History

Sunday, 19 July 2020

මියන්මාර මෘතවීරයන් සැමරීම

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




මියන්මාර මෘතවීරයන් සැමරීම 

අද ජූලි 19 වැනි දා මියන්මාරයේ මෘතවීරයන්ගේ (martyr) දිනයයි. සෑම වසරක ම ජූලි 19වැනි දා ඔවුන් ඒ දිනය සමරනවා. අද උදෑසන යැන්ගොන් ප්‍රධාන සොහොන් ගැබෙහි මෘතවීරයන් වෙනුවෙන් ගෞරව දැක්වීමක් සිදු වුණා. එයට මියන්මාර ජනාධිපති වින් මින්ට් මහතා ඇතුළු අමාත්‍යවරුන් ද රාජ්‍ය උපදේශිකා අවුන් සාං සුචී මැතිණිය ද සහභාගි වුණා. සුචී මැතිණියගේ පියා වූ ජෙනරල් අවුන් සාං ප්‍රධාන මෘතවිරයා. 


මියන්මාරයේ සිටින විදේශ තානාපතිවරුන්ට ද මෘතවීරයන්ට ගරු කිරීමේ අවස්ථාව සලසා දී තිබුණා. ඒ අනුව ලංකා තානාපති කාර්යාලය ද මල්වඩමක් තබා මියන්මාරයේ නිදහස වෙනුවෙන් දිවි පිදූ මෘතවීරයන්ට ගෞරවය දැක්වූවා. මල්වඩමේ අදාළ ප්‍රකාශය මියන්මාර භාෂාවෙන් හරි ඉංගිරිසියෙන් හරි ලිවීමට හැකියි. මියන්මාරයේ වෙනත් භාෂා කිහිපයක් ද කතා කරන නමුත් ඒ භාෂාවලින් ලියන්න බැහැ. ලංකා තානාපති කාර්යාලය මියන්මාර බස තෝරා ගත්තා. ලංකාවේ නම් සමහර විට අරාබි භෂාවෙන් ද ලියන්න ඉඩ දෙන්න කියා පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් වාග් විද්‍යාඥයන් සාක්කියට ගනිමින් කියන්න පුළුවන්.  

මියන්මාරය අප තරම් යටත්විජිත කරණයකට ලක් වී නැහැ. බිරිතානින් මියන්මාරයේ මුහුදුබඩ කොටස් විශාල ප්‍රමාණයක් යටත් කර ගෙන ඇත්තේ 1826 දී. ඒ භාග්‍යදෝ (1819-1837) රජතුමාගේ කාලයේ දී. බිරිතානීන් ඒ කොටස් පාලනය කර ඇත්තේ ඉන්දියානු උප මහද්වීප ආණ්ඩුකාරයා යටතේ. මේ කාලය වන විට අප මුහුදුබඩ වැසියන් පෘතුගීසි ලන්දේසි ආධිපත්‍යය යටතේ ඉඳ  1815 දී ගිවිසුමක් මගින් රට බිරිතානීන්ට භාර දීලා. එපමණක් නොව බිරිතානීන්ට විරුද්ධ ව පළමුවැනි නිදහස් සටන ද (1817-18) කරලා. 

බිරිතානින් මියන්මාරය මුළුමනින් ම යටත් කර ගෙන ඇත්තේ 1886 දී. ඒ 1877 දී රජ වූ තිබෝ රජතුමාගේ කාලයේ. ඔහුගේ පියා වූ මින්දොන් රජතුමාගේ කාලයේ දී තමයි මියන්මාර අගනුවර මැන්ඩලේ නගරයට ගෙන ගොස් ඇත්තේ. එය අපේ මහනුවර මෙන් මියන්මාරයේ අවසන් රාජධානීයයි. මියන්මාර වැසියන් අප තරම් කාලයක් යටත්විජිත පාලනයකට යටත් ව නොසිටීම ඔවුන්ගේ භාග්‍යයක්. 

මියන්මාරයේ ජනවර්ග කිහිපයක් ඉන්නවා. ඔවුන් ජීවත්වන ප්‍රදේශ ද තියෙනවා. මියන්මාර නිදහස් සටන මේ සියල්ලන්ගේ එකතුවෙන් කරන ලද්දක්. මියන්මාරයේ ඒ සියල්ලන් එකතු වූ දිනය වැදගත් දිනයක් ලෙස සලකනවා. එය (පෙබරවාරි 12) සංගම් දිනය (union day) ලෙස සලකනවා. මියන්මාරයට යම් ස්වයං පාලනයක් ලබා දී ඇත්තේ 1937 දී මියන්මාරය (එවකට බුරුමය) බිරිතානියේ වෙන ම පාලන ප්‍රදේශයක් බවට පත් කිරීමන්. බුරුමයේ අගමැති ලෙස පත් වී ඇත්තේ බා මච් මහතා. 

