History

Friday, 14 August 2020

දහතුන, දහනවය, යාපනේ ඡන්ද හා දෙමළ ජාතිවාදය

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9



දහතුන, දහනවය, යාපනේ ඡන්ද  හා දෙමළ ජාතිවාදය



දහනවය සංශෝධනය කරන එක තමයි මේ ආණ්ඩුවෙන් කෙරෙන මුල් ම ව්‍යවස්ථා සංශෝධනය. දහතුන ගැන කතාවක් තවමත් නැහැ. පසුව නව ව්‍යවස්ථාවක් ගෙනෙන විට ඒ ගැන කතා කරන්න වේවි. අපි පළමුව දහනවය ගැන කතා කරමු. කෙරෙන්නේ දහනවය ටින්කරින් කිරීම තමයි. ටින්කරින් කිරීමට විරුද්ධව එක ම ජාතිකවාදී හෝ නොවන හෝ ඇමතිවරයකු ආණ්ඩුවෙන් එළියට බහින්නෙ නැහැ. බැස්සොත් බැස්ස තමයි කියල කවුරුත් දන්නවා. 

දහනවයේ සාධනීය අංග තියෙන බව අපට බොහෝ දෙනා කියනවා. අර ඊනියා ස්වාධීන කොමිසම් ඉන් එකක් හැටියට පෙන්නනවා. මට නම් එහි ඇති සාධනීය බවක් නැහැ. ස්වාධීන කොමිසම්වලට සුවාදීනයන් පත් කර ගැනීමේ හැකියාව තියෙන බව ජඩපාලන ආණ්ඩුව පෙන්නුම් කළා. ලෝකයේ නැති ස්වාධීනයන් ගැන කතා නොකර ඉන්න එක වඩා හොඳයි. රධිකාලගෙ හූල්ලගෙ ස්වාධීනකම ගැන මිනිසුන් හූල්ල හූල්ල හිටියෙ. අපි නිකම් බොරුවට ප්‍රජාතන්ත්‍රවාදී වෙස් මුහුණු දාගෙන ප්‍රබුද්ධයන් වෙන්න දඟලන්න ඕන නැහැ. මට නම් ප්‍රබුද්ධයකු වීමේ කිසිම ආශාවක් නැහැ. 

ජනාධිපති ධුරය වාර දෙකකට සීමා කරන්නත් ඕන නැහැ. ඇමරිකාව කියන රටේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඇමරිකාවෙ ජනාධිපතිල තම වාර අවසන් වීමෙන් පසු ගෙදර යනවා. මෙහෙ ජනාධිපතිල වාර අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුවට යනවා. මා ඒකෙ වරදක් දකිනවා නො වෙයි. හිටපු ජනාධිපති බලතල සහිත අගමැති වෙන එකේ ජනාධිපති ම වුණා ම මොක ද? දහනවෙන් අගමැතිට දීල තියෙන බලතල එහෙම ම තියනවා ද? ඒවා සාධනීය ද? මේ ගැන තවදුරටත් දැන ගන්න පුටින් සමග සූම් සාකච්ඡාවක් සංවිධානය කරන්න. 

ඡන්දදායකයන්ට අවශ්‍ය නම් යමකු තුන් හතර වාරයක් ජනාධිපති කරන්න ඒකට ඉඩ දෙන්න ඕන. ඡන්දදායකයන් අවුරුදු පහකට වතාවක් හරි තීරණය කරන්න ඕන ජනාධිපති නැවත ජනාධිපති කරනවා ද අගමැති කරනවා ද පාර්ලිමේන්තු යවනවා ද ගෙදර යවනවා ද වෙනත් කොහාට හරි යවනවා ද කියා. පොඩි කොස්සකට තියෙන්නෙ ඡන්දදායකයන්ට කලින් ඒ වරම දේශපාලන පක්‍ෂවලට ලැබීමයි. 

