History

Thursday, 4 June 2020

රුහුණු රටේ සිංහල බෞද්ධ උරුමය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





රුහුණු රටේ සිංහල බෞද්ධ උරුමය 




හෙට පොසොන්. බටහිර කුලකවාදය ඇතිවීමටත් පෙර කුලකවාදය අසංගත බව සිංහලයන් පෙන්වූයේ හෙට වැනි දිනයක. ගණිතයෙහි කුලකවාදය මහාමසිරියක්, මනසින් තොර ඊනියා යථාර්ථයක් කියා කියන බටහිර දාර්ශනිකයන් මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස රජුගෙන් ඇසූ ප්‍රශ්න පැත්තකින් තබා ගණිතයෙහි ප්‍රවර්ගවාදයවත් හදාරන්නේ නම් හොඳයි. බටහිර දාර්ශනිකයන්ට මිහිඳු හිමියන් ඇසූ ප්‍රශ්න ගැන නම් තේරුමක් නැතිව ඇති. ඒත් අපේ රටේ පඬියන් පඬිපෝතකයන් හා පඬි නැට්ටන්ට මිහිඳු හිමියන් වැඩම කෙළේ ද යන්නත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සියළු පඬි නැට්ටෝ සුවපත් වෙත්ව!


අද මියන්මාරයේ ලංකා තානාපති කාර්යාලය බෞද්ධ කොඩිවලින් සරසලා. අප තානාපති කාර්යාලය හා තානාපති නිල නිවස තිබෙන්නේ මියන්මාරයේ තානාපති කාර්යාල පිහිටා තිබෙන ප්‍රදේශයක. පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට, විවිධ වාමාංශිකයන්ට, අනුකාරකයන්ට, ඇංකරයන්ට සහ වෙනත් අයට බෞද්ධ කොඩිවලින් සැරසීම පිළිබඳ විරෝධයක් තියෙනවා නම් වහාම දන්වන්න. නැහැ, විරුද්ධ වුණා කියල එක කොඩියක්වත් ගලවන්නේ නැහැ. සිංහල බෞද්ධ විරෝධීන් කවුරුන්දැයි තව තවත් ජනතාවට හඳුනාගැනීමට සැලැස්වීමට.  

මා සිතන් හිටියේ අද සුමන්තිරන්ගේ තර්කය විග්‍රහ කරන්න. එහෙත් සිංහල බෞද්ධ විරෝධී වෙබ් කඩමාල්ලක ප්‍රවෘත්තියක් දැකල අදහස වෙනස් කර ගත්තා. නැගනහිර පළාතේ පුරාවිද්‍යාත්මක භූමි කළමනාකරණය සඳහා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් කාර්ය සාධක බලකායක් පත් කරලා. දෙරණ සභාපති දිලිත් ජයවීරත් ඒකෙ සාමාජිකයෙක්ලු. මට එක සැරේට හිතුනෙ අම්මප කොච්චර හොඳ වැඩක් ද කියලා. මට පොඩි විවේචනයක් තියෙන්නෙ පුරාවිද්‍යා භූමි නම දැම්මට.  එය පැරණි සිද්ධස්ථාන කියා වෙනස් වුණා නම් හොඳය කියා හිතුණා. 

ලංකාවෙ පුරාවිද්‍යා භූමි නැහැ. මේ චෛත්‍ය හැම එකක් ම ජීවමාන සිංහල බෞද්ධ සංස්කෘතියක ලක්‍ෂණ. ඒවා පුරා වස්තු වෙන්නෙ කිනම් අර්ථයකින් ද? ඊජිප්තුවේ පිරමිඩ් පුරාවස්තු. මොහෙන්ජදාරෝ හරප්පාත් පුරාවස්තු. ඒ සංස්කෘතීන් හා ඒ ප්‍රදේවල වත්මන් සංස්කෘතීන් අතර අඛණ්ඩ සම්බන්ධයක් නැහැ. එහෙත් ලංකාවේ සමහර විට ගිරිහඬු සෑය හැරෙන්න අනෙක් සෑම සිද්ධස්ථානයක් ම වත්මන් සිිංහල බෞද්ධ සංස්කෘතිය සමග අඛණ්ඩ ව සම්බන්ධයි. ගිරිහඬු සෑයත් එකල ඒ ප්‍රදේශයේ විසූ අයගේ සහායක් නැතිව ඉදි කෙරුණා කියන්න බැහැ. කවුරු හැදුවත් ගිරිහඬු සෑයත් ටික කලෙකින් ම සිංහල බෞද්ධ සංස්කෘතියේ අංගයක් බවට පත්වෙලා. 

නැගෙනහිර පළාත කියන්නෙ ලංකාවෙ ම කොටසක් බව ඇතැම් පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට අමතක වෙලා. ඔය පළාත ඉස්සර රුහුණු රටේ ම කොටසක්. ඊනියා නැගෙනහිර පළාත් අපට ලැබුණෙ ඉංගිරිසින් 1889 දී ලංකාව පළාත් නවයකට බෙදුවට පස්සෙ. ඔය ප්‍රදේශයෙ මුස්ලිමුන් පදිංචි කරවනු ලැබුවෙ සෙනරත් රජු විසින්. දෙමළ ජන කොට්ඨාසය පදිංචි කරනු ලැබුවෙ දහනවවැනි සියවසේ ඉංගිරිසින් විසින්. ඊට පෙර ඉංගිරිසින් 1817-18 සමයෙ ඒ පළාත්වල සිංහලයන් සමූලඝාතනය කළා. ඔය ප්‍රදේශයෙහි නැවත සිංහලයන් පදිංචි කරන්න ඕන. 

