History

Saturday, 15 August 2020

මගේ ජන බල පක්‍ෂ තුන

                          


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9






මගේ ජන බල පක්‍ෂ තුන

එංගලන්තයේ කීනී මීනි සංවිධානයේ කුලී හේවායන් අසූවේ දශකයේ කොටි සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරම පිළිබඳ ව ලන්ඩන් පොලීසිය සොයන්න පටන් අරන්. අසූ ගණන්වල මුල එංගලන්තය කොටි සංවිධානයට විරුද්ධවයි කටයුතු කෙළේ. එකල තිබුණේ ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව. එංගලන්තය ජේ ආර් ආණ්ඩුවට සහාය දීම පුදුමයක් නො වෙයි. දෙමළ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නයේ දී එංගලන්තය දෙමළ ජාතිවාදයට විරුද්ධ ව කටයුතු කළ එක ම කාල පරිච්ඡොදය එය වන්න පුළුවන්. මේ සම්බන්ධ ලිය කියවිලි ඉදිරියේ දී එළිදකීවි ද? 

අපි එය පසුව අවස්ථාව පැමිණි විට කතා කරමු. අපි අපේ ජන බල පක්‍ෂයේ මතු වී ඇති ප්‍රශ්නය ගැන ටිකක් කතා කරමු. මට තියෙන ප්‍රධාන පශ්නය  අපේ ජන බල පක්‍ෂය කාගේ ද යන්න ය. මා එයින් අදහස් කරන්නේ එයට බටහිර රටකින් මුදල් යම් ප්‍රමාණයක් ලැබුණා ද යන්න නො වෙයි. මෙවැනි කුඩා පක්‍ෂවලින් පාර්ලිමේන්තු දේශපාලනයේ බලපෑමක් කරන්න බැහැ. ඒ නිසා බටහිර රටවල් අර පොකට් මනි යනුවෙන් හැඳින්වෙන මුදලකට වැඩි දෙයක් එහෙම දුන්නත් දෙන්නෙ නැහැ. 

මගේ ප්‍රශ්නය අපේ ජන බල පක්‍ෂය ලංකාවේ කාගේ ද යන්නයි. එය අපේ නම් නො වෙයි. එය අද ඔවුන්ගේ තත්වයෙනුත් මිදී මගේ පක්‍ෂය බවට පත්වෙලා. එහෙත් මගේ පක්‍ෂයට තුන් නමක් අයිතිවාසිකම් කියනවා. මේ තුන් නම අතරින් ලේකම් හාමුදුරුවො ගැන අප වැඩි දෙයක් දන්නෙ නැහැ. ඥානසාර හාමුදුරුවො නම් උන්වහන්සෙ ගැන  දන්නවා. ලේකම් හාමුදුරුවන්ට නඩු කීයක් තියෙනවා ද කියල ඥානසාර හාමුදුරුවන්ගෙන් දැන ගන්න පුළුවන්. ඒත් මා හිතන්නෙ ලේකම් හාමුදුරුවන් ගැන ඒ කරුණු මුල දි දැන ගෙන ඉන්න නැතිව ඇති. දැන ගෙන හිටිය නම් කීයටවත් උන්වහන්සෙ අපේ ජන බල පක්‍ෂෙ ලේකම් තනතුරට පත් කර ගන්න එකක් නැහැ.  

මා කලක ඉඳන් දන්නා හඳුනන රතන හාමුදුරුවන් කියන්නෙ මොකක් දෝ ගිවිසුමක් අනුව පක්‍ෂය, නැහැ මන්ත්‍රී ධුරය තමන් වහන්සේට හිමි විය යුතු බවයි. උන්වහන්සෙ මා හඳුන්වන්නෙ නලියා කියායි. පඬියන් ද එනමින් මා හඳුන්වන නිසා ඒක ගණන් ගන්න එපා. ඥානසාර හාමුදුරුවන් කියන්නේ උන්වහන්සේ ගේම් වහන්සේ කෙනකු නොවන බවයි. ඒත් සාධාරණය වෙනුවෙන් පාර්ලිමේන්තුවට වඩින්න ඕන කියන එක තමයි උන්වහන්සේගේ තර්කය. ඒ මොකක් වුණත් අපේ ජන බල පක්‍ෂය වෙනුවට දැන් මගේ ජන බල පක්‍ෂ තුනක් තියෙනවා. මේ සංඝ ප්‍රශ්නයත් ක්‍රිස්තියානි රෝම ලන්දේසි නීතිය යටතෙ තීරණය වේවි කියල තමයි හිතන්න පුළුවන්.

ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් ප්‍රශ්නයට මැදිහත් වෙලා. උන් වහන්සේ සංඝ පීතෘවරයාණන් වහන්සේ කෙනකු ලෙස ඉල්ලා සිටින්නේ තුන් නමගෙන් කොහොම වෙතත් දෙනමගෙන් එක් නමක් අඩියක් පස්සට වඩින්න කියා. අර ලේකම් හාමුදුරුවො ගැන මා දන්නෙ නැහැ. සෝභිත හාමුදුරුවනුත් අනෙක් දෙනමත් විවිධ අවස්ථාවල චම්පක සමග සම්බන්ධ ව වැඩ හිටියා. නැහැ චම්පක උන්වහන්සේලගෙ දායකයකු ලෙස නම් නො වෙයි. චම්පක උන්වහන්සෙලාගෙ අනුශාසක හරි ඊට උසස් තනතුරක් දැරූ අයකු හරි. අර එකල හෙළ උරුමෙ දයාරතන හාමුදුරුවන්ගෙන් අහගන්න පුළුවන් චම්පක මොන තරම් සැදැහැ සිතකින් ගාන මාන කටයුතුවල යෙදුණ ද කියලා. 

