History

Monday, 17 August 2020

හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9






හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා

ජාතිකත්ව කරත්තයක් ගැන මා ඊයේ කතා කළා. කරත්තය ගැන කතාව මට අවශ්‍ය වුණෙ බල්ලන් බිරුවත් කරත්තය ඉදිරියට යන බව කීමට. එය තේරුම් ගන්නේ කෙසේ ද යන්න සංදර්භය,  සිංහල දන්න අයට පැහැදිලියි. කවුරු හරි ඇහුවොත් කරත්තය ඇද ගෙන යන්නෙ කවුද, කරත්තය (ගොනා) දක්කන්නෙ කවුද, ගොනාට කන්න දෙන්නෙ කවුද, ගොම ටික අයිති කාට ද, කරත්තය අවශ්‍ය වුණොත් පිළිසකර කරන්නෙ කවුද  ආදී ප්‍රශ්න අප පිළිතුරු දෙන්න යන්නෙ නැහැ. ගොනාට තරමක නිග්‍රහයක් වුණත් ගොන් ප්‍රශ්න කියල නිහඬ වෙනවා, එහෙම නැත්තන් සුද්ධ සිංහලෙන් ම හොඳවයින් දෙකක් කියනවා. 
 
ඒත් අප තවත් අවස්ථාවල වෙනත් විධියකට කියනවා. මේ ජාතිකත්වයේ යුගයයි. අද නූතනත්වය, ජාතිකත්වය, සංවර්ධනය අදිය ගැන කතාවක් ඇරඹිලා. මා කියන්නේ ඒ සම්බන්ධ පඬි නැට්ටන්ගේ කතා ගැන නොවෙයි. ජාතිකවාදීන් අතර ම කෙරෙන කතා ගැනයි. මෙය ඉතා වැදගත්. මෙයින් කියැවෙන්නේ ඊනියා පංති සංකල්පය වගේ නොවී මෙතෙක් එක්තරා දුරකට වියුක්තව කතා බහට ලක්වුණු ජාතිකත්වය හා සංවර්ධනය අද සංයුක්ත ව ම ඉදිරියට ඇවිල්ල කියන එකයි. ඒක ඉතා ම වැදගත් කාරණයක්. ඒත් එය පසුව සාකච්ඡා කරමු. ඒ ඊටත් වඩා වැදගත් කරුණු මැතිවරණයත් සමග කරළියට ඇවිත් නිසා. 

මේ ජාතිකත්වයේ යුගය වන්නේ ජේ ආර්ටත් බලයට ඒමට ධර්මිෂ්ට කතා කියන්න ඕන වූ නිසා ම පමණක් නො වෙයි. ජාතිකත්වයක් ගැන කතාවක් නැතිව පරම්පරා උරුමයට කැලණිය පන්සලේ දායක සභාවේ සභාපති ව සිට විසි වුණු රනිල්ටත් ජාතිකත්ව ඡන්ද දෙස බලන්න සිද්ධ වුණා. ජී එල් පීරිස්ලාගේ සහායෙන් චන්ද්‍රිකා ගෙනා රට බෙදන ව්‍යවස්ථාවට රනිල් විරුද්ධ වුණෙ ජාතිකත්වයක පදනම් වෙලාවත් ජාතිකත්වයට නායකත්වය දෙන්නවත් නො වෙයි. ජාතිකත්වයේ ශක්තිය නිසා ඔහුට ඕන වුණා ජාතිකත්ව ඡන්දවල වෙනසක් ඇති කරන්න. එහෙත් ජාතිකත්වය ඔහුට රැවටුණේ නැහැ. ජේ ආර් ගේ සිට චන්ද්‍රිකා පාලන කාලය දක්වා ජාතිකත්ව මත ජනතාව අතර ඊනියා ප්‍රවාද නැතිවත් වර්ධනය වෙලා තිබුණා. චන්ද්‍රිකා බලයට පත් කිරීමේ දී ජාතිකවාදී මත දරන්නවුන් යම් ප්‍රමාණයකට එ ජා ප විරෝධය නිසා චන්ද්‍රිකාට රැවටුණු නමුත් වැඩි කල් නොගොස්  තම වරද නිවැරදි කර ගත්තා. 

