සාම පරෙවියෝ පණුවන් අහුලන් කති
මියන්මාරයේ ලංකා තානාපති කාර්යාලය හා තානාපති නිල නිවස පිහිටා තියෙන්නේ අක්කර දෙකක පමණ ඉඩමක. තානාපති නිල නිවාසය විශාලයි. අපට ලොකු වැඩියි. පඬි නැට්ටකුටත් ඕන්නම් ඉන්න පුළුවන්. මේ කලකට පෙර සුද්දන් අත්පත් කර ගත්තු ඉඩම්වල හදපු ගෙවල්. මේ ඉඩමෙ සේවය කරන්න මියන්මාර කම්කරුවන් ඉන්නවා. ඔවුන් කම්කරු පංතියක නම් නො වෙයි. ලංකාණ්ඩුව ඔවුන්ට වැටුප් ගෙවනවා. එය ඔවුන්ගෙ ශ්‍රමයට සරිලනවද කියල බලන්න පඬි නැට්ටකුට, වමෙකුට එන්න කියන්න ඕන. ඔවුන් බැරිවෙලාවත් විප්ලවයක් කළොත් එය ලංකාවට ද මියන්මාරයට ද? කම්කරුවන් කියන්නෙ ජාත්‍යන්තර පංතියක් නිසා ඔය වගේ නොවැදගත් ප්‍රශ්න වැඩක් නැහැ. කොහොමටත් කම්කරු පංති නායකත්වය පිළිබඳ ප්‍රශ්නය තවම විසඳිලා නැති නිසා ඔය ප්‍රශ්න ගැන කල්පනා කරන්න ඕනෙ නැහැ.
තානාපති නිල නිවාසය ඉදිරිපිට තණ පිට්ටනියක් තියෙනවා. උදේන් ම ඒකට පරෙවියො එනවා. ඉංගිරිසි ව්‍යවහාරය අනුව ඔවුන් සාමයේ කුරුල්ලො. මොවුන් එන්නෙ පණුවන් කන්න. තවත් ඉංගිරිසි කියමනකට අනුව කලින් ම එන කුරුල්ලා පණුවා අල්ල ගන්නවා. මගේ ඉංගිරිසි නම් එච්චර හොඳ නැහැ. මා කියන දේ වැරදි වෙන්නත් පුළුවන්. ඒත් මට කියන්න ඕනෙ සාම කුරුල්ලන් පණුවන් අල්ලන් කන එකයි.
හැමදාම උදේ පාන්දර මා සාම කුරුල්ලන් පණුවන් අල්ලන් කනවා දකිනවා. මට ඒ වෙලාවට මතක් වෙන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එයට අනුබද්ධිත උප සංවිධාන, සාම නියෝජිතයන්, යුනෙස්කෝවේ සිට යු එන් සී එච් ආර් හෙවත් එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කොමිසම දක්වා වූ සංවිධාන. නිව්යෝක් ජෙනීවා හේග් නයිරෝබි ආදී නගරවල පිහිටුවා ඇති විවිධ කාර්යාල. කොළඹත් ඔය මොකක් හරි පිහිටුවා ගන්න බැරි ද?
එක්සත් ජාතීන්ගෙ සංවිධානයට පහුගිය දා අවුරුදු හැත්තෑපහක් පිරුණා. ඒක මට වඩා බාලයි. ඒ හැත්තෑපහ නිමිත්තෙන් ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙ සම්මේලනයක් ගෙදර ඉඳලම පැවැත්තුව. අපත් දැන් වැඩ කරන්නෙ බොහෝ වෙලාවට ගෙදර ඉඳලා. මියන්මාරයේ කොවිඩ් පැතිරෙනවා. ගෙදර ඉන්න කොට සාම පරෙවියන් ගැන මෙනෙහි කරන්න පුළුවන්. ඒ සම්මේලනයෙ දි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියල තිබුණ එක්සත් ජාතීන්ගේ සංවිධානය රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසිය යුතු ය කියන අදහස තියෙන දෙයක්. ඒක හොඳ කතාවක්.