සෝභිත හාමුදුරුවන් අවවාද කරල නැහැ මගේ ජන බල පක්‍ෂ තුන නැතිව අපේ ජන බල පක්‍ෂය හැටියට ඩිලන්ත  හරි වෙන සැදැහැවත් ගිහියකු හරි පාර්ලිමේන්තුවට යවන්න කියා. ඩිලන්ත දායකතුමා මියන්මාරයටත් යන එන බව දැන ගන්න ලැබුණා. වෙන මොන රටවලට ද යන්නෙ කියා මගෙන් අහන්න එපා. මට දැන ගන්න කිසිම විධියක් නැහැ. ඉංගිරිසියෙන් නම් දෙයාර් ඉස් නෝ වේ.  සෝභිත හාමුදුරුවන්ට අවවාද කරන්න බැහැ හාමුදුරුවරු පාර්ලිමේන්තු වඩින එක සිංහල බෞද්ධ සම්ප්‍රදායටවත් මියන්මාර බෞද්ධ සම්ප්‍රදායටවත් එකඟ නැහැ කියල. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා කියල කතාවක් සිංහලයන් අතර තියෙනවා.

සෝභිත හාමූදුරුවො මහානායක හාමුදුරුවන්ගෙ වචනයට එකඟ නැති බවයි පේන්න තියෙන්නෙ. මහානායක හාමුදුරුවරු නම් තුන් නමට අනුශාසනා කෙළෙ ගිහියන්ට ඉඩ දීල පාර්ලිමේන්තු නොවඩින ලෙස. අද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මා හිතන්නෙ මසකට වරක් නායක හාමුදුරුවරු බැහැ දැකල උපදෙස් ගන්නවා. ඒක තමයි සිංහල බෞද්ධ සම්ප්‍රදාය. අර හාමුදුරුවරු තුන් නම නායක හාමුදුරුවරු නොවන නිසා ජනාධිපති හමුවන්න වෙනත් ක්‍රමයක් හොයනවා ද දන්නෙ නැහැ.   

ඔය හාමුදුරුවරු කලකට ඉස්සර පාර්ලිමේන්තු වඩින දවස්වල මා පොත් පිංචක් ලිව්වා මැතිවරණය හා හාමුදුරුවො කියල. ඒකෙන් සතපහක වැඩක් වුණෙ නැහැ. මා පීචං වෙච්ච එක විතරයි වුණෙ. හාමුදුරුවරු පාර්ලිමේන්තු වැඩියා. ඊට ඉස්සරත් සමිිත හාමුදුරුවො පාර්ලිමේන්තු වැඩල තිබුණා. ඒ සමසමාජ පක්‍ෂෙන්.  සමසමාජෙට එච්චර ජාතිකත්වයක් තිබුණෙ නැහැ. ඔය විවිධ ජාතික (හෙළ, සිංහල) උරුමවලට එච්චරවත් ජාතිකත්වයක් නැහැ.

මෙයට කලිනුත් දැන් වගේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ හෙළ උරුමයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබුණ ම. ඒක එස් එල් ගුණසේකරට දුන්නෙ නැහැ. චම්පක එය තමන්ගෙ එකක් හැටියට යොදා ගත්තා. ඒ කාලෙ ඕමල්පෙ සෝභිත හාමුදුරුවො හෙළ උරුමයට සම්බන්ධ ද කියල මට මතක නැහැ. ඒත් කිසිවකු චම්පකට අඩියක් පස්සට ගන්න කියල අවවාද කරපු බවක් මට මතක නැහැ. චම්පක ඒ වෙලාවෙ අඩියක් පස්සට ගත්ත නම් මේ වෙලාවෙ මොකක් කරන්න තිබුණ ද? කාගෙ වුණත් වෙලාව කියන්නෙ ඕකටයි. 

මගේ ජන බල පක්‍ෂ තුනේ ප්‍රශ්නය විසඳෙන්න ටිකක් කල් යයි වගේ. තුන් නම ම සෝභිත හාමුදුරුවොත් එක්ක වැඩල චම්පකගෙන් උපදේශයක් ගත්තොත් නරක ද? ශාසනේ රැක ගන්න ඕන කාගෙන් ද කියන ප්‍රශ්නය නම් තියෙනවා. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කරන්න  පක්‍ෂ සළුවෙන්න ඕන කියල පනතකින් හරි කියනවා නම් හොඳයි. මෙවර දිවයිනෙන් ම ඡන්ද 0.58%ක් ගත්ත පක්‍ෂවලටත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කරන්න පුළුවන් කම ලැබුණා. එය එතරම් හොඳ තත්වයක් නො වෙයි. 3%කවත් (ජාතික මන්ත්‍රී ධුර සංඛ්‍යාව 29 බැවින්) ඡන්ද  ගැනීමට නොහැකි පක්‍ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමි විය යුතු නැහැ. ඔවුන් පරාජිත පක්‍ෂ. 4%ක් කළොත් ජ වි පෙරමුණත් ඉවරයි. පරාජිත අපේක්‍ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම නුසුදුසු වගේ ම ඡන්දදායකයන් ප්‍රතික්‍ෂෙප කළ පක්‍ෂවලටත් ජාතික මන්ත්‍රී ධුර දීම සුදූුසු නැහැ. ඔවුන් ජාතික මන්ත්‍රීවරුන් වෙන්නෙ මොන ජාතියෙන් පත්වෙලා ද?