History

Sunday, 16 August 2020

ජාතිකත්ව කරත්තය ඉදිරියට බල්ලෝ බුරත්වා

                          


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9





ජාතිකත්ව කරත්තය ඉදිරියට බල්ලෝ බුරත්වා


කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු සුවාදීනයන්ට, ඔවුන්ගෙන් පැවත එන අයට (ගෝලයන්ට)  හා ඔවුන් ඈසුරු කරන්නන්ට  සිංහල බෞද්ධ රාජ්‍යය කියන්නෙ මොකක් ද කියන එක ගැන කිසිම වැටහීමක් නැහැ. ඔවුන් අවුරුදු තිස්පහකට පමණ ඉහත දී හිතන් හිටියෙ ජාතික චින්තනය කියන්නෙ බරකරත්තෙන් ආපසු අනුරාධපුරයට යෑම කියලා. පඬියන් මෙන් නොව ගෝඨාභය රාජපක්‍ෂ කියන්නෙ සර්වතෝභද්‍ර පුද්ගලයෙක් නො වෙයි. එහෙත් පසුගිය මාස අටක පමණ කාලයක ඔහු කර ඇති දෙයින් පැහැදිලි වන්නෙ ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය හඳුනන බවයි. දැන් අලි සබ්‍රි ගැන අහාවි. ඔහු ගැන මා ලියා තියෙනවා. ඊයේ එක් පඬියකුට අවශ්‍ය වුණා මා ඥානසාර හාමුදුරුවන් ගැන ලියල අලි සබ්‍රි ගැන ලියන්නෙ නැත්තෙ මොකද කියල දැනගන්න!  

අප මේ ආණ්ඩුවෙන් තබා මීළඟ ආණ්ඩුවෙන්වත් සිංහල බෞද්ධ රාජ්‍යයක් බලාපොරොත්තු වන්නෙ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂට නොවෙයි ශක්‍රයාටවත් ඒක කරන්න බැහැ. අප කල්පනා කරන්නෙ 2035න් ඔබ්බට. එතෙක් මා ජීවත් වේවි ද කියන එක ප්‍රශ්නයක්. ඒත් මා දන්න කරුණක් තියෙනවා. මේ ආණ්ඩුවේ හා පිටත කිහිප දෙනකු 2030 ඉලක්ක කර ගෙන වැඩ කරනවා. අපි බලමු සුදුස්සකු පත් කර ගෙන සිංහල බෞද්ධ රාජ්‍යය දෙසට යන ගමන තවදුරටත් යන්න. 

සිංහල බෞද්ධ රාජ්‍යයක තියෙන්නෙ බරකරත්ත විතරයි කියල කවුරු හරි හිතන් ඉන්නවා නම් ඒ අඥානකම. ඔවුන් බුදුහාමුදුරුවන්ගෙ වචනවලින් ම නම් මෝඝ පුරුෂයන්. සිංහල බෞද්ධ රාජ්‍යයක හරි ඒ දිශාවට යන රාජ්‍යයක හරි බටහිර ක්‍රමයෙ ආර්ථික රටා තියෙන්න බැහැ කියල සමහරු හිතනවා ඇති. ඒ සමහර ආර්ථික රටා තියෙන්න පුළුවන්. සමහර ඒවා නැති වෙන්නත් පුළුවන්. 

සමහර පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් තමන්ගෙ ජනහිතකාමී ජනතා ජනබලවේගය පැරදුණෙ මොකද කියල හිතන්නෙ නැතිව ගෝඨාභය රාජපක්‍ෂ ජාතික චින්තනයෙ ද නැත් ද කියල දැන ගන්න පොත් පෙරළනවා. ගෝඨාභය රාජපක්‍ෂ තියා මාවත් ජාතික චින්තනයෙ නැහැ. මේ පඬි නැට්ටන්ට වුවමනා මා නැතිවනවා දකින්න පමණයි. මා ඉදිරිපත් කර ඇති මත අදහස් පරදිනු දැකීමටයි. සම්මජාතියේ අලුත් අදහසක් ඉදිරිපත් කර නැති පඬි නැට්ටන්ට සිංහලයකු අලුත් දෙයක් කියනවා දැකීමත් ඇහැට කටු ඇනීමක්. ඔවුන් කට ඇරගෙන බලා ඉන්නෙ බටහිරින් අදහසක් ලැබෙන තෙක්.

සමහරු කියනවා පහුගිය නොවැම්බරයෙ හා මේ අගෝස්තුවෙ ලත් ජයග්‍රහණ ගුණදාස අමරසේකර හා මා අසුවේ දශකයේ ආරම්භ කළ ජාතික ව්‍යාපාරයක ජයග්‍රහණයක් කියලා.  පළමුවෙන් ම කියන්න ඕන මා නම් කොහොමටවත් එහෙම හිතන්නෙ නැහැ කියලා. සමහර විට එය අමරසේකර ගෙන ගිය ව්‍යාපාරයෙ ජයග්‍රහණයක් වෙන්න ඇති. දෙවනුව ගුණදාස අමරසේකර කියන එක නො වෙයි මා කියන්නෙ. අමරසේකර තමයි ජාතික චින්තනයක් ගැන කිව්වෙ. ඒක මෙරට සංකල්පයක් නම් නො වෙයි. එය නැෂනල් තෝට් කියන එකෙහි සිංහල පරිවර්තනය. මා කතා කෙළේ චින්තනයක් ගැන. එහෙත් මුල දි අප එකට පෙනී හිටියා. ජාතික චින්තනය කියන එක මා දැක්කෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ එක් බිත්තියක බෞද්ධ කොඩිය ඇඳීම වගේ වැඩක් හැටියට. උඩින් ජාතිකත්ව සංකේත. ඇතුළෙ තනිකර බටහිර සංකල්ප හා ප්‍රවාද. ජාතික චින්තනයෙ ජාතිකත්වය සමග මාක්ස්වාදී සමාජවාදය කලවම් වෙලා. චින්තන සංකල්පයෙ එහෙම එකක් නැහැ.

සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපති විය හැකි බව මා කීවේ සිංහල ජාතිකත්වය ඒ වන විට රටේ තහවුරු ව තිබූ ප්‍රමාණය අනුව. අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට තරම් සිංහල ජාතිකත්වය තහවුරු වී ඇති බව මට වැටහුණා. එය සිදු වූයේ මගේ හපන්කමකට නො වෙයි. මා කළ ලොකු දෙයක් නැහැ. කොහොමටත් මා කර ඇති පොඩි දේ වුණත් පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට පමණක් නොවෙයි බොහෝ ජාතිකවාදීන්ටත් තේරෙන්නෙත් නැහැ. ජාතිකවාදීන්ට නොතේරීම ගැන නම් මට කණගාටුවක් තියෙනවා.  එහෙත් මට එහි පුදුමයක් නැහැ. පස්වැනි සියවසෙන් පමණ පසු අපේ චින්තන ශක්තිය දුර්වල වෙලා. 

අද සිදුවෙන දේශපාලන වෙනස්කම් සියල්ල එක මිටට තේරුම් ගන්න පුළුවන් සිංහල ජාතිකත්වය යන සංකල්පය මත පදනම් වෙලා. සිංහල ජාතිකත්වය තහවුරු කළ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනකු වූයේ ජේ ආර් ජයවර්ධන හා චන්ද්‍රිකා කුමාරතුංග. පනස්හයේ සිට සිංහල ජාතිකත්වය වර්ධනය වුණා. ඒ කියන්නෙ ඉන් පෙර ද තිබූ ජාතිකත්වයක් තිබූ බවයි. දෙමළ ජාතිවාදය බාහිරින් ආධාර ලැබ සිංහලයන්ට විරුද්ධ ව අවි ගැනීම ද සිංහල ජාතිකත්වය වර්ධනය කිරීමට හේතු වුණා. 1976 වඩුකොඩෙයි සම්මේලනය ඉතා  වැදගත් කාර්යයක් ඒ වර්ධනයෙහි ලා සිදු කළා. ජේ ආර් තිම්පු ගිහින් හිස් අතින් ආවා.

