History

Saturday, 10 October 2020

නොබෙල් සාම තෑග්ග දිනනු පිණිස මාස්ක් නැතිව මාක්ස් සමග

 නොබෙල් සාම තෑග්ග දිනනු පිණිස මාස්ක් නැතිව මාක්ස් සමග


මා එතරම්  බලාපොරොත්තුවක් තියාගෙන හිටියෙ නැහැ 2020 සාම නොබෙල් ත්‍යාගය උකුස්සන් විසින් රැක බලා ගැනෙන හා මෙහෙයවෙන, පණුවන් කන සාම පරෙවියන්ට ලැබේවි කියල. මෙවර එය ලැබිල තියෙන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහනට. ලෝකයේ ආහාර නැති අයට ආහාර දීම ආහාර නැති කම නිසා හිංසාවට පෙළඹෙන ජනතාවට සාමය ගෙන යෑම ආදී කරුණු හේතු පාඨයේ තියෙනවා. ඒවා ඇත්ත ද කියල අහන්න එපා.  පසුගිය වසරවල ප්‍රදානය කෙරුණු සාම නොබෙල් තෑගිවලින් 20%කට වඩා එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආයතනවලට ලැබුණු බව කියනවා. එය හරි ද වැරදි ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් මා දන්න දේ නම් ඔය තැගි දෙන්නෙත් උකුස්සන් ම කියන එක. උකුස්සන් තමන්ගෙ සංවිධානවලට තෑගි දෙන්නෙ නැතිව කාට දෙන්න ද?

සාම පරෙවියනුත් උකුස්සන්ගෙ ම තමයි. ඔහොම යන්. තව ටික කලකින් තෑග්ග හම්බ වෙයි. ඔය ඊනියා ජාත්‍යන්තර තෑගි ගෞරව ආදිය අප සතපහකට මායිම් කරන්න ඕන නැහැ. පහුගිය ටිකේ ඊනියා ජාත්‍යන්තර සිනමා තැගි වැඩියෙන් ම හම්බ වුණෙ කාට ද? මෙරට සිිංහල බෞද්ධ විරෝධී චිත්‍රපටිවල අධ්‍යක්‍ෂ නිෂ්පාදක නළු නිළි කාරකාදීන්ට. ඒ අයත් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් තමයි. ඒත් මෙරට ඉන්නා ඊනියා ශාස්ත්‍රීය පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට ඔය ජාත්‍යන්තර තැගි ලැබෙන්නෙ නැත්තෙ මොක ද? 

සකර්බර්ග්ගෙ පොතට ගියා ම ඒකෙ ලියන දේ දැක්ක ම හිතෙන්නෙ නැද්ද ඒ අයට ජාත්‍යන්තර තෑගි දෙන්න ඕන කියා. මේ ලිපිවලට විරුද්ධව යමක් ලියපු එකකුට තව එකෙක් කියල තිබුණ පුලිට්සර් තෑග්ග දෙන්න ඕන කියල. මේ චම්පකත් එක්ක ඉන්න එහෙම නැත්තන් හිටිය පඬි නැට්ටන්. මා ඒ ඒ අය හඳුන්වන්නෙ මට ඕන විධියට. මොකෝ ඒ ඒ අය මා හඳුනන්නෙ මට අම්මයි තාත්තයි දාපු නමෙන් නෙවෙයි නෙ, රතන හාමුදුරුවන්ගෙ හා අනෙක් අයගෙ මුවෙන් පිටවුණෙ පිටවෙන්නෙ මොකක් ද කියන එක නොදැන ද මේ අය කතා කරන්නෙ. මා නම් ඔවුන් සමරුන්ට අම්ම තාත්ත දාපු නම් කියනවා.

ඊනියා ශාස්ත්‍රීය පඬි නැට්ටන්ට තමන්ගෙ කියල කිසිම දෙයක් කියන්න බැහැ. ඔවුන් දන්නෙ අහවලා මෙහෙම කියල තියෙනවා මෙයා අරෙහෙම කියල තියනවා කියන්න විතරයි. අර චිත්‍රපටි කාරයොත් කරන්නෙ අනුන්ගෙ අදහස් කියන එක ම තමයි. ඒත් ඒකට කැමරාව උස්සගෙන ගිහිල්ල මොකක් හරි ඊනියා අලුත් දෙයක් කරන්න ඕන. අලුත් කියන්නෙ අලුත් සේයා පටයක් හදන්න එපායැ. ඒත් ඒවට දාන නම් අලුතුත් නැහැ. සිංහල මිනිහකුට හැඟීමක් එන්නෙත් නැහැ. සුළඟ එනු පිණිස කිව්ව ම මොකක් ද ඇතිවන හැඟීම. ඒව සමහර විට ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරාම අදහසක් හැඟීමක් එනව ද දන්නෙ නැහැ. ඔය ශාස්ත්‍රීය පඬියන්ටත් ඊනියා අලුත් පත්‍රිකාවක් ලියන්න පුළුවන් වෙන්න ඕන. වචන ගැටහීමවත් වෙන විධියකට කරන්න බැරියැයි. ඒත් ඔවුන්ට ඒකවත් කරන්න බැහැ. අප කරන දෙයක් ඔවුන්ට තේරෙන්නෙත් නැහැ.

