History

Sunday, 14 June 2020

වත්මන් නැගෙනහිර ජනගහන සංයුතිය හා ව්‍යුහය

         
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9


වත්මන් නැගෙනහිර ජනගහන සංයුතිය හා ව්‍යුහය

මෙරට බෙදුම්වාදයේ ඉතිහාසය කොාල්බෘක් කැමරන් කොමිසමේ සිංහල විරෝධී යෝජනා දක්වා දිව යන බවයි මා දත් කතාව වුණෙ. මෙරට පාසල්වල හා  විශ්වවිද්‍යාලවල තවමත් ඉගැන්වෙන්නේ කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ කියා. ඒ සිංහල විරෝධී යෝජනා ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වනු ලැබුයේ ඉංගිරිසින් විසින්. ඉංගිරිසින් මෙරට පාසල් පද්ධතිය සකස්කර ඇත්තේ ම ඔවුන් අනුකරණය කරන පිරිසක් ඇති කිරීමට බව ඉතා පැහැදිලියි. පාසල් හා එයට වඩා විශ්වවිද්‍යාල බලා සිටින්නේ බටහිරින් දැනුමක් ලැබෙන තුරු. 


අප තවමත් උගන්වන්නේ බටහිර පුස් කෑ අදහස්. ඒවාට දැනුම කිවුවත් මොකක් කිවුවත් ඒ සංස්කරණය කර තිබෙන්නේ බටහිරට ඕන ආකාරයට. අපට කියනවා ඊනියා විචාරාත්මක දැනුමක් තියෙනවා කියා. ඒ විචාරය පදනම් වන්නේ කුමක් මත ද? ඒ පදනම් දැනුම අප පිළිගත යුත්තේ ඇයි? අනුභූතිය හරි තර්කය හරි අප පිළිගත යුත්තේ ඇයි? අනුභූතිය හරි ය කියා අප කියන්නේ කෙසේ ද? අපට සම්මුතියෙන් පිළිගත් දැනුම් තියෙනවා. මෙය තද ය මෙය මොළොක්ය ආදී වශයෙන්. ඒ සියල්ල ඉන්ද්‍රියට සාපේක්‍ෂයි. 

අපට වෙනත් ඉන්ද්‍රිය පද්ධතියක් තිබුණ නම් තද මොළොක් සිනිඳු ගඳ සුවඳ ආදියට කුමක් වන්නට තිබුණා ද? අපට අපේ ඉන්ද්‍රිය ගැන තියෙන්නේ විශ්වාසයක්. තර්කයත් එහෙමයි. එහි අනුමාන නීති පූර්වායව ආදිය තියෙනවා. ඒවා තර්කයෙන් හරි ය කියා පෙන්නන්න පුළුවන් ද? තර්කය ගැනත් අපට ඇත්තේ විශ්වාසයක්. එයත් ඇරිස්ටෝටල්ගේ දිවිකෝටික න්‍යාය මත පදනම් වෙන්න ඕන කියා අප විශ්වාස කරනවා. වෙනත් න්‍යායක් හොඳ නැද්ද? තර්කය හා න්‍යාය අතර වෙනසවත් පාසලේ තබා විශ්වවිද්‍යාලෙවත් කියා දෙනවා ද? අර තර්කය බටහිර දැනුමක් ය බුදුහාමුදුරුවන්ගෙ කාලෙ නොතිබූ දෙයක් ය කී විශ්වවිද්‍යාල ඇදුරා කාළාම සූත්‍රය කියවා නොතිබීම ගැන අපට කරන්න දෙයක් නැහැ.  

මේ දැනුම, ඊනියා විචාරාත්මක දැනුමත් අද නම් බටහිරයන් අපට දී ඇති විශ්වාසය මත පදනම් වූ දැනුමක් පමණයි. අවුරුදු දහතුනක් පාසල් අධ්‍යාපනයක් ලබා සමහර විට විශ්වවිද්‍යාලයේ ද අධ්‍යාපනයක් ලැබූ අයකුට මේ විශ්වාසයෙන් කැඩෙන්න ඉතා අමාරුයි. කෝල්බෘක් කැමරන් සිංහල විරෝධී යෝජනාවලට ප්‍රතිසංස්කරණ කියා කීමට ඉගැන්වූයේ බටහිරයන්. අපත් එය ගිරා පෝතකයන් මෙන් උච්චාරණය කරනවා. 

