History

Sunday, 11 October 2020

බ්‍රැන්ඩික්ස්, කාන්තාව හා කොවිඩ්

 බ්‍රැන්ඩික්ස්, කාන්තාව හා කොවිඩ් 


කොවිඩ් පැරදවීම සඳහා රට ම එක්විය යුතු ය කියා මා කියන්නේ නැහැ. එසේ නොකියන්නේ එය කිසි දා සිදු නොවන නිසා. පහුගිය දා ලක්‍ෂමන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ කතා කෙළේ එහෙම එක්වන්න නම් නොවෙයි. සජිත්, හරීන්,  ආදීන්ගෙන්වත් අනුර රනිල්දාස (දැන් සජිත්දාස), යටත්විජිත හේරත් ආදීන්ගෙන්වත් එකතුවක් බලාපොරොත්තු වන්න බැහැ. දෙඩුම් ශිල්පී (කවුරු සකස්කළත් අවශ්‍ය පරිදි අපි යොදා ගන්නවා) වමාරන වමාලගෙන් කිසිවක් බලාපොරොත්තු වන්න බැරි ඔවුන්ට දෙඩීම හැර වෙන කිසිවක් කිරීමට බැරි නිසා. මේ සියල්ලන්ට ම අවශ්‍ය පුළුවන් හරි බැරි හරි ආණ්ඩුව පරද්දන්න මිසක් කොවිඩ් පරද්දන්න නොවෙයි. කොවිඩ්ට ආණ්ඩුව පරද්දන්න පුළුවන් නම් ඔවුන් වඩාත් කැමති වෙයි. ආණ්ඩුව පරද්දන්න බැරි නම් වමාලා සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව ආණ්ඩුවේ කොටසක් එක්ක හරි එකතු වේවි. ඒත් වැමෑරීම හැර ඔවුන්ට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ. 

මා දන්නේ නැහැ කිසිම රටක් රටක් හැටියට එකතු වෙනවා ද කියා. ලංකාවෙ නම් ඉතිහාසයට වෙලා නැහැ. එළාරට සහාය දුන් සිංහලයන් හිටියා. අපි එයට සාක්‍ෂි අසන අය සමග කතාවට නොගොස් ඉංගිරිසින්ට සහාය දුන් සිංහලයන් ගැන සිතමු. ප්‍රභූ පාසල් ඇති කර තමන්ගේ වන්දිභට්ටයන් බිහිකර ගැනීමටත් පෙර ඉංගිරිසින්ට සහාය දුන් තම්බි මුදියන්සේ වැනි අය හිටියා. ඒ නිසා දැන් මුළු රට ම එකතු වේය කියා හීනෙකින්වත් හිතන්න බැහැ. 

බ්‍රැන්ඩික්ස් පොකුර ