට ඡන්දය නොදිය යුතුය. ” 

අපි කතා කරන විට තබා ලියන විටවත් ගණිතමය න්‍යායෙ (Mathematical Logic) වගේ ඇරිස්ටෝටල්ට අනුව කියන්නෙ කරන්නෙ නැහැ. හූලුත් එහෙමයි. අප ඇරිස්ටෝටල්ගෙ ද්විකෝටික න්‍යාය අනුව කතා කළත්  නොකළත් අපට කියන්න පුළුවන් මේ කියන්නෙ මොකක් ද කියලා. එහෙම නැත්නම් එදිනෙදා ජීවිතයෙ මොකුත් කර ගන්න බැහැ. 

කොහොමත් ඇරිස්ටෝටල් න්‍යාය කියන්නෙ මිනිසුන්ගෙ වියුක්ත සංස්කරණයක් (නිර්මාණයක්). ඒක ඊනියා ද්‍රව්‍යවාදී නොවන යථාර්ථයක පදනම හැටියට උස්සන්න හදන බදියු (බද්‍යුද්දීන්ට ආදරේට කියන හුරතල් නමක් නො වෙයි. ප්‍රංසෙ ඉන්න මහා දාර්ශනිකයෙක් කියනවා) ඇරිස්ටෝටල් න්‍යාය බැරැරුම් ව ගත්තට ඊට බොහෝ කාලෙකට ඉස්සර මිහිඳු හිමියන් හා දේවානම්පිය තිස්ස රජු ඒකෙ වැරදි දැක්ක. අවුරුදු තිස්දෙකක් පමණ මේ වැරදි ගැන මා කිවුවත් අපේ හාමුදුරුවරුන්ට එකෙ ගාණක්වත් නැහැ. පඬියන් පෙරදිග දැනුමත් හාමුදුරුවරුන් යම් මට්ටමකට හරි බටහිර ගණිතය හා බටහිර විද්‍යාවත් හදාරනව නම් හොඳයි.   

දැන් හූල් කියන්නෙ මොකක් ද? ජනමාධ්‍යට ඡන්දය දෙන්න එපා කියල ද? ජනමාධ්‍ය නොවෙයි ජනමාධ්‍යවේදීන් කී දෙනකු මැතිවරණයට ඉදිරිපත් වෙලා ද? සිංහලෙන් ලියන කුණු ගැන කියන කුණු කතාව පැත්තකින් තිබ්බත් හූල් කියන්නෙ  පොදුජන පෙරමුණට සහාය දක්වන සමහර මුද්‍රිත/ (මෙහි අඩුවක් තියෙන බව පැහැදිලියි. විද්‍යුත් නැති වෙලා)  මාධ්‍ය දිගට ම බොරු ලියන බව. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ බව. ඔබ ඔවුන්ට ඡන්දය නොදිය යුතු බව. 

හූල්ට පියවර (steps)  කිහිපයක් මග හැරිලා. මේ කියන්නෙ ජනමාධ්‍යයට ඡන්දෙ දෙන්න එපා කියල නොවෙයි. එහෙනම් කාට ද? ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ බොරු කියන මාධ්‍ය සහාය දක්වන්නෙ පෙදු පෙරමුණට. ඔබ ඒ බොරුවලට නොරැවටිය යුතුයි. බොරුවලට රැවටිලා පොදුජන පෙරමුණට ඡන්දය නොදිය යුතු ය. බිමල් රත්නායකට ඕන නම් තවත් පියවරක් දෙකක් එකතු කරන්න පුළුවන්. හූල් අවුරුදු කිහියක් ගත කර ඉංජිනේරුවෙක් වූවෙක්. බිමල් අවුරුද්දෙන් ඉංජිනේරුවෙක් නොවූවෙක්! හුල් කියන දේ දේශප්‍රියට විශ්වාස කියනවා නොවැ. ඒත් ඒක පැහැදිලි නැහැ. තව පොඩ්ඩක් පැහැදිලි කෙරුව නම්. තව පොඩ්ඩක්  හිනා වෙන්න නොවෙයි.

දහනවවැනි ව්‍යවස්ථාවෙ කදිම කතා තියෙනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තුන්දෙනයි. ගණපූරණයත් තුනයි. ඒ කියන්නෙ හැම රැස්වීමකට ම සාමාජිකයන් හැමෝම එන්න ඕන.  බැරි වෙලාවත් සභාපති නාවෙත්. ඕන්න අහගන්න වෙන දේ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 104 වගන්තියෙ සඳහන්.

104. (1) කොමිෂන් සභාවේ යම් රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත විය යුත්තේ ය.
(2) (අ) කොමිෂන් සභාවේ සභාපතිවරයා කොමිෂන් සභාවේ රැස්වීම්වල මුලසුන දැරිය යුත්තේ ය. සභාපතිවරයා කොමිෂන් සභාවේ යම් රැස්වීමකට පැමිණ නොසිටියහොත් පැමිණ සිටින සාමාජිකයන් විසින් ඔවුන් අතුරෙන් තෝරා පත් කර ගන්නා සාමාජිකයකු විසින් ඒ රැස්වීමේ මුලසුන දැරිය යුත්තේ ය.

මා අහන්න යන්නෙ නැහැ එතකොට ගණපූරණය තියෙනවා ද නැද්ද කියල. දේශප්‍රිය මහත්තය කියනවා ද එහෙම අවස්ථා තිබුණා කියලා. නැත්නම් ඇරිස්ටෝටල්ටවත් බදියුටවත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මට නම් කොහොමටත් ප්‍රශ්නයක් නැහැ. ද්විකෝටිකය ගැන මට වැටහීමක් තියෙනවා.