History

Thursday, 13 August 2020

විජාතික කඳවුර ලබා දුන් තුනෙන් දෙක

                             


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9





විජාතික කඳවුර ලබා දුන් තුනෙන් දෙක  


ජාතිකවාදීන් අතර සමගියක් නැහැ. අද රටේ ජාතිකත්වය තහවුරු වෙලා. ජාතිකවාදීන් සියල්ලන් ම උත්සාහ කරනවා එහි ගෞරවය ලබා ගැනීමටත් අනෙක් අයට පහර දීමටත්. මා ද සම්පූර්ණයෙන් නිදොස් නැහැ. තමන් ජාතික සංවිධානවල පොල්මඃකාරයන් උරුමක්කාරයන් යැයි සිතා ගෙන කටයුතු කරන පිරිසක් ඊයේ දිනේෂ්ට බැට දීල තිබුණා ව්‍යවස්ථාව ටින්කරින් කරන්න යනවා කියා. අප කාටත් පාහේ නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. එහෙත් මේ ආණ්ඩුව පළමුව කරන්නේ ටින්කරින් වැඩක් තමයි. ඒ දහනවය අහෝසි කිරීම. මා හිතනවා එහි දී ජාතිකවාදී මන්ත්‍රීවරුන්, දිනේෂ් ද ඇතුළුව, සුදුසු පියවර ගනීවි කියා. ඒ කිසිවකු ටින්කරින් කිරීමට විරුද්ධ ව ආණ්ඩුවෙන් එළියට බහීවි කියා මා හිතන්නේ නැහැ. එසේ කළොත් එය ඔවුන්ගේ දේශපාලන ජීවිතයේ අවසානය. ජාතිකවාදය හා ජාතිකවාදී දේශපාලනය කියන්නෙ එකම දෙයක් නො වෙයි. ඒ අතර ජාතිකවාදීන් තමන් ලත් ජයග්‍රහණය ගැනත් සිතා බලන්න ඕන.

ජාතිකවාදී මන්ත්‍රීවරුන් කළ යුත්තේ දහනවය හා දහතුන යන දෙක ම අහෝසි කිරීමට උද්ඝෝෂණයක් ඇරඹීම. දහතුන අහෝසි නොකර දහනවය පමණක් අහෝසි කරන්නේ නම් එය සුදුසු නැහැ. වඩාත් භයානක දහනවයයි. දෙමළ ජාතිවාදය අද මතවාදී වශයෙන් මෙන් ම දේශපාලන වශයෙනුත් පරාජය වී තිබෙන්නේ. දහතුන අහෝසි කර දිස්ත්‍රික සංවර්ධන කමිටු පිහිටුවන එකයි කළ යුත්තේ.  දැන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුනුත් ඉන්නවා.

දහනවයේ නම් රැක ගත යුතු වැදගත් කොටසක් තියෙනවා. ඒ ද්විත්ව රටවැසියන්ට මන්ත්‍රීවරුන් ඇමතිවරුන් වීමට නොහැකි ය කියන කොටස. මා හිතන්නේ එය තවත් ශක්තිමත් කළ යුතු ය කියා. පරිපාලන සේවයේ අයට, විදේශ සේවයේ අයට, තානාපතිවරුන්ට, එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධානවලට යන නියෝජිතයන්ට, ජාත්‍යන්තර තරගවලට සහභාගි වන ක්‍රීඩකයන්ට, ඇතුළු තවත් එවැන්නන්ට ඒ බාධකය පැණවිය යුතුයි. 

පසුගිය වතාවක මා මේ කරුණ සඳහන් කළ විට ඇතැමුන් එහි වරද දුටුවා. ඔවුන් කීවේ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරන ද්විත්ව රටවැසියන් ඉන්නවා කියා. ඇතැමුන්ගේ නම් ද සඳහන් කර තිබුණා. එහෙත් අපට පුද්ගලයන් වෙනුවෙන් නීති පනවන්න බැහැ. නීති පනවන්නේ අරයා මෙයා අයින් කර නොවෙයි. කාට හරි කියන්න පුළුවන් ඔය සියල්ලන්ට ම වඩා බැසිල් රාජපක්‍ෂ රටට සේවයක් කරනවා කියා. එහෙත් එහෙම වුණත් ඔහුට කියා විශේෂයක් කරන්න බැහැ. යම්කිසිවකුට අවශ්‍ය නම් ද්විත්ව රටවැසි කම අහෝසි කර ගෙන රටට සේවය කරන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තමයි හොඳ ම උදාහරණය. 