සීතාවක රාජසිංහ රජුටත් සීගිරි කාශ්‍යප රජුටත් මා කැමතියි. ඔවුන් පීතෘ ඝාතකයන් කියා මා විශ්වාස කරන්නේ නැහැ. කාශ්‍යප රජු එකල නැගී ආ භාරතීය ආධිපත්‍යයට විරුද්ධව සටන් කළ අයෙක්. ඔහු අවසානයේ පැරදුණා. භාරතීය ආධිපත්‍යය ජයගත්තා. එහෙත් ඔහු සටන් කළා. රාජසිංහ රජු පෘතුගීසි ආධිපත්‍යයට විරුද්ධ ව සටන් කළා. ඔහුත් අවසානයේ පැරදුණා. බටහිර ආධිපත්‍යය ජයගත්තා. ඔහු පීතෘ ඝාතකයෙක් නම් ඔහුට සතුරු වු පෘතුගීසීන් ඒ බව නොකියා ඉන්නේ නැහැ. එකල මෙහි සිටි පෘතුගීසිකාරයකු වූ රොබෙයිරෝ තම පොතේ එහෙම දෙයක් පාද සටහනකවත් කියන්නේ නැහැ. අපේ ඉතිහාසයේ අපට වැරදුණු තැන් දෙකක් ගැනයි මා කිවුවෙ. 

පෘතුගීසීන් මෙරටට එන විට ඔවුන් කාලතුවක්කු ගෙනාවා. අපට කාල තුවක්කු තිබුණේ නැහැ. රාජසිංහ රජු පෘතුගීසීන්ට විරුද්ධ ව සටන් කරන්න කාලතුවක්කු හැදුවා. පෘතුගීසීන්ට වඩා හොඳ කාලතුවක්කු හැදුවා. ඔහු දැන් ඉන්න වමාරන වමාල වගේ අපට යුද්ධෙ දිනන්න බැහැ. කරන්න ඕන පෘතුගීසි ආධිපත්‍යය සමග ජීවත්වෙන එක කියල කිව්වෙ නැහැ. අනෙක් අතට කාලතුවක්කු පෘතුගීසීන්ගෙ අපි ඒවා පාවිච්චි කරන එක  වැරදියි, එහෙම කිරීම අපි පෘතුගීසි වීමක් කියල කිවුවෙ නැහැ. කරන්න ඕන දේ කළා. ඔහු අවසානයේ පැරදුණු එක ඇත්ත. ඒකට හේතුව අරිට්ටකි වෙන්ඩු වෙන්ඩ බැහැ. 

සිංහලයන්ගෙ වැරදි අඩුපාඩුකම් රාශියක් තියෙනවා. අපට ව්‍යාපාරික කටයුතු බැහැ. සිංහල සංස්කෘතියෙන් ව්‍යාපාරිකයන් බිහි වන්නෙ නැහැ. ඔය ඉන්න කිහිප දෙනාට වෙන ම සංස්කෘතියක ආභාසයක් තියෙනවා. අප ඉන්නෙ බටහිර ආධිපත්‍යයක. ඒක නේ අපි නොබෙල් ත්‍යාග ගැන කරදර වෙන්නෙ. සාම පරෙවියන් ගැන හොයන්නෙ. පඬි නැට්ටකු කියල තිබුණ මා ඔවුන් ගෙවන බදු මුදල් නාස්ති කරමින් පණුවන් කන පරෙයියන් බලනවා කියල. මා විශ්වවිද්‍යාලවල ඉන්න කාලෙත් කළෙ බදු මුදල් නාස්ති කරපු එක බව ජී එල් හා මහා බැංකුවේ ලක්‍ෂමන් කියාවි. 

අපට සුද්දන්ගෙ ක්‍රමය තේරෙන්නෙ නැහැ. අපි පරිපාලනය අවුල් කරගෙන. ඉංගිරිසි සිවිල් සේවය ප්‍රධාන පරිපාලනය ඔවුන්ට හොඳයි. පැරණි සිවිල් සේවය ඔවුන්ගෙ ක්‍රමයක් ලෙස ඉතා හොඳින් ක්‍රියාත්මක වුණා. විශ්වවිද්‍යාල ආයතනයෙ ප්‍රථම ගණිත මහාචාර්ය සුන්දරලිංගම් සිවිල් සේවයෙන් අස්වුණෙ තමාට ජීවිත කාලයකට තුවක්කු බලපත්‍ර අත්සන් කරන්න ඕනෙ නැහැ කියමින්. ඔහු පසුව දෙමළ ජාතිවාදියකු වුණා. එලියසර් කියන්නෙ පසුව දෙමළ ජාතිවාදියකු ඊළාම්වාදියකු වූ තවත් ගණිත මහාචාර්යවරයෙක්. ඔය විශ්වවිද්‍යාල ආයතනයට ලබන වසරෙ අවුරුදු සියය පිරෙනවා. උත්සවයක් නැද්ද? අර වෛද්‍ය විද්‍යාලයට මේ අවුරුද්දෙ අවුරුදු එකසිය පනහ පිරුණා. කොවිඩ් නිසා මොනව කරන්න ද? කෙරුව ද දන්නෙත් නැහැ.       