මා දහනවයෙ දකින එක සාධනීය දෙයක් තමයි ද්විත්ව රටවැසියන්ට පාර්ලිමේන්තු එන්න, ජනාධිපති වෙන්න බැහැ කියන එක. සමහර පඬියන්ට මෙය පේන්නෙ ද්විත්ව රටවැසියන්ගෙ මානව අයිතිවාසිකම් කප්පාදු කිරීමක් ලෙස. සමහරු හිතනවා දක්‍ෂතා ඇති ද්විත්ව රටවැසියන්ගෙන් රටට වැඩක් කර ගන්න ඕන කියලා. ඔය පඬියන්ට මේ බාධකයෙහි තියෙන මූලික කාරණය තේරෙන්නෙ නැහැ. ඒක පඬියන්ගෙ ලක්‍ෂණයක්. ඔවුන් හැම තිස්සෙම අල්ල ගන්නෙ ද්විතීයික නැත්නම් තෘතීයික කරුණක්. ද්විත්ව රටවැසියකු රටවල් දෙකකට පක්‍ෂපාත වෙන්න ඕන. එවිට ඇලුම් ගැටුමක් ඇති වෙනවා. පඬියන්ගෙ භාෂාවෙන් කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කියන්නෙ. 

ලංකාවටයි තවත් රටකටයි දෙකට ම පක්‍ෂපාත වෙන්න ඕන අයකුට ලංකාවෙ නීති සම්පාදන කටයුතු පරිපාලන නිලධාරි තනතුරු විදේශ සේවා තනතුරු තානාපති තනතුරු ආදිය දරන්න දෙන එක වැරදියි. මෙතන දි අහවලා විශ්වකර්මයටත් වඩා වැඩ කාරයෙක්,  මෙරට රටවැසියකුට තනතුරු දැරීමට ඇති මානව අයිතිය වගේ ප්‍රශ්න තෘතීයියකයි. රටවැසිකම රටවැසි පනතෙනුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 28 වැනි වගන්තියෙ මූලික යුතුකම්වලිනුත් සීමා වෙනවා. යම් නිලතලවලට පත් වන අය ව්‍යවස්ථාවේ හතරවැනි උපලේඛනයේ සඳහන් ප්‍රතිඥාව ද දෙන්න ඕන. මා හිතන්නෙ මේ ප්‍රතිඥාව ඉහත සඳහන් තනතුරු සම්බන්ධයෙන් තවත් දැඩි විය යුතු ය කියා. ශ්‍රුී ලංකා ජනරජයට පක්‍ෂපාත වන බව ප්‍රතිඥාවෙ සඳහන් වෙනවා. එයට වෙනත් රජයකට පක්‍ෂපාත නොවන බවට ද වාක්‍යාංශයක් ඇතුල් වෙන්න ඕන. 

දහතුන දැන් අහෝසි කළ යුතු කාලය ඇවිල්ල. එය ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක්. ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියාවට තිබූ වැරදි තොරතුරු නිසා ඇති කර ගත් ඉන්දීය රජයේ ප්‍රතිපත්තිය නිසා ඇති වූවක්. ඉන්දියාවට නිවැරදි තොරතුරු සැපයීම රජයේ කාර්යයක්. සිංහලයන්ට වංගය, කාලිංගය, මහාරාෂ්ටය සමග ඇති සම්බන්ධකම් නොදන්න ඉන්දියානුවන් තීරණ ගන්නා තැන්වල ඉන්නවා. 

ඉන්දියාව හා චීනය සමග ඇති සම්බන්ධකම් අලුතෙන් ම හිතන්න විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ නව  ලේකම්තුමාට සිදු වේවි. අප ඔහුට සුබ පතනවා. මේ සම්බන්ධයෙන් වරක් අගමැති මහින්ද රාජපක්‍ෂ ඉතා වටිනා අදහසක් ප්‍රකාශ කළා. ඉන්දියාව අපේ නෑයෙක්. චීනය අපේ මිතුරෙක්. චීනය අපේ ප්‍රධාන ම මිතුරෙක් කිව්වත් කමක් නැහැ. 

මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නයක් නැහැ. මෙය බිරිතානින් වසර දෙසියයකට වැඩි කාලයක් තිස්සේ ගෙන ගිය බෙදා පාලනය කිරීමේ දී තනා ගත් ඊනියා ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් පියසිරි අමරකෝන් ඉදිරිපත් කරන සාක්‍ෂි සාකච්ඡාවට භාජනය කරන්න ජනමාධ්‍ය උනන්දු වන්නේ නැහැ. 2009 නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ ඉන්දු ලංකා ගිවිසුම ඉවරයි. ඉන්දියාවට අප ගැන ඇති දුර්මත නැති කරන්න ඕන. අප්‍රිකාවෙ ඇතැම් සංස්කෘතීන් හැරෙන්න වත්මන් ලෝකයෙ සසර ගැන කතා කරන්නෙ හින්දූන් හා බෞද්ධයන්. සසරින් එතෙර වන්නෙ කොහොම ද ආත්මයක් තියෙනවා ද නැත් ද කියන එක ගැන අප අතර වෙනස්කම් ඇති. ඒත් අප අතර ඇති සමානකම් බොහොමයි. 