අලි සබ්‍රි ගැන මා තවත් කතා කරන්නේ නැහැ. එහෙත් අතාවුල්ලාට රාජ්‍ය ඇමතිකමක්වත් දුන්නා නම් හොඳ බව කියන්න ඕන. එසේ නොකිරීමට අභ්‍යන්තර හේතු තියෙනවා ද කියා මා දන්නේ නැහැ. මා කියන්නේ පිටින් පේන දේ පමණයි.  කෙසේ නමුත් අලි සබ්‍රි අධිකරණ ඇමති ලෙස ව්‍යවස්ථාව සම්බන්ධයෙනුත් වගකීම් සහිත ඇමති වෙනවා. අප ඉහත සඳහන් කරුණු ඉදිරිපත් කරන්නේ ඔහුගේ අවධානයටයි. එමෙන් ම මුස්ලිම් නීති, තේසවලාමේ නීතිය ඇතුළු තවත් එවැනි විශේෂිත නීති අහෝසි කිරීමට ඔහු පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. පාස්කු ප්‍රහාරය ගැන මොනව කියන්න ද? ඔහු පත් වී ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන්. ඒ කියන්නේ ඔහු පත් වී තිබෙන්නේ අතිවිශාල වශයෙන් සිංහල ඡන්දවලින්. සිංහල ජනතාවගේ අපේක්‍ෂා ඉටු කිරීමට ඔහු සදාචාරාත්මකවත් බැඳී ඉන්නවා. 

විජේදාස රාජපක්‍ෂට කැබිනට් ඇමතිකමක් නොදීම පිළිබඳ ව නම් ඇත්තේ සතුටක්. ඔහු දැන් මොන ගැටයක් ගහයි ද කියන්න බැහැ. තුනෙන් දෙක ලබා ගැනීමට කියා ඔහුට පඬුරු දීමට අවශ්‍ය නැහැ. තුනෙන් දෙක ලැබීම ගැන වචනයක් කියන්න ඕන. අපි උද්දාමයට පත් වෙලා ඒ පිළිබඳ ව. එක් එක් අය ඒ ගැන තම ප්‍රියජනක හිතළු, ඉංගිරිසියෙන් නම් පෙට් තියරීස්, ප්‍රකාශ කරනවා. මා දැක්කා ගුණදාස අමරසේකර ගම්සභා කතාවක් කියා තිබුණා.

අපට තුනෙන් දෙක කලින් ම කියන්න බැරි වුණේ මොකද කියන එක මට ප්‍රශ්නයක් වුණා. මා ගණන් බලා තිබුණේ තුනෙන් දෙකක් ලබා ගැනීමට සිංහලයන්ගේ ඡන්දවලින් 80%ක් පමණ ලබා ගත යුතු ය කියා. එහෙත් එවැන්නක් අවශ්‍ය වුණේ නැහැ. ඒ ගණන් බැලීමේ දී මට අතපසු වූ කරුණ නම් පරාජිත ජනාධිපති අපේක්‍ෂකයාට  ඡන්දය දුන් යම් පිරිසක්, අතැම් අවස්ථාවල විශාල පිරිසක්,  මැතිවරණයේ දී ඡන්ද පොළට නොයෑමයි. ඕනෑම ගණනයක් උපකල්පන මත පදනම් වෙනවා. ගණිතයේවත් ඊනියා වාස්තවිකත්වයක් නැහැ.  

ජාතිකවාදීන් මට ශාප කළත් කිව යුත්තේ තුනෙන් දෙක අරන් දුන්නේ ඡන්ද පොළට නොගිය එ ජා පාක්‍ෂිකයන් කියායි. ජනාධිපතිවරණයේ දී වලංගු ඡන්ද ප්‍රමාණය 1,32,52,499යි.  ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 69,24,255 (52.25%) යි. සජිත් ප්‍රේමදාසට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 55,64,239 (41.99%) යි. සියේට තුනේ කට්ටියටයි අනෙක් අයටයි ඉතිරි ඡන්ද ප්‍රමාණය ලැබුණා. මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ, ශ්‍රී ල නි ප, පිල්ලෙයාන්, අතාවුල්ලා, දේවානන්ද ආදීන්ගේ පක්‍ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 70,88,697 (61.12%) යි. සමගි ජන බලවේගය, එ ජා පක්‍ෂය, දෙමළ ජාතික සංධානය , මුස්ලිම් කොංග්‍රසය ආදී පක්‍ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 35,81,397 (30.88%) යී. වලංගු ඡන්ද සංඛ්‍යාව 1,15,98,929යි. සමහර විට මේ ගණනයෙහි දී ඇතැම් පක්‍ෂයක් මග හැරී යන්නට ඉඩ තියෙනවා. එහෙත් එහි විශාල බලපෑමක් නැහැ. 