මෙරට දේශපාලනය හැසිරවෙන්නේ නගරයෙන්. එය හැම රටකට ම පොදුයි. ඊනියා වමටත් පොදුයි. රනිල් චන්ද්‍රිකා මහින්ද ගෝඨාභය සියල්ලන් ම නගරයේ. මහින්ද ගමේ ගෝඨාභය නගරයේ ආදිය හිතළු පමණයි.  පඬියනුත් පඬි නැට්ටනුත් නගරයේ. සමහරු ගමෙන් ඇවිත් නාගරික සමාජයේ තැනක් ගැනීමට උත්සාහ කරන්නන්. ඔවුන්ට ඇත්තේ සුව කළ නොහැකි දරුණු හීනමානයක්. එය අසාධ්‍යයයි. ඔවුන් මිය යන්නේත් ඒ හීනමානයෙන්. 

මේ නාගරික කතාව නූතනත්වයේ ප්‍රශ්නයක් නො වෙයි. අනුරාධපුරයේත් තත්වය එසේමයි. එහෙත් එකල අද පමණට නගරයේ දේශපාලනය ගමට බලපෑවේ නැහැ. එහෙත් දේශපාලනය නගරයෙන් කෙරුණක්. නගරය අද  මෙතරම් බලපාන්නෙ පරිපාලන මධ්‍යගත බව නිසා. නගර ඇති වීම හා දේශපාලනය නාගරික වීම ගැන අධ්‍යයනයක් කෙරී ඇතැයි මා හිතන්නේ නැහැ. 

කලක් ලංකාවේ නාගරික දේශපාලනයෙන් මිදෙන්න උත්සාහයක් ගත්තෙ ජ වි පෙරමුණයි. ජ වි පෙ ගමට ගියා. මේ සම්බන්ධයෙන් මට මතක ඇති කතා දෙකක් තියෙනවා.  එකක් මා මිත්‍ර මට වඩා වැඩිමහල් ජේ ආර් පී සූරියප්පෙරුමගෙ. අනෙක මා මිත්‍ර මගේ සමකාලීන සුමනසිරි ලියනගේගෙ.

සූරියප්පෙරුම ඒ දවස්වල කියනව පැරණි වම දේශපාලනය වතු ළඟ නැවැත්තුව කියල. ඔහු උපහාසයෙන් කී කතාව තමයි පැරණි වමට කාරෙකින් යන්න පුළුවන් තැනින් දේශපාලනය නැවැත්තු ව කියල. ඒ කොහොම වෙතත් පැරණි වම කම්කරු පංතියක් ගැන මිස ඊනියා නිර්ධන පංතියක් ගැන කතා කෙළෙ නැහැ. ඔවුන් වත්තෙන් නැවතුණෙ එතැනින් එහාට කම්කරු පංතියක් තිබුණෙ නැහැ කියල ඔවුන් විශ්වාස කළ නිසා. මට මතක හැටියට එඩ්මන්ඩ් සමරක්කොඩි තමයි කිව්වෙ ලංකාවෙ විප්ලවයෙ අපිකේන්ද්‍රය (epicentre) වතු කම්කරුවන් කියා.

හැත්තෑවෙ දශකයෙ මුල තමයි සුමනසිරි පේරාදෙණියෙ ආර්ථික විද්‍යාව පිළිබඳ සහකාර කථකාචාර්යවරයෙක් වුණෙ. සූරියප්පෙරුමත් ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරල තියෙනවා. එක්තරා හාමුදුරුනමක් සූරියප්පෙරුම ගැන කිව්වෙ ඔහු ආර්ථික විද්‍යාඥයකු වුණාට සුරුට්ටුව ගන්න සල්ලි නැහැ කියල. මා ඒ බව කියන්නෙ සූරියප්පෙරුමට අගෞරවයක් කරන්න නො වෙයි. 