මගේ කතාව අනුව මෙරට ඉංගිරිසින් දෙමළ ජාතිවාදය පෝෂණය කෙළේ ඒ සිංහල විරෝධී යෝජනා සමග. එහෙත් රාජ්‍ය ලේඛනාගාරයේ ඇති තොරතුරු අනුව පියසිරි අමරකෝන් අලුත් කතාවක් කියනවා. ඔහු කියන්නේ ඉංගිරිසින් දෙමළ ජාතිවාදය පෝෂණය කිරීම 1802 පමණ දක්වා දිව යන බවයි. 1802 ආසන්නයේ ගාල්ලේ පැවති මිෂනාරිවරුන්ගේ රැස්වීමක දී ඔවුන් රට බෙදිය යුතු ය යන අදහසට පැමිණ තියෙනවා. යමකුට මූලාශ්‍ර අවශ්‍ය නම් පියසිරි අමරකෝන් හමුවන්න. 

ගාල්ල මිෂනාරීන්ගේ මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා. එයට හේතුව කුමක් දැයි කියන්න බැහැ. සමහර විට බටහිරින් පැමිණෙන්නන්ට එකල ප්‍රධාන වරාය ගාල්ල වූවා ද දන්නේ නැහැ. මිෂනාරීන් මෙරට පමණක් නොව දකුණු ආසියාවේ ම පිහිටුවූ පැරණි ම පාසල මෙතෝදිස්ත පල්ලියේ රිච්මන්ඩ් විද්‍යාලය බවට මතයක් තියෙනවා. රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයන් ඒ බව දන්නවා ඇති. අධ්‍යාපනය පිළිබඳ මුල දී උනන්දුවක් දැක්වූයේ වෙස්ලි පූජකතුමා අනුගමනය කළ මෙතෝදිස්ත පූජකවරු. කන්නන්ගර මහතා මෙන් ම අද බෞද්ධ යැයි කියන පාසල්වල දියුණුවට වැඩ කළ බවට සම්මත කිහිප දෙනකු ම වෙස්ලියන් පාසල්වල ඉගෙන ගත්ත අය. එය ප්‍රශ්නයක් නොවෙයි. ධර්මපාලතුමා රාජකීය ශාන්ත තෝමස් හා මට මතක හැටියට කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත් ඉගෙනීම ලබා තිබෙනවා.  

කෙසේ වෙතත් පියසිරි අමරකෝන්ගේ කතාව ඉතා වැදගත්. ඉංගිරිසින් මෙරට බෙදුම්වාදය පටන් ගෙන ඇත්තේ 1829ටත් පෙර 1802 දී පමණ. මේ නෝත් මෙරට මුහුදුබඩ පළාත්වල  ආණ්ඩුකාරයා වූ අවධිය. ඉංගිරිසින් 1798 පමණ සිට මෙරට ආණ්ඩු කළත් එය මුල දී  මදුරාසි ප්‍රාන්තයෙන් පාලනය වූයේ. අප අනූනමෙන් ගැල වී ඇත්තේ. බැරි වෙලාවත් දිගට ම මදුරාසියෙන් පාලනය වී නම්? 

වෙල්ලාලයන් මෙරටට ආනයනය කරනු ලැබුයේ ලන්දේසීන් විසින් නමුත් එයට පෙරත් වෙල්ලාලයන් ටික දෙනකු මෙරටට පැමිණ තිබෙනවා. දකුණු අප්‍රිකාවටත් වෙල්ලාලයන් ගෙන යනු ලැබුයේ ලන්දේසීන් විසින්. අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරියක ලෙස කටයුතු කළ නවී පිල්ලෙයි පසුගිය දා දකුණු අප්‍රිකාවේ උත්සවයකට කොටි සාරියකින් සැරසිලා ගිහින්. ඇයත් වෙල්ලාල ද? හිතනවා ද ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කරන කාලයේ ඊනියා මධ්‍යස්ථ මතධාරිනියක වුණා කියලා. 

මෙරට ජනගහන ව්‍යුහය වෙනස් කෙළේ සිංහල රජවරුන් සහ ඉංගිරිසින් විසින්. සෙනරත් රජු කතෝලික පෘතුගීසීන්ගෙන් බැට කෑ මුස්ලිමුන් ගිහින් රුහුණු රට නැගෙනහිර වෙරළේ පදිංචි කළා. පසු කලෙක සිංහල රජුන් රෙපරමාදු ලන්දේසින්ගෙන් බැට කෑ කතෝලිකයන් වහකෝට්ටේ වැනි පළාත්වල පදිංචි කළා. මෙරට කතෝලික ජනගහන වැඩි වී තිබෙන්නේ පෘතුගීසි කාලයට වඩා රෙපරමාදු ලන්දේසි කාලයෙ දී. ඒ සඳහා ජුසේ වාස් පියතුමාට සිංහල බෞද්ධ රජවරුන්ගෙන් අනුග්‍රහය ලැබී තියෙනවා. මෙරට ජනගහන ව්‍යුහය මෙන් ම සංයුතිය ද වෙනස් කෙරී තියෙනවා. 