මේ දත්තවලින් කියන්නේ ජනාධිපතිවරණයට වඩා මැතිවරණයේ දී වලංගු ඡන්ද සංඛ්‍යාව 16,53,570කින් අඩු වී ඇති බවයි. ඒ අතර එ ජා ප කඳවුර ලැබූ ඡන්ද සංඛ්‍යාව එයට වඩා වැඩි ගණනකින් එනම් 19,82,842කින් අඩු වෙලා. මේ අඩු වීම සිංහල ජනතාවගෙන් වඩාත් ම සිදු වී ඇතැයි මා හිතනවා. ඒ පිළිබඳ ගණනයක් නම් කෙළේ නැහැ. ඒ නිසා සිංහල ඡන්දවලින් තීරණය වන දිස්ත්‍රික්කවල පොදු ජන පෙරමුණට තුනෙන් දෙකකටත් වඩා ලබා ගන්න පුළුවන් වුණා. පොදු ජන පෙරමුණු (ජාතික) කඳවුරේ ඡන්ද 1,64,442කින් වැඩි වෙලා. නමුත් ඒ නිසා නොවෙයි තුනෙන් දෙක ලබා ගත්තෙ. 

සියයට තුනේ කට්ටියෙත් ඡන්ද සුළු ගණනකින් වැඩි වුණා.  ඒ අර විද්වතුන්ට පින් සිදු වෙන්න. අමරසූරිය නෝනට මන්ත්‍රී ධුරයක් දෙන එක හොඳයි. ඒ මොකක් වුණත් දළ වශයෙන් වලංගු ඡන්ද දහසය ලක්‍ෂ පනස් තුන්දාහකින් පමණ අඩු වෙද්දි (ජ වි පෙ නැතිව) විජාතික කඳවුරේ ඡන්ද විසිලක්‍ෂයකින් පමණ අඩු වෙලා. ජාතික කඳවුරේ ඡන්ද ලක්‍ෂ එකහමාරකින් පමණ වැඩි වෙලා. වලංගු ඡන්ද සංඛ්‍යාව අඩු වීමේ ප්‍රමාණයට වැඩියි රනිල් සජිත් කල්ලියේ ඡන්ද අඩු වීම.

සජිත්ගේ ජනාධිපති බලාපොරොත්තුව ගෙවල්වල ජනෙල් පොලු අස්සෙ හිරවෙද්දි ඔහුට ඡන්දය දුන් අය රනිල් සජිත් අරගලය නිසා තවත් මන්දෝත්සාහි වෙලා. මේ මන්දෝත්සාහි වෙලා ගෙදර හිටිය අය තමයි අවසානයේ දී ජාතික කඳවුරට තුනෙන් දෙකක් ලබා දී තියෙන්නෙ. ජේ ආර් කිසි දා හිතන්නෙ නැතිව ඇති කිසිම පක්‍ෂයකට ඔහුගෙ ඡන්ද ක්‍රමයෙන් තුනෙන් දෙකක බලයක් ලැබේවි කියල. එහෙත් එ ජා පක්‍ෂයට සාමාන්‍යයෙන් ඡන්දය දෙන අය  විශාල වශයෙන් ඡන්දය නොදී සිටීමෙන් ජාතික කඳවුරට තුනෙන් දෙකක බලයක් ලබා දීල. 

ජාතික කඳවුර තුනෙන් දෙකේ ජයග්‍රහණයෙන් ඔළුව උදුම්මගන්න ඕන නැත්තෙ එය තමන්ට අනෙක් පක්‍ෂයෙන් ලබා දුන් එකක් නිසා. දැන් සමහර ජාතිකවාදීන් මගේ ඔළුව කන්න ඉඩ තියෙනවා.