පසුව 1947 පෙබරවාරි 12 වැනි දා සියලු ජනවර්ග හා ප්‍රදේශ එකතු වී පැංග්ලොන් ගිවිසුම නමින් හැඳින්වෙන ගිවිසුම අත්සන් කර මියන්මාර (බුරුම) සංගමය (Union of Myanmar/Burma) පිහිටුවා ගෙන තියෙනවා. පෙබරවාරි 12 සංගම් දිනය ලෙස සැලකෙන්නේ එබැවිනුයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජෙනරල් අවුං සාන්  අගමැති ලෙස අන්තර්කාලීන රජයක් පිහිටුවා ගෙන තියෙනවා. 

ඒ රජයේ ඇමති මණ්ඩල රැස්වීමක් යැංගොන් නගරයේ පැවැත්වෙන අතර තමයි 1947 ජූලි 19 වැනි දා ජෙනරල් අවුං සාන් හා තවත් ඇමතිවරුන් හත් දෙනකු ද ආරක්‍ෂක නිලධාරියකු ද ඝාතනය කෙරී ඇත්තේ. ඒ නව දෙනා සැමරීම සඳහා යි ජූලි 19 මෘතවීරයන්ගේ දිනය ලෙස වෙන් කෙරී ඇත්තේ. මියන්මාරයට පූර්ණ නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනි දා. අපට ඩොමීනියන් නිදහස ලැබෙන්න මාසයකට කලින්. ජූලි 19 ඝාතන පිළිබඳ ව දේශපාලන විරුද්ධවාදියකු වූ සෝ නමැත්තකු වරදකරු වුණා. 

ජෙනරල් අවුං සාන්ගේ මරණයෙන් පසු බිරිතානි ආණ්ඩුකාරයා ඌ නූ අගමැති ලෙස පත් කළා. මියන්මාර බසින් ඌ කියන්නේ මහතා කියන එකයි. ඌ නූ මහතා කියා කියන්න අවශ්‍ය නැහැ. එය මිස්ට අහවලා මහතා කියනවා වගේ. මියන්මාර නිදහසෙන් පසු ඌ නූ මියන්මාරයේ පළමු අගමැති වුණා. ඔහු විශ්වවිද්‍යාල සමයේ සිට ජෙනරල් අවුං සාන්ගේ සටන් සගයෙක්.  ඌ නූ ලංකාවට ඇවිත් තියෙනවා. ඒ බණ්ඩාරනායක මහතා අගමැති ව සිටි සමයේ. එකල ලංකාවේ මියන්මාර තානාපතිතුමාගේ පුතා අපේ පංති සගයෙක්.  ඩෝ කියන්නේ මහත්මිය කියන එක. ඩෝ අවුං සාන් සුචී මහත්මිය කියන්න අවශ්‍ය නැහැ. 

ජූලි 19 වැනි දා උදේ 10.37ට (ඝාතනය කෙරුණු වෙලාව) සියල්ලන් වැඩ නවත්තනවා. වාහන නළා ශබ්ද කරනවා. මෙවර 2020 ඒ නිමිත්තෙන් මියන්මාර මුදල් වර්ගය වූ චැඩ් 500 නෝට්ටුවක් නිකුත් කර තිබෙනවා. 

මියන්මාරය නිදහස ලැබීමෙන් පසු බිරිතානි පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වුණේ නැහැ. එබැවින් ලංකාව හා මියන්මාරය අතර ඇත්තේ තානාපති කාර්යාල මිසක් මහා කොමසාරිස් කාර්යාල නො වෙයි. එහෙත් මියන්මාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක්. 1961 සිට 1971 දක්වා  ඒ සංවිධානයේ මහා ලේකම් ලෙස මියන්මාරයේ (බුරුමයේ)  ඌ තාන්ට් කටයුතු කළා. ඒ ඩැග් හැමර්ෂල්ඩ් ගුවන් අනතුරකින් මිය යෑමෙන් පසුව.