 අපට බැරිවුණා ඉංගිරිසින්ගෙ සිවිල් සේවය අපට ගැලපෙන විධියට සකස් කර ගන්න. මේ සිවිල් සේවය හොඳය කීමක් නොවෙයි. ඉන්දියාව ඒ වැඩේ කළා. ඔවුන්ගෙ බ්‍රාහ්මණ සම්ප්‍රදායක් තියෙනවා. අප හැට ගණන්වල සිවිල් සේවය නැතිකර පරිපාලන සේවයක් ඇති කළා. මොකද වෙලා තියෙන්නෙ. මා කියන්නෙ සිවිල් සේවය අනුකරණය කරන්න තිබුණ කියන එක නොවන බව පඬි නැට්ටන්ට තේරෙයි ද දන්නෙ නැහැ. අපට අපේම වූ පරිපාලන සේවයක් නැහැ. 

අපට වියුක්ත ව හිතන්න බැහැ. මෙරටින් ගණිතඥයන් ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයන් බිහිවන්නෙ නැහැ. අප අපේ සංස්කෘතියට වියුක්තව හිතන එකත් ඇතුල් කර ගන්න ඕන. සංස්කෘතිය කියන්නෙත් වෙනස්වන දෙයක් බව බෞද්ධයන්ට අමුතුවෙන් කියල දෙන්න ඕන නැහැ. අපි යන්නෙ මොන පාරේ මාක්ස් ලෙනින් ගිය පාරේ කියන අයට මේවා තේරෙන්නෙ නැහැ. මාක්ස් ගිය පාරෙ යන්නෙ මාස්ක් දාගෙන ද? බ්‍රැන්ඩික්ස් මාස්ක් මැහුව කියනවා. ඒත් ඒ මාස්ක් ගලවලා. 

අප ජීවත්වන්නෙ බටහිර සංස්කෘතික ආධිපත්‍යයක. අපට ඉන් නිදහස් වෙන්න ඕන. පඬියන්ට ඕනෙ නැතිව ඇති. ඔවුන් ඒකෙ ජීවත් වෙනවා. ඔවුන් විරුද්ධ සිංහල බෞද්ධ සංස්කෘතියට පමණයි. ඒ් අර උකුස්න්ගෙ ඕනකමට. ඔවුන් විරුද්ධ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි  හර පද්ධතියට. ඔවුන් මංගලත් එක්ක එකතු වුණෙ මංගලටත් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හර පද්ධතිය විනාශ කරන්න ඕන නිසා. රාජපක්‍ෂලා ඒ හර පද්ධතියට විරුද්ධ නම් පඬියන් රාජපක්‍ෂලත් එක්ක ජීවත් වෙනවා.  

බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් නිදහස් වෙන්න ඉන් ගන්න පුළුවන් දේ ගන්න ඕන. ඒ රාජසිංහ රජු කළා වගේ. තාක්‍ෂණය ගන්න ඕන නම් ගන්න එකයි තියෙන්නෙ.  සංයුක්තව සාමුහික ව හිතන්න පුළුවන්කම නැති කර ගන්නෙ නැතිව යම් පමණකට  වියුක්තව හිතන්න පුරුදු වෙන්න ඕන. අප ගිවිසුම්වලින් පරාද වෙන්න එක හේතුවක් වියුක්ත ව නොසිතීම. අපි බටහිරයන්ගෙන් ගන්න අවශ්‍ය දෙයක් ගන්නවා. රාජසිංහ රජු කාලතුවක්කු හැදුව කියල පෘතුගීසි කාරයෙක් වුණේ නැහැ. ඒකෙන් අපට ඊට කලින් ආයුධ තිබුණෙ නැහැ කියන්නෙත් නැහැ. අපේ දේ කියන්නෙ මොකක් ද කියල පඬි නැට්ටන්ට තේරෙන්නෙ නැහැ. අපේ දේත් වෙනස් වෙනවා. 

මට තව ටිකෙන් අමතක වෙනවා. ඔය නොබෙල් සාම ත්‍යාගය චන්ද්‍රිකාට ලැබේවි කියල ඒ දවස්වල කසුකුසුවක් තිබුණා. ඇය සාම පරෙවි ධෙනුවක.  ඇයට තෑග්ග ලැබුණෙ නැහැ. ඒත්  සාම පරෙයියකුට බැරි වෙන එකක් නැහැ නොබෙල් සාම  තෑග්ග දිනාගන්න. තව උත්සාහ කරන්න. සුළඟ එනු පිණිස දොර ජනෙල් ඇරල තියන්න.  තව තවත්් පණුවන් හොයන්න.