ඒ ආ ගිය කතා කොහොම වෙතත් හැත්තෑවෙ දශකයෙ පේරාදෙණියෙ ජ වි පෙ ඝන සැරේට වර්ධනය වුණා. නව සමසමාජයට (වාම සමසමාජෙට) හිතවත් සිසුනට එය ප්‍රශ්නයක් වුණා. සුමනසිරි තමයි සමසමාජයට හිටි බුද්ධිමතා. වික්‍රමබාහු එතරම් දේශන පැවැත්තුවෙ නැහැ. සුමනසිරිගෙ කතාවලින් මට මතක එකම එක කතාවයි. ඒ මගේ දුර්වලකමක් මිස සුමනසිරිගෙ දුර්වලකමක් නො වෙයි. ඔහුගෙ ඒ කතාවෙ මාතෘකාව වුණෙ ගමට යනවා ද කියන එක. ඒ ජ වි පෙරමුණේ එකල ග්‍රාමීය දේශපාලනය විවේචනය කරමින් ඊනියා ග්‍රාමීය නිර්ධන පංතියක් වෙනුවට කම්කරු පංතිය ඔසවා කරන ලද කතාවක් හැටියටයි මගේ මතකය. 

අසූවෙ දශකයෙ ගුණදාස අමරසේකර උගත් ගැමි තරුණ පරපුරක් ගැන කිවුව. ඒ ජාතිකත්වය හා සමාජවාදය මිශ්‍ර කතාවක්. උගත් කී විට ගැමි බව නැතිවන බවයි මගේ ප්‍රතිචාරය. වත්මන් උගත්කම නාගරික නූතනත්වය සමග බැඳිලා. ගමෙන් ආවත් නගරයේ ජිවත් වුණත් ඔවුන්ට අර පඬි නැට්ටන්ට මෙන් ම තියෙන්නෙ නාගරික සමාජයට ඇතුල් වෙන්න බැරි කමේ ප්‍රශ්නය. උගත් ගැමි කතාව ඒ තරම් කල් පවතින එකක් නොවන බව අද ජ වි පෙ පෙන්නල තියෙනවා.

ජ වි පෙටත් අද ඡන්ද තියෙන්නෙ නාගරික ප්‍රදේශවල. අද එය නගරයෙන් මෙහෙයවන තවත් පක්‍ෂයක්. ජ වි පෙ නායකයන් කොහෙන් පැමිණියත් ඔවුනට අද ඇත්තෙ නාගරික සිතුම් පැතුම්. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලින් තමයි ඔවුන්ට මන්ත්‍රී ධුර ලැබෙන්නෙ. අද තවදුරටත් ජ වි පෙ ඊනියා ගැමි නිර්ධනයන්ගෙන් පක්‍ෂයක් නොවෙයි. එය සුළු ධනේෂ්වර ද කියල මගේ තවත් මිත්‍රයකු වූ කුමාර් ඩේවිඩ්ගෙන් අහගන්න. ඕන නම් ඔහුගෙන් කියුබන් විප්ලවය ගැනත් අහන්න. අද ජ වි පෙට ගැමි තරුණයන්ට කතා කරන්න බැහැ. ජ වි පෙ අද වත්ත ළඟටවත් යන්නෙ නැහැ. 

ගැමි තරුණයන් දන්නවා විප්ලවයේ රඟ. ඔවුන් දෙවතාවක් ම එය වින්දා. විප්ලවය කියන්නෙ පට්ටපල් බොරුවක් බව ගමේ ඉන්න ගැමි තරුණයන්ට තේරෙනවා. ඔවුන් තම අපේක්‍ෂා විප්ලවයකින් මෙහා පැත්තෙ ඉටු කර ගන්න බලනවා. ඔවුන්ට බොරු ප්‍රවාදවලින් වැඩක් නැහැ. ඒත් නාගරික අපේක්‍ෂා ඇතිව නගරයට පැමිණි ඇතැමුන්ට තවමත් බොරු ප්‍රවාද වැදගත්. ඔවුන්ට මේ කෙහෙල්මල් ප්‍රවාද තේරෙන්නෙත් නැහැ. ඒත් තේරෙන බව පෙන්නනවා. ඔවුන්ට අද ජ වි පෙ අල්ලල යනවා.  

