History

Saturday, 18 July 2020

ඉතිහාසය බුල්ඩෝසර කිරීම

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9





ඉතිහාසය බුල්ඩෝසර කිරීම 

දෙවැනි භුවනෙකබාහු රජතුමාගේ කාලයේ තනන ලද රාජසභා ගොඩනැගිල්ක කොටසක් කඩා දමා, බුල්ඩෝසර (බුල්ඩෝස්) කර, ඇති බවට ආරංචි පැතිර යනවා. එය කුරුණැගල නගරාධිපතිගේ අනුමැතියෙන් කෙරුණු බව ද කියැවෙනවා. කවුරු කඩා බිඳ දැම්මත්, කවුරු ඒ සඳහා අනුමැතිය දුන්නත්, ඔවුන් කර ඇත්තේ ඉතාමත් අමනෝඥ ද්‍රෝහි ක්‍රියාවක්. ඔවුන් බුල්ඩෝසර කරන්නේ මේ රටේ ඉතිහාසයයි. 


මේ බුල්ඩෝසර වැඩේ හොයන්න පංච පුද්ගල කමිටුවක් පත් කරලා. ඒක හොඳයි. එහි වාර්තාව ළඟදී ම බලාපොරොත්තු වෙනවා. සමහර විට සතියක් ඇතුළත. නගරාධිපති කියන්නේ ඔහු අනුමැතිය ලබා දුන්නේ බුවනෙක හෝටලයක් බුල්ඩෝසර කිරීමට කියා.  බුවනෙක හෝටලය නම් දෙවැනි භුවනෙකබාහු රජතුමාගේ වැඩක් වෙන්න බැහැ. ජනමාධ්‍යවේදීන් ඒ ගැන පැහැදිලි ව කියන්නෙත් නැහැ. අදාළ ප්‍රශ්න අහන්නෙත් නැහැ. 

බුවනෙක හෝටලය එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙ වැඩක් කියලයි නගරාධිපති කියන්නෙ. ඒක එහෙම වෙන්නත් ඇති. නගරාධිපති කරන්නේ විරුද්ධවාදීන්ගේ වැරැද්දක් පෙන්වීම. ඒ මෙරට දේශපාලනඥයන්ගේ සිරිතක්. ඔවුන් ලකුණු දමා ගන්නේ තම වැඩ පෙන්වීමෙන් නොව විරුද්ධවාදීන්ගේ වැරදි පෙන්වීමෙන්. සමහර විට එය වත්මන් සිංහල සංස්කෘතියේ ලක්‍ෂණයක් වෙන්නත් පුළුවන්. ගෙදරක වැඩට එන බාසුන්නැහැ කෙනකු වැඩ පටන් ගන්නේ කලින්  වැඩ කළ බාසුන්නැහැගේ වැරදි පෙන්වීමෙන් පසුව. අප දැන් වැඩ පෙන්වන ජාතියකට වඩා අනුන්ගේ වැරදි පෙන්වන ජාතියක් වෙලා. 

ලංකාව හා මියන්මාරය අතර හොඳ ම සම්බන්ධකම් තිබී ඇත්තේ පළමුවැනි විජයබාහු රජතුමා හා පෘතුගීසින් මෙරටට පැමිණීම අතර. විජයබාහු රජතුමා හා මියන්මාරයේ අනවරත රජතුමා ඉතා ළඟ මිතුරන්. ඒ දෙදෙනා නොවන්නට අද අපට කතා කරන්න ථෙරවාදයක් ඉතිරි වන්නේ නැහැ. ඒ ඉතිහාසය මා පසුව ලියන්නම්. මියන්මාරයේ ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන මියන්මාර ජාතිකයකුගේ මවගේ ආච්චි හා සීයා පැමිණ ඇත්තේ ලංකාවෙන්. ඔහු මට කියනවා තමා ථෙරවාද බෞද්ධයකු බව. ඔහුට ථෙරවාද විශේෂණයත් අවශ්‍ය වෙලා!
   
කෙසේ වෙතත් ඔය කාලය තුළ දෙරටේ රජවරු පාලි භාෂාවෙන් ලිපි හුවමාරු කර ගෙන තියෙනවා. දෙවැනි භුවනෙකබාහු රජු ගැන නම් එවැනි ආරංචියක් දැන ගන්න නැහැ. ලංකාව හා මියන්මාරය අතර පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසු සම්බන්ධකම් නැවත වර්ධනය වී ඇත්තේ දහනවවැනි සියවසේ. අමරපුර නිකාය හා රාමඤ්ඤ නිකාය පිහිටුවීම ඒ සම්බන්ධයෙන් විශිෂ්ටයි. පඬි නැට්ටකු කියාවි මා ඉතිහාසඥයකු නොවේය කියා. ඒක ඇත්ත. ඒ නිසා ම මා මෙරට ඉතිහාසය දන්නවා. 

කුරුණෑගල නගරාධිපති කියන්නේ තමා බුල්ඩෝසර කිරීමට අනුමැතිය දුන්නේ බූවනෙක හෝටලය සම්බන්ධයෙන් බවයි. මට වැටහෙන්නේ ඒ අයුරින්. එහෙත් කිසිවකු දැනට කියන්නේ නැහැ ඔය බුවනෙක හෝටලය පවත්වාගෙන ගියේ ඓතිහාසික රාජසභාවේ ද කියා. සමහර විට කියා තිබෙනවා ද කියා මා දන්නේ නැහැ. මා පදනම් වන්නේ මගේ ඇස ගැටෙන හා කණට ඇහෙන ප්‍රවෘත්ති මත පමණයි. 

