History

Monday, 20 July 2020

ජාතික ධජ

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9








ජාතික ධජ 



කුරුණැගල භුවනෙකබාහු රාජසභාවේ කොටසක් කඩා බිඳ දැමීම පිළිබඳ ව බොහෝ දෙනා කතා කරන්න පටන් අරන්. එහි 1998 පමණ කාලයේ දී ආපන ශාලාවක් පවත්වා ගෙන යෑමට අවසර දී ඇති බවක් කියනවා. මේ ගැන කතා කරන ඇතැමුන්ට අවශ්‍ය දේශපාලන වාසියක් ගැනීම බව පැහැදිලියි. ඇතැමුන් මහින්ද රාජපක්‍ෂට ඡන්දය දීමට එපා කීමටත් එය උපයෝගී කර ගන්නවා. එයින් කියන්නේ පොදු ජන පෙරමූණු සංධානයට ඡන්දය දීමට එපා කියන එක ද නැත්නම් සංධානයට ඡන්දය දී මහින්දට මනාප දෙන්න එපා කියන එක ද පැහැදිලි නැහැ. ඒ කුමක් වුවත් මේ සිද්ධිය මත පදනම් වී එවැනි තීරණයක් ගැනීම කිසිසේත් ම සුදුසු නැහැ.

අර පංච පුද්ගල කමිටුවේ වාර්තාව නිකුත් කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් තවත් යමක් කීමට බලාපොරොත්තු වෙනවා. එහෙත් ඊට කලින් කිව යුතු දෙයක් තියෙනවා. අප පුරාවිද්‍යා (මේ වචනය නිවැරදි ද යන්න ගැන ප්‍රශ්නයක් තියෙනවා) වැඩවලට වෙන් කරන මුදල කිසිසේත් ම ප්‍රමාණවත් නැහැ. පසුගිය කාලයේ ඒ වෙන් කරන ලද මුදලු්වලටත් වෙච්ච දෙයක් ගැන ජාතිකත්වය ගැන කතා කිරීමට විජාතිකත්වයේ කරණම් ගසා යළි ඉපදී (බෝන් අගේන් ද කියා අහන්න එපා) සිටින සජිත් ප්‍රේමදාසට යමක් කියන්න පුළුවන් ද? 

කවුදෝ පඬි නැට්ටකු කියා තිබුණා දෙවැනි භුවනෙකබාහු රජු ලංකාවේ පළමුවැනි මුස්ලිම් රජු කියා! සකර්බර්ග් ඉන්නකම් පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. සකර්බර්ගෙ පොතේ නම මුහුණුපොත වුණාට ඒකෙ බොහෝ දෙනාට මුහුණක් නැහැ. බොහෝ විට ගිණුම් ඇත්තේ උප්පැන්න සහතිකයේ ඇති නමින් නො වෙයි. ඔවුන්ට තම පියා ගැන විශ්වාසයක් නැද්ද? දැනුමක් නැද්ද කියා මා අහන්නේ නැහැ.

ඊයේ මියන්මාරයේ මෘතවීර දිනයට ලංකාව වෙනුවෙන් මා සහභාගි වුණා. එයට සහභාගි වන තානාපතිවරුන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුරෝපා සංගමයේ නියෝජිතයන් තම නිල රථවල අදාළ ධජ ප්‍රදර්ශනය කරමින් පැමිණිය යුතු ව තිබුණා. මා මේ ජාතික ධජ තරමක් විමර්ශනය කළා. බොහෝ ජාතික ධජ තීරු ධජ. බොහෝ විට තීරු තුනක් සහ මැද ඇතැම් විට යම් සංකේතයක් සහිත ව. සතුන්ගේ රූප රැගත් ජාතික ධජ එකකට දෙකකට වඩා තිබුණේ නැහැ.  ජර්මනියේ ජාතික ධජය පාට තුනක තීරු ධජයක්. එහි මැද කළු රාජාලියකුගේ රූපයක් තියෙනවා.

එක්සත් රාජධානියේ ජාතික ධජය කුරුස තුනේ ධජය. එහි තීරු නැහැ. ඒ ධජය 1801 දී නිර්මාණය කෙරී ඇත්තේ එංගලන්තයේ අයර්ලන්තයේ හා ස්කොට්ලන්තයේ සාන්තුවරයන්ගේ කුරුස තුන එක් කිරීමෙන්. ඒ බිරිතානියට අයර්ලන්තය එක් වී එක්සත් රාජධානිය තනාගැනීමෙන් පසුව. එයට සංගමයේ (union) ධජය කියා ද කියනවා. යුනියන් ජැක් යුනියන් ෆ්ලෑග් නමින් ද එය හැඳින්වෙනවා. මට මතක් වන්නේ එකල එම්සීසී හා ලංකාව අතර පැවැති ක්‍රිකට් තරග බැලීමට යද්දී ඇතැම් වාහනවල සිංහ කොඩිය ද යුනියන් ජැක් ද ප්‍රදර්ශනය කරමින් ගිය ආකාරය. 