මේ තත්වය යටතෙ ජ වි පෙ හරි අර ජනබලවේගය හරි හරිනි අමරසූරිය ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම පුදුමයට කරුණක් නො වෙයි. හරිනි කියන්නෙ දිල්ලි, ඕස්ත්‍රේලියාවෙ මැකෝරි හා ස්කොට්ලන්තයෙ එඩින්බරා විශ්වවිද්‍යාලවල උගත් බුද්ධිමත් කතක්. ඇය විවෘත විශ්වවිද්‍යාලයෙ සමාජවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්. ඇය ලංකාවෙ විශ්වවිද්‍යාලෙක ඉගෙන ගත්ත බවක් ආරංචි නැහැ. කවුරුන්වත් ඇගෙන් අහන එකක් නැහැ ඇයි පිටරට පමණක් ඉගෙන ගත්තෙ කියල. ඒ වගේ ප්‍රශ්න අහන්නෙ ලංකාවෙ ඉගෙන ගත්ත මගේ දරුවන් ගැන.  එය ලොකු ප්‍රශ්නයක් වුණා. හරිනි ලංකාවෙ මොන පාසලට ගියා ද කියල මට දැනුමක් නැහැ. ඒ ප්‍රශ්නයත් වැදගත් වෙන්නෙ මගේ දරුවන් සම්බන්ධයෙන්. 

හරිනි, ප්‍රසිද්ධ අමරසූරිය පවුලට සම්බන්ධ කියලයි මා හිතන්නෙ. අමරසූරියල නම් ලංකාවෙ ඉන්න ඉහළ ම ධනවතුන්. හරිනිට විප්ලවයට ඒක නුසුදුසුකමක් නො වෙයි. එංගල්ස් කියන්නෙ ධනපතියෙක්.  ඇය ජී එල් පීරිස්ගෙ නෑයෙක් ද කියල මා දන්නෙ නැහැ. ජී එල් විවාහ වෙලා ඉන්නෙ අමරසූරිය පවුලෙන්. හරිනිට මා හිතන්නෙ විජේවීරට සම්බන්ධයක් තියෙනවා. ඒ ඇය කරාවෙ නම්.මා කුල කතා කියනවා නො වෙයි. ලංකාවෙ කුල අධ්‍යාපනයෙ විශාරද වික්ටර් අයිවන් මොකක් ද ඒ ගැන කියන්නෙ කියල දැන ගන්න පුළුවන් නම් හොඳයි. තවමත් ජ වි පෙ කුලය මත රැඳිල ද? අමරසූරිය පවුල කරාවෙ.

මා මේ සියල්ල සඳහන් කරන්නෙ ජ වි පෙ අද තවත් නාගරික පක්‍ෂයක් බව කියන්න. අද ජ වි පෙරමුණට තවත් ගැමි කතා නැහැ. ඔවුන්ට අද කුමාර් ඩේවිඩ්, නදීක ගුරුගේ  වැනි උගතුන් විශාරදයන් සහ පඬි නැට්ටන් (මාඕවාදීන් ට්‍රොට්ස්කිවාදීන් ලිබරල්වාදීන් ස්ත්‍රීවාදීන් ලිංගිකත්වවාදීන් සහ තවත් වාදීන් එකට ඉන්නෙ කොහොමද කියල මා අහන්නෙ නැත්තෙ දේශපාලන පක්‍ෂවල හා සංවිධානවල  වැඩ කිරීමෙන් මා ලත් අත්දැකීම් ද සමගින්)  එක්ක තමයි ගණුදෙනුව තියෙන්නෙ. අද අනුර කුමාර දිසානායකට කියන්න පුළුවන් හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා කියා. මෙහි දේශපාලන අර්ථයක් මිස කිසිම ව්‍යංගාර්ථයක් නැති බව පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා අවධාරණය කරන්න ඕන.