History

Monday, 15 June 2020

නීතිය අනීතිය හා සීසර්ලා

         
                                                   සිංහල ලිත් ඉලක්කම්



0  1   2    3    4  5  6  7  8  9





නීතිය අනීතිය හා සීසර්ලා 

සීසර්ලාගේ වැඩ ගැන ලියන්න නෙවෙයි මට ඕන. සීසර්ලා කරල තියෙන වැඩ හොඳයි කියල කාටවත් කියන්න බැහැ. ඒත් මේ සීසර් කියන වචනය තැනීම හොඳ වැඩක්. මට හිතනෙ විධියට සීසර් කියන්නෙ සීස් කරන තැනැත්තා. මා වැරදි වෙන්න පුළුවන්. සීස් කියන්න මෙහි දී යෙදෙන්නෙ කල්බදු ක්‍රමයට ණයට ගන්නා වාහන සම්බන්ධයෙන්. බොහෝ දෙනා වාහන ගන්නෙ යම් ආයතනයකින් වාහනය ණය ආපසු ගෙවීම් ක්‍රමයක් යටතෙ. ණය වාරික ගෙවන්න බැරි වුණා ම ඒ අදාළ ආයතනයෙ සීසරලා ඇවිත් වාහනය උස්සා ගෙන යනවා. නැත්නම් සීස් කරනවා. සීස් කරන්නා සීසර්. ෆීල්ඩ් කරන්නා ෆීල්ඩර්. බැට් කරන්නා බැටර්. ඉස්සර තමයි බැට්ස්මන්. සාමාන්‍ය මිනිසුන්ගෙ නිර්මාණශීලීත්වය අනුව සීස් කරන්නා සීසර්. 


මා දන්නේ නැහැ ජුලියස්ලා ඔගස්ටස්ලා මේකට මොනව කියාවි ද කියලා. රුසියාවෙ යොදා ගත්ත සාර් කියන එකත් සීසර්ගෙන් බිඳිච්ච වචනයක් කියල මා අහලා තියෙනවා. සාර්ලා මොනව කියයි ද ලංකාවෙ සීසර්ලා ගැන. අපරාදෙ ලෙනින් හිටිය නම් ඊටත් වඩා ට්‍රොට්ස්කි හිටිය නම් අන්ඊවන් සීසර්ලා ගැන පොතක් ලියන්නත් තිබුණා. ඔක්කොට ම වඩා සීසර්ලා දෙන්නෙකුට ම බිරිඳ වුණු ක්ලියොපැට්රා ලංකාවෙ සීසර්ලා ගැන මොනවා කියාවි ද? මට මතක් වෙන්නෙ අර කේයස්ගෙ කවියක කියන දෙන්නාට ම බිරිඳ වෙන්නම් කියූ කතාව. මට ඒ කවිය නම් පාඩම් නැහැ. මගේ මතකය අතිශයින් දුර්වලයි.

අපේ රටේ ප්‍රශ්නය තියෙන්නෙ නීතියක් නැති කම නො වෙයි. නීතියයි අනීතියයි දෙක ම එකට පැවතීම. නැහැ මා ඇරිස්ටෝටල්ට හිනහ වෙනවා නො වෙයි. ඒ මනුස්සයා හිටියෙ සීසර්ලගෙ රටේ නො වෙයි ග්‍රීසියෙ. ඔය රටවල් දෙක නෙ බටහිර සංස්කෘතියෙ උල්පත. අපේ රටේ හුඟක් වැඩ සිද්ධ වෙන්නෙ චතුස්කෝටික න්‍යාය අනුව. අපට බටහිර ගණිතය බටහිර ෙසෙද්ධාන්තික නැත්නම් ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව වගේ විෂය බැරි වෙන්න ප්‍රධාන ම හේතුව අපි ඇරිස්ටෝටල්ගෙ මිනිසුන් නොවීම.  ඇරිස්ටෝටල්ගෙ මිනිසුන් කියන අයත් අන්තිමේ දී බැලුවම ඇරිස්ටෝටල්ගෙ නෙවෙයි. ඇරිස්ටෝටල් පවු අප්පා.

ඔය ලීසිං ආයතන කියන ඒවා මහා බැංකුවෙ ලියා පදිංචි වෙන්න ඕන. ඒ ලියා පදිංචි ආයතන නීතියට එකඟයි. එතකොට ලියා පදිංචි නැති ලීසිං ආයතන ඒවා අනීතියට එකඟයි. මහා බැංකුව චක්‍රලේඛ ගැසට් පිට කරනවා වගේ පිට කරනවා. අනීිතියට එකඟ ආයතන ඒ චක්‍රලේඛ සතපහකට ගණන් ගන්නෙ නැහැ. 

