History

Monday, 10 August 2020

දහනවය, ද්විත්ව රටවැසිබව හා අගමැති

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9




දහනවය, ද්විත්ව රටවැසිබව හා අගමැති 


මැතිවරණය පිළිබඳ ව තවදුරටත් කතා කිරීමට පෙර දහනවය ගැන වචනයක් දෙකක් කියන්න ඕන. දහනවය හා දහතුන ඉවත් කරල අලුතෙන් ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙනවා නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. එහෙත් එතෙක් දහනවය ඉවත් කර ගන්න හදිසියක් තියෙන්නත් පුළුවන්. දහනවය ඉවත් කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අර නිවේදකයන් කියනව වගේ එසැණින්  එකතු කරන්න ඕන දෙයක් තියෙනවා. 

ඒ ඊනියා ස්වාධීන කොමිෂන් සභා ගැන නොවෙයි. ස්වාධීනයන් ලොවේ නොව ලොවි ගහ බිමවත් නැහැ. ඇත්තේ සුවාදීනයන් පමණයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ඔවුන් ඒ දවස්වලත් හිටියා. ඔවුන්ට සුවාදීන කිව්වෙ දිනයන් නිසා. ඔවුන් දීනයන් ලෙස සිංහල බෞද්ධ විරෝධී දේශපාලනයක නිරත වුණා.  ඔවුන්ගෙන් ඇතැමකු ප්‍රා සංවිධානයේත් හිටියා. අනෙක් අයගෙන් තම ප්‍රා සාමාජිකයන්ට විරුද්ධ ව යමක් ප්‍රකාශ වුණෙත් නැහැ. 

ස්වාධීන කොමිෂම් නිර්දේශ කරන ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ද? රධිකා කුමාරස්වාමි වැන්නන්ගේ ස්වාධීනත්වය කුමක් ද? මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය හූල්ගෙන් දැන ගන්න පුළුවන් වුණා. හූල් පෙන්නුවේ ඒක හිල් ස්වාධීනත්වයක් කියා. ඔය ස්වාධීන කොමිසම් තිබුණත් නැතත් පත්වෙන්නෙ ආණ්ඩුවට හිතවත් අය. නිකම් බොරුවට ලෝක මාන්නෙට ස්වාධීන කොමිෂම් සභා අවශ්‍ය නැහැ. 

එහෙත් දහනවයෙ තියා ගත යුත්තක් තියෙනවා. මගේ නම් විශ්වාසය එය තවත් ශක්තිමත් කළ යුතු ය යන්නයි. ඒ ද්විත්ව රටවැසියන් මැති ඇමතිකම් නොදැරීම පිළිබඳ ප්‍රශ්නයයි. එය දිගින් දිගට ම තිබිය යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තම ද්විත්ව රටවැසි බව අස්කර ගත්තා. මා හිතන්නේ ගීතා කුමාරසිංහත් එසේමයි. අද පාර්ලිමේන්තුවේ ද්විත්ව රටවැසියන් ඉන්නවා ද කියා හොයා බලන්න ඕන. එය අමාරු වැඩක් නො වෙයි. අලුතෙන් පත්වන කතානායකතුමා එය සොයා බලනු ඇතැයි විශ්වාස කරනවා. 

ද්විත්ව රටවැසියන්ට රටවල් දෙකක් වෙනුවෙන් පෙනී සිටින්න වෙනවා. සාමාන්‍ය අවස්ථාවල දී එය ප්‍රශ්නයක් ලෙස මතුවන්නේ නැහැ. එහෙත් රාජ්‍ය පාලනය, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ආදියෙහි මෙන් ම විධායකයේ කොටස් වූ පරිපාලනයෙහි, විදේශ සේවයෙහි, තානාපතිවරුන් සම්බන්ධයෙන් එය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එමනිසා පාර්ලිමේන්තු හා පළාත් සභා (ඒ අහෝසි කර දිස්ත්‍රික් සංවර්ධන සභා හෝ වෙනත් සභා හෝ ඇති කරන තෙක්) මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, ඉහළ අධිකරණවල විනිසුරුවන්, පරිපාලන සේවයේ නිලධාරීන්, විදේශ සේවයේ නිලධාරීන්, තානාපතිවරුන්, යම්කිසි නිශ්චිත වැටුපකින් ඉහළ වැටුප් ලබන්නවුන් ආදීන් ද්විත්ව රටවැසියන් නොවිය යුතුයි. දහනවයේ අදාළ වගන්තිය එලෙස ශක්තිමත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරන්න ඕන. 