යුනියන් ජැක් ධජය සමහර රටවල ජාතික ධජවල කොටසක් ලෙස යොදා ගැනෙනවා. ඒ ප්‍රධාන වශයෙන් ම ඉංගිරිසින් විසින් ස්වදේශිකයන් සමුලඝාතනයට ලක්කෙරීමට උත්සාහ කර තම වාර්ගිකයන් පදිංචි කළ රටවල. බොහෝ රටවල ජාතික ධජ තීරු ධජ වී අපේ ජාතික ධජය තිරිසනකු සහිත වීම පිළිබඳ ව පඬි නැට්ටන් ලජ්ජාවට පත්ව ලියූ ලිපි මා කියවා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය තීරු ධජයක්. ඕල්කට්තුමා නම් අපරාදෙ කියන්න බැහැ ලෝකවාසී සියලු බෞද්ධයනට තීරු බෞද්ධ කොඩියක් ලබා දුන්නා. 

මේ බොහෝ තීරු ජාතික ධජවල උපත ප්‍රංශ විප්ලවය සමග බැඳී තියෙනවා. 1789 ප්‍රංශ විප්ලවයෙන් පසු ත්‍රෛවර්ණ ධජය යොදාගෙන තියෙනවා. එයට එකල තිබූ නෙදර්ලන්ත ජාතික ධජය බලපා තියෙනවා කියනවා. එමෙන් ම ප්‍රංශ විප්ලවයේ නිදහස, සමානත්වය, සහෝදරත්වය ද ඉන් නිරුපණය වන බව කියනවා. ප්‍රංශ ජාතික ධජය ද 1790 සිට අද දක්වා වෙනස් වී තිබෙනවා. බූර්බෝන්වරුන් වරින් වර බලයට පත්වීමත් සමග ධජය ද වෙනස් වී තියෙනවා. එහෙත් දැන් නම් කලක් තිස්සේ වත්මන් තීරු තුනේ ධජය යොදා ගැනෙනවා. 

අපේ ජාතික ධජය තීරු ධජයක් නොවීම ගැන මට නම් ඇත්තේ ආඩම්බරයක්. එය සෘජකෝණාශ්‍ර හැඩයක් ගන්නෙ නැතිව ත්‍රිකෝණාකාර හැඩයක් ගත්තා නම් මා තවත් සතුටු වෙනවා. අපට තීරු ජාතික ධජයක් නැති වීමට ප්‍රධාන හේතුව ප්‍රංශ විප්ලවයටත් පෙර අපට ජාතික ධජයක් තිබීම. ජාතික ධජය යන සංකල්පය ඊනියා නූතනත්ව සංකල්පයක් යැයි පඬි නැට්ටකු කියාවි. (කවුද හාමුදුරුනමක කියා තිබුණා මා පඬි නැට්ටා ආදී වචන භාවිතා කිරීම නිසා ලිපිය හෑල්ලු වන බව. උන්වහන්සේට අවශ්‍ය නම් පඬි නැට්ටා මහතා කියා කියන්නත් පුළුවන්. මගේ ලිපි හෑල්ලු වෙනව ද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නො වෙයි. කියවන අයකු ලිපි කියවපුවාවෙ). එහෙත් අපට අමුතුවෙන් තීරු ධජයක් සකස්කිරීමට අවශ්‍ය නොවුණේ ම අපට ජාතික ධජයක් තිබූ බැවින්. හැම සංකල්පයක් ම බටහිරින් හරි ඉන්දියාවෙන් හරි එන්න ඕන කියල හිතන පිරිස් ලංකාවෙ ඉන්නවා.  අපි රජු ඉඳගන්න ආසනයට කිව්වෙත් සිංහාසනය. ඒ තමයි ජාතියේ (ප්‍රධාන) ආසනය. 

අපේ ජාතික ධජය තුන්හුලස් හරි සෘජුකෝණාශ්‍රයකින් ත්‍රිකෝණාකාර කොටසක් ඉවත් කිරීමෙන් හරි ලැබෙන ජ්‍යාමිතික රූප ධජයක් වුණා නම් මා වඩාත් සතුටු වන්නේ අපේ ධජ එවැනි හැඩ ගන්නා නිසයි. දැන් තියෙන ධජය වෙනස් කරන්න කියා මා කියන්නේ නැහැ. අපට සිංහයා ලැබුණේ කොහොම ද කියන එක ගැන විවිධ මත තියෙන්න පුළුවන්.  කතාවක් හරියට ගොතා ගන්න බැරි සුපිරි ජාතිකවාදීන් සිංහයා බුදුුහාමුදුරුවන්ට ගාවන්න හදනව. ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාව අතිශයින් දුර්වලයි. ඒ කොහොම වුණත් සිංහ ධජය ගැන මට ඊයේත් ආඩම්බරයක් ඇති වුණා.