මිනිසුන් වැඩිය යන්නෙ නීිතියට එකඟ ආයතනවලට ද? අනීතියට එකඟ ආයතනවලට ද? මා ඊනියා විද්වත් සමීක්‍ෂණයක් නම් කරල නැහැ. ඒවා විශ්වවිද්‍යාලවලට පර්යේෂණ ආයතනවලට අයිති වැඩ. ඔවුන්ගෙ සංස්කරණ (නිර්මාණ) තියෙන්නෙ සමීක්‍ෂණවල. ඔවුන්ට සීසර් නිර්මාණ කරන්න බැහැ. අනීතියට එකඟ ආයතනවලට මහා බැංකුවක් නැද් ද? දැන් මගෙන් අහන්න එපා මහා බැංකුව කොල්ල කෑවෙ නීතියට එකඟ ව ද නැත්නම් අනීතියට එකඟව ද කියලා. මට හිතෙන්නෙ නීතියටයි අනීිතියටයි දෙකට ම එකඟ වෙලා කියලා. ඒ ගැන වරද කරුවන් ඉන්න පුළුවන් ඉඩකඩ හුඟක් අඩුයි. දැන් අර්ජුන්ටත් නම් දෙකක් නොවැ. 

මේ රටේ නීතියට එකඟ ආයතනත් අනීිතියට එකඟ ආයතනත් තියෙන්නෙ ලීසිං පැත්තෙ විතරක් නො වෙයි. ඔය විදේශවල සේවයට යන අයට නීිතියට එකඟ ව ලියා පදිංචි වූ ආයතනයක් මගින් යන්නත් පුළුවන්. අනීතියට එකඟ ව එහෙම නැති ආයතනයක් මගින් යන්නත් පුළුවන්. එහෙම ගිහිල්ල වැඩ වැරදුණා ම ප්‍රශ්න මතු කරනවා. 

අපේ රටේ මහා බැංකුව අනුමත කළ බැංකු තියෙනවා. වෙනත් මූල්‍ය සමාගමුත් තියෙනවා. ක්‍ෂුද්‍ර ණය අරගෙන ප්‍රශ්න ඇති වන අය බර ගණනක් ලංකාවෙ ඉන්නවා. මිනිසුන්ට හදිස්සියකට ණයක් ගන්න, අපේ වැඩිහිටියන් කී විධියට අතමාරුවක් කර ගන්න ලෙහෙසි නීීතියෙන් ද අනීතියෙන් ද? ඒ දවස්වල සීට්ටු දානව කියල ක්‍රමයක් තිබුණ. දැනුත් ඇති. බැංකුවලට සීට්ටු දාන්න පුළුවන් ද? 

නීතියෙ කොන්දේසි ටිකක් තදයි. අනීතියෙ කොන්දේසි නැති තරම්. සමහර විට අනීතියෙ තියෙන එක ම කොන්දේසිය සීසර් කොන්දේසිය වෙන්න පුළුවන්. අපේ අය වැඩ කරන්නෙ ඕක කොහොම හරි ගෙවා ගන්න බැරි යැයි කියන මානසිකත්වයෙන්. විදේශවලට යන්නෙ අපි හොඳ නම් මුකුත් වෙන්නෙ නැහැ කියල. මා නම් හොඳ මිනිහෙක් නො වෙයි. ඒ වුණත් මා දන්නවා තමන් හොඳ වුණු නිසා ම මොකුත් නොවී තියෙන්න ම ඕන නැති බව. 

මේ ගැන ආණ්ඩුවට කරන්න පුළුවන් දේ මොකක් ද කියන එක තරමක ප්‍රශ්නයක්. මහා බැංකුව මහා වෙන්නෙ නමින් පමණයි. ඒකට චක්‍රලේඛ නිකුත් කරන්න පුළුවන්. චක්‍රලේඛ නියාමනය කරන්න පුළුවන් ද? අපේ රටේ බොහෝ මහාල ඔහොම තමයි. බොහෝ මහාලට කිසිම නිර්මාණශීලීත්වයක් නැහැ. හැමදා ම කරපු විධියට වැඩ ටික කරගෙන යනවා. පහුගිය කාලෙ විවිධ නිර්මාණ ගැන අපට අහන්න ලැබුණා. ඒ අය හුඟ දෙනෙක් මහාල නො වෙයි. සමහර විට අවුරුදු දහහතරෙ පහළොවෙ පොඩි ළමයි. සීසර් නිර්මාණය මහාලගෙ වැඩක් නො වෙයි. මේ නිර්මාණය ගැන මා දක්වා තිබෙන අදහස වැරදි වෙන්න පුළුවන්. ඒත් ලංකාවෙ බොහෝ විට නිර්මාණ එන්නෙ මහාලගෙන් නොවෙයි. 

අනීතියට වෙනත් කොන්දේසි අවශ්‍ය නැත්තෙ සීසර් කොන්දේසිය බලවත් නිසා වෙන්න පුළුවන්. නීතිය නවන එකට බොහෝ දෙනා විරුද්ධයි. නීති නවන අයත් විරුද්ධයි. නීති නවන්නෙ නැති කී දෙනෙක් ලංකාවෙ ඉන්නවා ද කියන එක මා දන්නෙ නැහැ. ඒකත් අර විද්වත් සමීක්‍ෂණයකින් ම තමයි දැන ගන්න වෙන්නෙ. තමන්ට රැකියාවකට සුදුසුකම් නැති වුණා ම නීති නැමීමට විරුද්ධ සමහර අයත් නීති නවනවා නෙවෙයි නීති කඩනවා. අර හුණුවටයෙ තියෙන්නෙ නීිති කැඩුවෝ ඒ රැකීමට කියල. එහෙම වෙන්නත් බැරි නැහැ. ඒත් ඇරිස්ටෝටල් ඒ වගේ කතාවලට කැමති වෙයි ද? ක්ලියොපැට්රා මොනව කියයි ද?