History

Thursday, 23 July 2020

කුරුණෑගල සිද්ධියේ වරදකරු රජු ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9





කුරුණෑගල සිද්ධියේ වරදකරු රජු ද?

කුරුණෑගල දෙවැනි භුවනෙකබාහු රජුගේ රාජසභාව යැයි කියන ගොඩනැගිල්ල හැදුවේ කවුද කියන එකවත් එය රාජසභාවක් (මගුල් මඩුවක්) ද කියන එකවත් මා දන්නේ නැහැ. ජනප්‍රවාදය අනුව නම් එය දෙවැනි භූවනෙකබාහු රජුගේ රාජසභාව. චූලවංසයේ ඒ ගැන සඳහනක් නැති බව කියැවෙනවා. මේ සිද්ධියෙන් පසු මට චුලවංසය කියවීමට තවම අවස්ථාවක් ලැබුණේ නැහැ. කුරුණැගල රාජධානිය ලෙස පැවතී ඇත්තේ අවුරුදු පනහක් පමණයි. 


ඒ කොහොම වුණත් ඔය කියන ගොඩනැගිල්ල චන්දරේ කෙනකුගේ වැඩක් වෙන්න බැහැ. සමහර විට චන්දරේ නමින් බාසුඋන්නැහැ කෙනකු කුරුණෑගල සමයේ හිටියා වෙන්නත් පුළුවන්. පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව ඒ ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක (ඓතිහාසික) වැදගත්කමක් ඇති එකක්. ඒ වාර්තාවෙහි පහත සඳහන් යෝජනා තිබෙනවා. 

"01) ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුවී ඇත්තේ පියස්සේ කොටසකට හා ජනේල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇත. මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොළු ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇත. එම නිසා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස්කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතියි. එබැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතුය.
02) මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.
03) මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම.
04) මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම.
05) විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම."

පළමුවැනි යෝජනාවෙන් කියැවෙන දේ වැදගත්. ගොඩනැගිල්ල සංරක්‍ෂණය කරගන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ පෙර තිබූ තත්වයට පත්කරන්න පුළුවන් කියන එක වෙන්න ඕන. ඒත් මේ පෙර තිබූ තත්වය කුමක් ද යන්න අප දන්නේ නැහැ. අභයගිරියේ පෙර තිබූ තත්වය කුමක් ද? ඒ කවදා තිබූ තත්වය ද? පහුගිය දවස්වල රුවන්වැලිය සංරක්‍ෂණය කළා නම් එහි හුණු පිරියම් ගානවා ද? 

ඒ කුමක් වුණත් මේ ගොඩනැගිල්ල ගැන පංච පුද්ගල කමිටුව කියන්නේ  විනාශ වී ගිය කොටසේ බාල්ක ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සූරක්‍ෂිත ව තිබෙන බැවින් හා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා හා සංරක්‍ෂණ සැලසුම් සකස් කර ඇති නිසා නැවත යථාවත් කරන්න පුළුවන් බවයි. ඒ කියන්නේ පසුගිය දා විනාශ කිරීමට පෙර පැවති තත්වයට සකස් කරන්න පුළුවන් බව වෙන්න ඕන. 

මෙහි වැදගත් ම කොටස ඒ ගොඩනැගිල්ල ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විස්තරාත්මක ලෙස වාර්තාගත කර තිබීමයි. එයින් කියැවෙන්නේ ගොඩනැගිල්ල භූවනෙකබාහු රජතුමාගෙ වැඩක් වුණත් නැතත් එහි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබූ බවයි. මෙය දශකයකට දෙකකට පෙර චන්දරේ කළ වැඩක් වෙන්න බැහැ. කුරුණෑගල නගරයේ පුරාවිද්‍යාත්මක (ඓතිහාසික) වටිනාකමක් ඇති ගොඩනැගිලි ගැන නගරාධිපති දැන නොසිටියේ නම් එහි වරද ඔහු නගරාධිපති ධුරයට පත්කළ ජනතාව මත කොහොම වෙතත් පක්‍ෂය මත පැටවෙනවා.  

දේශපාලනඥයන් උපාධිධාරීන් විය යුතු යැයි මා කියන්නේ නැහැ. එහෙත් ඔවුන් රටේ ඉතිහාසය සංස්කෘතිය ගැන යමක් දැනගත යුතුයි. ඇතැම් ඇමතිවරුන් දන්නේ නගරයේ ඇති තැබෑරුම් ගණන විය යුතුයි. මේ කමකට නැති දේශපාලනඥයන් එකතු වී එකිනෙකා රැක ගන්නවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  මේ අය ගැන තදින් සිටිය යුතුයි. දේශපාලනඥයන්ට ඇති මුදල් හදල් නිසා හරි මැතිවරණ ව්‍යාපාරයට ඔවුන් මුදලින් දායක වන නිසා හරි ඔවුන්ට බලවතුන් වීමට ඉඩ දිය යුතු නැහැ. 

මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගත යුතු යැයි පංච පුද්ගල කමිටුව යෝජනා කර තියෙනවා. අද පැරණි ඓතිහාසික පන්සලක තීන්ත ටිකක් ගා ගන්න ඉඩ දෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අදාළ නිකාය අතර එකඟත්වයක් ඇති ව වැඩ කරන ක්‍රමයක් සකස් කර ගන්න ඕන. පුරාවිිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නෙ බිරිතානි ආකෘතිය තුළ ඇති කරන ලද්දක්. එය මෙරට සංස්කෘතියේ නිර්මාණයක් නො වෙයි. මෙරට ඇති ඓතිහාසික භූමි හා ගොඩනැගිලිවලින් අති විශාල බහුතරය බෞද්ධ, සිංහල බෞද්ධ. ඒවා පවත්වා ගෙන යෑම තනිකර ම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියක ගොඩ නැගුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරන්න බැහැ. කුරුණෑගල අදාළ ගොඩනැගිල්ල නම් නාගරික සභාවට නැතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්න එක හොඳයි. 

මාර්ග සංවර්ධන අධිකාරියටත් ඉතිහාසය හා සංස්කෘතිය කියල දෙන්න ඕන. මෙය ඉතිහාසය අමතක කරන සංස්කෘතිය හෙළා දකින අපේ දැනුම් මිථ්‍යා විශ්වාස  යැයි උගන්වන මෙරට කසිකබල් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. අධ්‍යාපනය සංස්කෘතිය ඇතුළට ගන්නෙ නැතිව කිසිවක් කරන්න බැහැ. 

මෙම විනාශයට වග කිවයුත්තන්ට නීතිමය පියවර ගන්න කියන එක වැඩකට ඇති දෙයක් නොවෙයි. මෙයට අවසානයේ දී වග කියන්න කිසිවකු නැතිවේවි. සමහර විට වරදකරු දෙවැනි භූවනෙකබාහු රජතුමා වෙන්නත් පුළුවන්. මේ සියල්ලට ම මුල එතැන මගුල් මඩුවක් සෑදීම වෙන්නත් පුළුවන්. මේ අධිකරණය බටහිර ක්‍රිස්තියානි එකක්. සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ තීරණ බටහිර ක්‍රිස්තියානි අධිකරණයකින් ගන්න නම් බැරි වේවි.