පනස්හයෙන් පසු සියල්ලන්ට පාහේ යම් ජාතිකත්වයක් මත පිහිටන්න වුණා. ඩඩ්ලි සේනානායක, ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස පමණක් නොව සජිත් ප්‍රේමදාසත් ජාතිකත්ව කතා කීිව්වා. එසේ නොකී තැනැත්තා රනිල් වික්‍රමසිංහ. එහෙත් ඔහුටත් පසු කාලයෙහි ජාතිකත්වයේ වැදගත්කම අවබෝධ වී තිබුණා. නමුත් ඔහුගේ අවාසනාවට හා සිංහල ජාතියේ වාසනාවට එය ටිකක් ප්‍රමාද වී සිදු වුණේ. ජාතිකත්ව කතා කිව්වත් ඉහත සඳහන් නායකයන් දෙමළ ජාතිවාදයටත් යට වුණා. එය බටහිර රටවල බලපෑම මෙන් ම ඡන්ද ලබා ගැනීමේ අවශ්‍යතාවත් නිසා සිදු වූවක්. මේ සම්බන්ධයෙන් හොඳ ම උදාහරණය ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමකුත් තිබුණු බව අමතක කරන්න එපා. ඒ සියල්ල ජාතිකත්වය විසින් පරාජය කෙරුණා. ඒ පනහේ දශකයේ හා හැටේ දශකයේ. අසූවේ දශකයට බොහෝ කලින්.

ජේ ආර්ගේ බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය නිසා ඔහු අවසානයේ දී බටහිරත් ඉන්දියාවත් දෙක ම නැති කර ගත්තා. ඉන්දු ලංකා ගිවිසුම එහි ප්‍රතිඵලයක්. බටහිරත් ඒ ගිවිසුමට අනුග්‍රහය දුන්නා. ජේ ආර්ගේ රෙද්ද බැනියම මෙන් ම ධර්මිෂ්ට රාජ්‍යයත් ව්‍යාජයක් බව සිංහලයන් තේරුම් ගත්තා. ජේ ආර් විසිවන බව දුටු බටහිරයන් හා රාජ්‍ය නොවන ගැත්තන් චන්ද්‍රිකා ගෙන්වා ගත්තා. ඇය කවුද කියා අප එදා ම තේරුම් ගත්තත් ජනතාව තේරුම් ගත්තේ පහු වෙලා. චන්ද්‍රිකාට අවශ්‍ය ව්‍යවස්ථා සම්පාදනය කිරීමට සිංහල ජාතිකත්වය ඉඩ දුන්නේ නැහැ. 2001 -2004 අවධියෙ මෙරට ව්‍යාකූල දේශපාලනයක් තිබුණෙ. ජාතිකත්වයට තෝරා ගැනීමට නායකයකු සිටියේ නැහැ. එහෙත් ඒ ව්‍යාකූලත්වය මහින්දාගමනයෙන් නැති වුණා. 2005 දී මහින්ද බලයට පත් වුණා. 2009 දී අනභිබවනීය යැයි කියු කොටි පරාජය කළා. නැපෝලියන්ගෙන් පසු පහළ වූ යුද විරුවා යැයි අභිෂේක ලැබූ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ පා වුණා. එදා දෙමළ ජාතිවාදය පැරදුණා. 

එදා සිට දෙමළ ජාතිවාදයට රටේ තැනක් නැහැ. දෙමළ ජාතික සංධානය ක්‍රමයෙන් බලයෙන් පිරිහී ගොස්. විග්නේෂ්වරන් කියන්නෙ අන්තිම ව්‍යාජ පුද්ගලයෙක්. ගජේන්ද්‍ර පොන්නම්බලමුත් එහෙමයි. සුමන්තිරන්ට යාපනයේ තැනක් නැහැ. මේ තුන් දෙනාම කොළඹ පදනම් කර ගෙන ජීවත්වන රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්. මා හිතන්නේ ජීවන් තොණ්ඩමනුත් ඒ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. එහෙත් ඔහුට තම මුත්තාගෙන් උරුම වූ වැවිලිකරයේ යම් පදනමක් තාමත් තියෙනවා. පහුගිය මැතිවරණයෙන් දෙමළ කතා කරන ජනයාට අවශ්‍ය මොනවා ද කියන එක පැහැදිලි වුණා. ඔවුන්ට වෙන ම රටක් තබා පළාත් සභාවත් අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ගොවිතැන, කර්මාන්ත, ධීවර රැකියාව,  දරුවන්ගේ අධ්‍යාපනය ආදිය ඔවුන්ට වැදගත්. සන්ධීය සහසන්ධීය රාජ්‍යය අවශ්‍ය කොළඹ නඩු කතා කරන නඩු අහපු දෙමළ වෙල්ලාල නායකයන්ට. 