වත්මන් නැගෙනහිර පළාතේ ජනගහන ව්‍යුහය හා සංයුතිය සම්පූර්ණයෙන් ම වෙනස් කෙරුණු එකක්. ඉංගිරිසින් ඌව වෙල්ලස්ස සිංහලයන් සමූලඝාතනය කිරීමට පෙර එය මුස්ලිමුන් ද අතරින් පතර පදිංචි කෙරී තිබුණු  සිංහල බෞද්ධ ප්‍රදේශයක්. ඉංගිරිසින්ට විරුද්ධ ව  ඌව වෙල්ලස්සේ දී  සටන් කෙළේ සිිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධයන්ට තිබුණෙ වත්මන් ඇතැම් භික්‍ෂූන් වහන්සේ අනුව යමින් මෛත්‍රී කරන්න. බුදුදහම පාවාදීම ලියු දෙමළ ක්‍රිස්තියානි ස්ටැන්ලි තම්බයියට නොතේරුණාට සිංහල බෞද්ධයන් දැන ගන්න ඕන බුදුදහම කියන්නෙ එකක් බුදුසසුන කියන්නෙ තවත් එකක් කියලා. 

ඉංගිරිසින් දහනවවැනි සියවසේ මැද මෙරට වැඩට ගෙනා දෙමළ කම්කරුවන්, සිංහලයන් සමූලඝාතනය කෙරී තිබුණ් නැගෙනහිර පළාතෙ මුස්ලිමුන් නැති ප්‍රදේශවල පදිංචි කෙරුවා. නැගෙනහිර පළාතෙ ජනගහනය පිට්ටු බම්බු ආකෘතිය ගත් බවක් කියනවා. පොල්, පිටි, පොල්, පිටි මෙන් මුස්ලිම්, දෙමළ, මුස්ලිම්, දෙමළ ලෙස.   

වත්මන් නැගෙනහිර පළාතෙ පැරණි හින්දු සිද්ධස්ථාන ඇත්නම් ඒවත් රැක බලාගැනීමට පියවර ගැනීම මා හිතන්නෙ අර ළඟදි පත් කරපු  විශේෂ කාර්ය කමිටුවට පැවරෙනවා. ඒ සිද්ධස්ථාන හැදුවෙ සොළී ආක්‍රමණිකයන් ද යන ප්‍රශ්නය අප මතු කරන්නෙ නැහැ. එමෙන් ම සොළි ආක්‍රමණිකයන් මෙරටින් පළවා හැරීමෙන් පසු එහි අඛණ්ඩ දෙමළ හින්දු සංස්කෘතියක් පැවතුණා ද කියා අප ඈන් නිර්මලා චන්ද්‍රහසන් (ඇය චෙල්වනායගම්ගෙ ලේලි, ඊ එම් වී නාගනාදන්ගෙ දුව, පවුල් දෙකම දෙමළ ඇංග්ලිකන් ක්‍රිස්තියානි)  ඇතුළු දෙමළ වෙල්ලාල ජාතිවාදීන්ගෙන් අහන්නෙත් නැහැ. ඇයට අනුව බුද්ධඝොෂ හාමුදුරුවොත් දෙමළ. 

බුද්ධඝෝෂ හාමුදුරුවෙ තෙළිඟු මිසක් දෙමළ නො වෙයි. දෙමළ ජාතිවාදීන් කියන්නෙ ඔය වගේ කතා. බැරි ම නම් තමිල්නාඩුවෙ දෙමළ බෞද්ධයන් ගැන, ශිලාපදිකාරම් ගැන කියවනවා. ඒවයින් අපට ඇති වැඩක් නැහැ. අප අහන්නෙ මෙරට තිබූ ස්ථිර අඛණ්ඩ දෙමළ හින්දු සංස්කෘතියක් ගැන. මෙරට ලියූ දෙමළ බෞද්ධ පොත් ගැන. මෙරට දෙමළ හාමුදුරුවරු ගැන. අර දෙමළ බෞද්ධයා ගැන ලියපු සුනිල් ආරියරත්නගෙනුත් ඔය ප්‍රශ්න ඇහුවට ඔහු අප කෙරෙහි කරුණාවෙන් සරුංගල් ඇරියා. 

ඈන් නිර්මලා මොනව කිවුවත් පැරණි හින්දු සිද්ධස්ථාන නැගෙනහිර පළාතෙ තියෙනව නම්, ඒවා සොළි ආක්‍රමණිකයන් ගොඩ නැගුවෙ රජරට මෙන් බෞද්ධ සිද්ධස්ථාන නැති කරල වුණත්, අප ඒවා රැක ගන්න ඕන. එහෙත් අප මතක තබා ගත යුත්තක් තියෙනවා. වත්මන් නැගෙනහිර පළතෙ ජනගහන සංයුතිය හා ව්‍යුහය සම්පූර්ණයෙන් ම වෙනස් කෙරුණු එකක්. මෙය පසුව තවදුරටත් කතා කරන්න ඕන දෙයක්.