සිංහල රජවරුන්ට එහි මුස්ලිමුන් පදිංචි කරවන්නත් ඉංගිරිසින්ට දෙමළ ජන කොට්ඨාසයක් පදිංචි කරවීමටත් පුළුවන් නම් ඉංගිරිසින් සිංහලයන් සමූලඝාතනය කළ ඒ පෙදෙස්වල සිංහලයන් නැවත පදිංචි කරවීමට විරුද්ධතාවක් තියෙන්න බැහැ. ඔය සිද්ධස්ථාන රැක ගැනීමට සිංහල බෞද්ධයන් ඉන්න ම ඕන. ඒ සිද්ධස්ථාන සිංහලයන් විසින් කරන ලද බවට සාක්‍ෂි ඕන ද? පොඩ්ඩක් නිවාඩු තියෙන වෙලාවක හාමුදුරුවරුන්ගෙන් අහනවා ද? නරක ද පඬි නැට්ටන් පැරණි සිංහල පොත් කියෙව්ව නම්?

මට ප්‍රශ්නයක් තිබුණෙ තිරියාය ගිරිහඬු සෑය කරපු තපස්සු භල්ලුක මොන රටේ අය ද කියා. සිංහලයන් විසින් ආරම්භ නොකළ චෛත්‍යයක් තියෙනවා නම් ඒ ගිරිහඬු සෑය වෙන්න ඕන. මා කියන්නේ සුරංගනා කතා කියල එක වාක්‍යයකින් බැහැර කරන්න පඬි නැට්ටන්ට බැහැ.  තපස්සු භල්ලුක ගැන අපේ පැරණි පොතපතේ මෙන් ම ශිලාලේඛනවල ද සඳහන් වෙනවා. ඒ ගැන මා කලින් ලිපිවල කියා ඇති. අර වෙබ් කඩමාල්ල පළ කරන පඬි නැට්ටන්ටත් අනෙක් පඬි නැට්ටන්ටත් අවශ්‍ය රුහුණු රටේ සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය සිංහල බෞද්ධයනට නැති කරන්න.  
  
ඔය පඬි නැට්ටන් බොහොමයකට හීන මානයක් තියෙනවා. ඒ විවිධ හේතූන් නිසා මෙරට ඉහළ මධ්‍යම පංතිය ඔවුන් නොපිළිගැනීම. ඔවුන් ඒ හීනමානයෙන් ගොඩ ඒමට උත්සාහ කරන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වය විවේචනය කර පොරවල් වීමෙන්. ඒත් එහෙම කළත් ඉහළ මධ්‍යම පංතිය ඔවුන් පිළිගන්නේ නැහැ. ඉහළ මධ්‍යම පංතියත් අනුරාධපුරේ යනවා. ඔවුන් තිරියායටත් යවන්න ඕන. 

පැරණි සමසමාජ පාක්‍ෂිකයන්ට නම් කම්කරු පංති විප්ලවය ගැන බලාපොරොත්තුවක් අන්තිම සටනට සැරසීම ගැන නිශ්චිතභාවයක් තිබුණා. ඒත් ඔවුන්ගෙ පුත්තුන්ට එවැනි බලාපොරොත්තුවක් තියෙන්න බැහැ. බර්ලින්ව තාප්පය බිඳ වැටීමෙන්  පසු ෆුකුයාමා කී විධියට ඉතිහාසය අවසන් නොවුණත් මාක්ස්වාදී හිතළුව අවසන් වුණා. අද පඬි නැට්ටන් ධනවාදයට විරුද්ධව අන්තිම සටනට සැරසෙන්නෙ සකර්බර්ග් දීල තියෙන පිටුවල කුරුටු ගෑමෙන්. මා නම් මාක්ස්වාදයෙන් කැඩුණෙ බර්ලින් තාප්පය බිඳ වැටෙන්න අවුරුදු කිහිපයකට කලින්. 

තපස්සු භල්ලුක ගැන මා තව තවත් පසුව ලියනවා. ඔවුන් වෙළෙඳ සමාගමක ප්‍රධානීන් බව පැහැදිලියි. පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා කිව යුතු කරුණක් තියෙනවා. නාථ දෙවියන් ද ගිරිහඬු සෑයට සම්බන්ධ වෙනවා. වෙන ම  පළවෙන ලිපිය -  තපස්සු භල්ලුක තිරියාය හා තිරියාය සංස්කෘත සෙල්ලිපිය -(http://www1.kalaya.org/2020/06/blog-post_4.html) ඒ පිළිබඳ මූලාශ්‍ර සඳහන් එකක්. ගිරිහඬු සෑයේ සංස්කෘත සෙල්ලිපියේ පරිවර්තනය කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාදුරුඔය ධම්මිස්සර හිමියන්ගෙන්. 

මේ විස්තර කමල් ගුණරත්නට දිලිත් ජයවීරට හා බලකායට පමණක් නොව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ටත් වැදගත් කියා හිතනවා. මා මියන්මාරයට පැමීණීමට පෙර ඔය සිද්ධස්ථාන රැක ගැනීම පිළිබඳ කතා කළා. අපි සියලු දෙනා එකතු වී සිංහල බෞද්ධ සංස්කෘතිය උරුමය රැක ගනිමු. මේ සිද්ධස්ථාන ගැන දන්නා තවත් තොරතුරු වේ නම් අර කාර්ය බලසාධකයට යවන්න. මටත් එව්වත් කමක් නැහැ.