ඒත් මට එක සැරේට හිතුනෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානය රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්නෙ නැත්නම් ඒ සංවිධානය පවත්වාගෙන යන්නෙ අහවල් දේකට ද කියල. එක්සත් ජාතීන්ගෙ සංවිධානය ඇති කෙළේ ඊනියා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙ සාමය ඇති කිරීමට. තවත් ඊනියා ලෝක යුද්ධයක් වෙන එක වළක්වන්න. ඒ සාමය වෙනුවෙන්. සාම පරෙවියන්ගෙ ලැගුම් හල් තමයි නිව්යෝක් ජෙනීවා ආදී නගරවල හදල තියෙන්නෙ. සාම පරෙවියන් පණුවන් අහුලන් කන්නෙ නැත්තන් උන් සාම පරෙවියන් වෙන්න බැහැ.
පඬි නැට්ටකු කියන්න බැරි නැහැ මේවා මගේ විකාර කතා කියා. මෙහි කිසිම ශාස්ත්‍රීය පදනමක් මූලාශ්‍ර නැහැ කියල. තවත් පඬි නැට්ටකුට අවශ්‍ය වන්න පුළුවන් මට අරක කරන්න මේක කරන්න. ඒත් මට සාම පරෙවියන් දිහා බලන් ඉන්න වෙනවා. උදේට කාමරේ ජනේලෙ ඇරියම උන්ව පේනවා. ජනේල අරින්නෙ නැතිව ඉන්න ද? සාම පරෙවියන් පණුවන් මිස නාගයන් අල්ලන් කන්නෙ නැත්තෙ මොක ද? ඒක ගුරුළන්ගෙ වැඩක් ද? මට ගුරුළුගෝමි හා අමාවතුර මතක් වෙනවා. අමාවතුරට රාජ්‍ය සම්මානයක් දීපු නැති එක නම් වැරුද්දක්. ජයවර්ධනපුර සම්මානයක්වත්. අර ඉතිහාසෙට ම දෙන තෑග්ගක්.
එක්සත් ජාතීන්ගෙ සංවිධානයට වැරදිල ආරක්‍ෂක මණ්ඩලයෙ රටවල් පහකට නිෂේධ බලය දීල. ඒ ඊනියා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙ තිබුණු තත්වය නිසා. රුසියාව හා චීනය සමහර වෙලාවට සාම පරෙවියන් එළවනවා. එතකොට උන්ට පණුවන් කන්න බැහැ. ඒත් උන් ආපහු එනවා. පණුවන් නැතුව මොන සාමයක් ද?
එක්සත් ජාතීන්ගෙ සංවිධානය කියන්නෙ බටහිර ක්‍රිස්තියානි නුතනත්ව සංස්ථාපිතයෙ අධිපතිවාදයෙ මුලස්ථානය. එකෙන් කෙරෙන්නෙ අප වැනි රටවලට තම ආධිපත්‍යය පැතිරවීම මිසක් වෙන එකක් නො වෙයි. ඊනියා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙ අර ඉංගිරිසින්ගෙ හිරු නොබසින අධිරාජ්‍යය පවතාවා ගෙන යෑම අමාරු වුණා. අපට ඊනියා නිදහසක් ලැබුණා. ලංකාවෙ තමයි මවුන්ට්බැටන් ලොක්ක හිටියෙ. පේරාදෙණියෙ. අර අවුං සාන් ලංකාවට ඇවිල්ල තියෙන්නෙ බුරුම නිදහස් ගිවිසුම අත්සන් කරන්න මවුන්ට්බැට්න් ලොක්කත් එක්ක. ඒ ගමන් තමයි දළදා මාළිගාවට ගිහින් තියෙන්නෙ. ඩී එස් සේනානායක ගියා ද කියල මා දන්නේ නැහැ.