ඒ වගේම කිවයුතු තවත් දෙයක් තියෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස සිවුවැනි වර දිවුරුම් දීම පිළිබඳ ව. මේ හතර වාරය ගණන් කරන්නෙ 2018 නොවැම්බර් මාසෙ දිවුරුම් දීමත් එක්ක. ඒ කියන්නෙ එවර පත්වීමත් නිල පත්වීමක් ලෙස ගණන් ගැනෙනවා. එ ජා පාක්‍ෂිකයන්ට පාන් කියන්න බැරි වෙලා තියෙන අවස්ථාවක ඔය කතාව පේන්නෙ නැතිව ඇති. ඒත් ඔවුන් ඒ දවස්වල එකහෙළා කිවුවෙ එය නීත්‍යානුකූල නැති බව. සමහරු ඒකට කුමන්ත්‍රණයක් කියලත් කිවුව. 

ඒ පත් කිරීම සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථානුකූලයි. අගමැති පත් කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ ජනාධිපතිට. පාර්ලිමේන්තුවට නො වෙයි. අප කිහිප වරක් උපුටා දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 42 (4) අනුවගන්තිය මෙසේයි.”ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.”

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ පත් කෙළෙත් මේ අනුවගන්තිය යටතේයි. පාර්ලිමේන්තුව තවම රැස්වෙලාවත් නැහැ. මේ අනුවගන්තියෙහි වැදගත් ම වචන වනුයේ ජනාධිපතිවරයාගේ මතය අනුව යන්නයි. කාට හරි කියන්න පුළුවන් වත්මන් පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක බලයක් ඇති පක්‍ෂ නායකයකු අගමැති කිරීම ප්‍රශ්නයක් නොවෙයි කියල. එහෙත් එදා 2018 ඔක්තෝම්බර් 26 වැනි දායින් පසු එවැනි තත්වයක් තිබුණෙ නැහැ කියලත්. 

එදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ පත් කෙළෙ තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස. මහින්ද රාජපක්‍ෂට එදා 113ක් හදා ගන්න පුළුවන්කම තිබුණා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අනුව තම මතය අනුව මහින්ද රාජපක්‍ෂට 113ක් තිබුණා. එය බැරි වුණෙ රිෂාඩ් බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය කඩන්න ඇතැමුන් අකමැති වීම නිසා. 

එහි ප්‍රතිඵලයක් ලෙස යටත්විජිත හේරත්ගෙ දුවගෙන දුවගෙන ගිහින් භාරදුන්න විශ්වාසභංගෙ ජයග්‍රහණය කළා. යටත්විජිත හේරත් තවමත් දුවනවා. එයා දුවන කොට ලයිට් කණු ඇඹරෙනවා. කොහොමටත් අධිකරණ තීන්දුව දුන්නෙ මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත්කිරීමට විරුද්ධ ව නොවෙයි. එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ ව. මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත් කිරීම කිසිවකු අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කෙළේ නැහැ. එය නීත්‍යානුකුලයි. 

අගමැති ලෙස පත්කිරීම එකක්. විශ්වාසභංග යෝජනා තවත් එකක්. කවුද දන්නෙ මේ ආණ්ඩුවට විරුද්ධ ව කවදා හරි සජිත්දාසලා විශ්වාසභංග යෝජනාවක් ගෙනේවි ද කියලා.