2015 මහින්ද පරාජය කරන්න සිරිසේන තෝරගනු ලැබුවෙත් බටහිරයන් විසින්. ඒ සිරිසේනට යම් ජාතිකත්වයක් තිබුණ නිසා. සිරිසේන පමණක් නොව ඊනියා යුග පෙරළි කාරයන් ද සිරිසේන තෝරා ගැනීම ගැන දැන ගත්තෙ කාලෙකට පස්සෙ. ඒ බටහිර සැලැස්ම 2018 ඔක්තෝබරයේ පරාජය කෙරුණා. මහින්ද අගමැති වුණා. අද වන විට ඒ හිත් නොහොඳකම් නැති වෙන්න ඕන. සිංහලයන් ශ්‍රී ල නි පාක්‍ෂිකයන් දහසය දෙනකු ම තෝරා පත් කර එවුවේ ඔවුන්ගේ සුහදත්වය පෙන්වමින්. පඬියන් හා ජාතිකවාදීන්  මට තව තවත් සිරිජාතිකවාදියා කියන්න, විද්‍යාව පට්ටපල් බොරු කියමින් නොපෙනෙන දෙවියන් පසුපස යන මෝඩයකු කියා කියන්න. මට ඒ එකක්වත් ප්‍රශ්න නොවෙයි. 

සජිත්ට තම පියාට මෙන් සිංහලයන් රවටන්න බැහැ. ඔහු පන්සල් ගියත් එය යළි ඉපදීමක් පමණක් බව සිංහලයන් ඉවෙන් මෙන් වටහා ගත්තා. ඔහුට සිංහලයන්ගෙන් යම් ඡන්ද සංඛ්‍යාවක් ලැබෙන්න ඇති. එහෙත් ඔහුට තමාට ලැබුණු මුස්ලිම් ඡන්ද ප්‍රමාණය අමතක කරන්න බැහැ. මනෝ ගනේෂන් නිසා නම් ඔහුට ලැබූුණු දෙමළ කතාකරන ජනයාගේ ඡන්දයක් නම් නැහැ.  එහෙත් ඔහු මූහුණු පොතේ වචනයක් යෙදා ගත්තොත් හොඳ දෙඩුම් ශිල්පියෙක්. මුහුණු පොතේ ඉන්න අය ලියුම් ශිල්පීන්. ජනමාධ්‍යවේදීන්ට මනෝ ගනේෂන් අල්ලලා යනවා. ඒ කොහොම වුණත් දෙමළ මුස්ලිම් දේශපාලනඥයන් හැමදාමත් ක්‍රියා කළ ආකාරයෙන් අද සජිත්ට බලපෑම් කරනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලනවා.

පහුගිය කාලයේ සිංහල ජාතිකත්වය ලැබූ වැදගත් ම ජයග්‍රහණයක් වුණෙ දෙමළ මුස්ලිම් දේශපාලනඥයන්ගේ සහායක් නැතිව ආණ්ඩුවක් පිහිටවීමයි. පහුගිය ජනාධිපතිවරණයෙ දි තමයි එය කළ හැකි බව ප්‍රායෝගිකව ම පෙන්නුම් කෙරුණෙ. දෙමළ ජාතිවාදී නායකයන් මෙන් ම මුස්ලිම් අන්තවාදී නායකයන් ද වෙනදා කළේ දිනන පක්‍ෂය තෝරා ගෙන එයට ආධාර කිරීම, නැත්නම් පක්‍ෂයක් බලයට පත් වූ පසු එයට ආධාර කිරීම හා එමගින් කේවල් කිරීම. එහෙත් මෙවර ඔවුන්ට එය කරන්න බැහැ. ඔවුන් සජිත් පරදින බව දැන දැන ම ඔහුට ආධාර කළා. ඔවුන්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. එමෙන් ම අද ඔවුන්ට ජයග්‍රාහී පක්‍ෂයට එකතු වන්න විධියකුත් නැහැ. ඔවුන්ට දැන් ආණ්ඩුවට කොන්දේසි දාන්න බැහැ. අලි සබ්‍රි ඔවුන්ගේ වුවමනාවට පත් කළ අයකු නො වෙයි. ඔහුට මුස්ලිම් ඡන්ද දාහක් ගන්න පුළුවන් කියා මා හිතන්නේ නැහැ. අලි සබ්‍රිට කේවල් කිරීමේ හැකියාවක් නැහැ. 

අනුරාධපුරයට නොවුණත් ජාතිකත්ව කරත්තය ඉදිරියට ම යනවා. බල්ලෝ තව තවත් බුරත්වා!  පඬියන් කියන්න බැරි නැහැ ජාතිකත්වය කියන්නෙ කරත්තයක් කියලා. ඔවුන්ට සිංහල තේරෙන්නෙ නැහැ.