හිරු නොබසින අධිරාජ්‍යය පවත්වාගෙන යන්න බැරි නිසා එක්සත් ජාතීන්ගෙ සංවිධානය ඇති කර ගෙන. අපේ රටවල් පාලනය කිරීමට ඔවුන්ගෙ විවිධ උප සංවිධාන යොදා ගන්නවා. සාමය කියන්නෙ අද තියෙන හොඳ ම ආයුධය. ඒ ආයුධයෙන් අවුරුදු තිහක් පමණ අප බැට කීවා. අර සාම පරෙවියන් අපට කිව්වා ඊනියා යුද්ධෙ දිනන්න බැහැ කියල. ඔවුන් ම තමයි යුද්ධෙ ඇති කෙළෙ. ඊට පස්සෙ යුද්ධෙ අවසන් කර සාමෙ ඇති කරන්න ඔවුන් පුදුම මහන්සියක් ගන්නවා. ඔවුන් මානව අයිතිවාසිකම් රකින්නෙ පරෙවියන් පණු අයිතිවාසිකම් රකිනව වගේ. ඔවුන් යුද්ධෙ අවසන් කරනවට කියන්නෙ සාමය කියල. ඒක ආයුධයක් පමණයි. යුද්ධෙ දිනන්න බැහැ. සාමය ඇති කරන්න නම් මෙන්න මේවා කරන්න ඕන කියල අපට කියනවා.
පඬි නැට්ටන් ඔවුන් කියන දේ වමාරනවා. පඬි නැට්ටන් දන්නෙ වමාරන්න විතරයි. අපි කිවුව දෙමළ ත්‍රස්තවාදය හමුදා මෙහෙයුම්වලින් පරාද කරන්න පුළුවන් කියල. පඬි නැට්ටන් අද වගේ ම ඒව විකාර කිවුවා. පස්සෙ විකාරය ප්‍රකාරය වුණා. අද වන විට දෙමළ මුස්ලිම් බලපෑමකට යටත් නොවී ආණ්ඩුවක් ද පිහිටුවලා.
අප එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ හා උපසංවිධානවල ඉන්න ඕන. ඔවුන්ගෙ දෙබිඩි පිළිවෙත් හෙළිදරවු කරන්න ඕන. ඔවුන් අපේ රටට කරන ඇඟිලි ගැහීම් නවත්වන්න ඕන. සම්බාධක තමයි ඔවුන්ගෙ එක ආයුධයක්. සාම පරෙවියන් කවුද කියල රටට කියන්න ඕන. රාජ්‍ය නොවන සංවිධාන කියන්නෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානයට අනුබද්ධ ව වැඩ කරන තවත් සංස්ථාපන ආයතන.
අපත් සමහර අවස්ථාවල සාම පරෙවියන් මුදා හරිනවා. ඒ බටහිරයන් අනුකරණය කිරීමෙන්. සාම පරෙවියන් පණුවන් කනවා. පඬි නැට්ටන්ට මේ කතාව ප්‍රශ්නයක් වේවි. ඔවුන්ට අත හරින්න ම ඕන නම් ඔය වවුලන් අත හරින්න කියමු. පාර්ලිමේන්තුවෙ ඉන්න අය නො වෙයි.
සාම පරෙවියන් පණුවන් නොකා ඉන්නෙ නැහැ. එක්සත් ජාතීන්ගෙ සංවිධානය කියන්නෙ මොකක් ද කියල හඳුනාගෙන ඒ තුළ වැඩ කරන ක්‍රමයක් හදා ගන්න ඕන. ඔය ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ටිකක් දුරින් තියෙන උප සංවිධානයක්. ඒකෙන් කොවිඩ් 19 ගැන මොනව ද කරල තියෙන්නෙ. අත් හෝදන්න කියනව මිසක්. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ අත් හෝදන එක නරක ද කියල. ඔය නොයෙකුත් උප සංවිධානවල හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් ලේකම් වගේ තනතුරු ආසියාතික අප්‍රිකානු රටවලට දෙන්න පුළුවන්. ඒක ප්‍රින්ස්ටන් හාවඩ් වගේ විශ්වවිද්‍යාලවල මහාචාර්යකම් දෙනව වගේ. බටහිරයන් තමන්ගෙ වැඩේ අපි කරනව නම් අපිට තනතුරු දෙන්න ලෝබ නැහැ.