බුවනෙක හෝටලය පවත්වාගෙන ගොස් ඇත්තේ ඒ පැරණි රාජසභා ගොඩනැගිල්ලේ කොටසක නම් ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. එසේ ඓතිහාසික වැදගත්කමක් ඇති ගොඩනැගිලිවල හෝටල පවත්වාගෙන යෑමට අවසර දුන්නේ කවුද යන්න එකක්. එය සැබෑ නම් මහනුවර මගුල් මඩුවේ ආපන ශාලාවක් පවත්වාගෙන යන්න අවසර දී එයට සිරිවිකුම් ආපන ශාලාව කියන්නත් පුළුවන්. බ්‍රවුන්රිග් රෙස්ටොරන්ට් කිව්වොත් සංචාරකයො වැඩිය ඒවි ද? මෙරට දේශපාලනඥයන් පමණක් නොවෙයි නිලධාරීන් ද යම් පිරිසක් මුදලට නොකරන දෙයක් නැහැ. 

දෙවනුව ඒ හෝටලය පවත්වාගෙන ගොස් ඇත්තේ පැරණි රාජසභා ගොඩනැගිල්ලෙහි කොටසක නම් නගරාධිපති බුල්ඩෝසර අනුමැතිය දෙන විට ඒ බව දැන සිටියේ නැද්ද? හෝටලය අලුතෙන් ම තැනුවා නම් නගරාධිපතිට ඒ ප්‍රශ්නය යොමු වන්නේ නැහැ. කෙසේ වෙතත් අර පංච පුද්ගල කමිටුව මේ සියල්ල ගැන සොයා බලාවි කියා හිතනවා. 

පඬි නැට්ටන් ප්‍රශ්නයට අවතීර්ණ වන්නේ එහෙමත් නැත්නම් ප්‍රවේශ වන්නේ (ඔවුන්ගේ වචනවලින්) වෙනත් මානයකින්. ඔවුන් අසාවි දෙවැනි භූවනෙකබාහු රජු ඔය කියන ගොඩනැගිල්ල තැනූ බවට සාධක තියෙනවා ද? එසේත් නැත්නම් වෙනත් රජකු තැනූ බවට සාධක තියෙනවා ද? එවැනි රජවරුන් සිටි බවට චූලවංසයේ හැරෙන්න වෙනත් සාධක තියෙනවා ද කියාත් අසාවි. චුලවංසය ලිව්වේ සිද්ධියෙන් සියවස් ගණනාවකට පසුව කියාත් මතක් කර දේවි. 

මා දුටුවා සකර්බර්ග් පඬි නැට්ටකු අසා තිබෙනවා ගැමුණු රජු රුවන්වැලි සෑය තැනූ බවට සාධක තියෙනවා ද කියා. මේ අයට දෙන්න පුළුවන් උත්තරයක් හා ඔවුන්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. පිළිතුර ඒ අදාළ ගොඩනැගිලි තනා ඇත්තේ තම පියා බව. ප්‍රශ්නය එහෙත් ඒ පුරුෂයා තම පියා බව පෙන්වීමට උප්පැන්න සහතිකය හැර වෙනත් සාධක තියෙනවා ද යන්න. 

ඉතිහාසය බුල්ඩෝසර කිරීම ඇරඹී දැන් කාලයක් වෙනවා. නැගෙනහිර පළාතේ මේ දිනවල එය විනාශකාරී ලෙස පැතිර යනවා. කලකට ඉහත නැගෙනහිර පළාතේ චෛත්‍ය  බුල්ඩෝසර කිරීමක් ගැන අසන්න ලැබුණා. මේ එකක දී වත් මෙරට ඊනියා වම උද්ඝෝෂණයක් කරනු තබා වොයිස්කට්ටුවක්වත් දෙන්නෙ නැහැ. එසේ කට්ටු දීමෙන් ඔවුන්ට කටු ලැබෙන්නෙ නැහැ. ඒත් නැගෙනහිර පළාතේ ඓතිහාසික ගොඩනැගිලි ගැන සොයා බැලීමට ජනාධිපති කාර්ය බල සාධකයක් පත් කළා ම එයට විරුද්ධව ජෙනීවා වුණත් යන්න සූදානම්. මස් කටුවල රස දන්නේ සිංහයන් නො වෙයි.

මේ ඉතිහාසය බුල්ඩෝසර කිරීමේ කතාව මැත ඉතිහාසයේ බද්‍යුද්දීන් මහමුද් අධ්‍යාපන ඇමති කාලය තෙක් යනවා. ඊට කලින් ද එය තිබුණා. පාසලේ ඉතිහාසය ඉගැන්වීම නතර කළ නිසා අද ළමුන් පමණක් නොව අවුරුදු හැත්තෑවට පමණ අඩු අය ද ඉතිහාසය දන්නේ නැහැ. කුරුණෑගල නගරාධිපති ඉතිහාසය දන්නෙ නැත්නම් පුදුම වෙන්න දේකුත් නැහැ. මහාවංසය දීපවංසය ඇතුළු වංස කතා රාශියක් ලියා ඇති රටක ඉතිහාස විඥානය මකා දැමීමට ඉංගිරිසින් කටයුතු කළා. ලංකා විශ්වවිද්‍යාලය ද කටයුතු කළා. මියන්මාරයේ වංස කතා ලියා ඇත්තේ සිංහල වංස කතා අනුගමනය කිරීමෙන්. මා ඒ බව කියන්නේ ආඩම්බර වීම සඳහා නො වෙයි. එවැනි ඉතිහාසයක් ඇති රටක ඉතිහාසය පහසුවෙන් ම බුල්ඩෝසර කිරීමට ඉඩ දීම ගැන කළ යුත්තේ කුමක් දැයි ඇසීමට.