ඉන්දියාව සමග අප නෑදෑකම අලුත් කර ගන්න අතර ලංකාවෙ දෙමළ හින්දුන්ගෙ නව දැක්ම ගැනත් අප හිත යොමු කරන්න ඕන. අද දෙමළ ජාතික සංධානයෙ බලය පිරිහෙමින් තියෙන්නෙ. විග්නේෂ්වරන්, ගජේන්ද්‍ර පොන්නම්බලම්   ආදීන්ටත් එච්චර බලයක් නැහැ. ඔවුන්ගේ පක්‍ෂවලට උතුරු හා නැගෙනහිර පළාත්වලින් ලැබුණෙ මුළු ඡන්ද  පනස්දහසක් හැටදහසක් ආදී වශයෙන්. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් බලා ගෙන ඉන්නෙ මේ අය ඊනියා දෙමළ ජනතා සටන ඉදිරියට ගෙන යන තුරු. ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ පරම්පරාව දැන් සියවසකට ආසන්න කාලයක් මේ සටන ගෙන යනවා! 

අනෙක් අතට කරුණාගෙ පක්‍ෂයට ඡන්ද හැටහත්දාහක් ලැබිල තියෙනවා. ඒ විග්නේෂ්වරන්ගෙ ගජේන්ද්‍ර පොන්නම්බලම්ගෙ පක්‍ෂවලට ලැබුණ ඡන්ද සංඛ්‍යාවට වැඩියි. යාපනය ඡන්ද කොට්ඨාසයෙ  ඡන්ද ප්‍රතිඵල වැදගත්. දෙමළ ජාතික සංධානයට ඡන්ද 7634 (33%)යි. ඩග්ලස් දේවානන්දගෙ ඊපීඩීපී පක්‍ෂයට ඡන්ද 5546 (23.97%) යි. ශ්‍රුී ල නි පක්‍ෂයට ඡන්ද 1469 (6.35%)යී . ඊපීඩීපී හා ශ්‍රී ල නි ප එකතු කළොත් 30.3%ක් වෙනවා. යාපනය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ල නි පක්‍ෂයට මන්ත්‍රී ධුරයක් ලැබුණා. මෙහි දී සුරේන් රාඝවාන්ගෙ කාර්යය සුළුවෙන් තකන්න බැහැ. පොදුජන පෙරමුණ (ශ්‍රී ල නි ප)  මෙයට වඩා උතුරු හා නැගෙනහිර පළාත්වල සෘජු දේශපාලනයක යෙදෙන්නෙ ඕන. ඊනියා අඩුකුල  අය අතර විශේෂයෙන් දේශපාලනයෙ නිරත වෙන්න ඕන.  

පළාත් සභාවලට එදත් අදත් කාර්යභාරයක් නැහැ. මේ ඉන්දියාව අප මත බලයෙන් පැටවූ ආයතන. විග්නේෂ්වරන් පළාත් සභාවෙ මහා ඇමති හැටියට මොකක් ද කෙළෙ. ඔහුට වියදම් කරන්න දුන්න මුදල්වත් වියදම් කළේ නැහැ. දෙමළ කතා කරන ජනයාගේ ප්‍රශ්නය මොකක්ද කියා තවම කිසිවකු කියා නැහැ. කියන්නත් බැහැ. නැති ප්‍රශ්නයක් කියන්නෙ කොහොම ද? පළාත් සභා නැති ප්‍රශ්නයකට ඉන්දියාව වැරදි තොරතුරු මත පදනම් වී දුන් ඊනියා විසඳුමක්. පළාත් සභා වෙනුවට දිස්ත්‍රික සංවර්ධන සභා පිහිටුවන්න දැන් අවස්ථාව එළඹිලා.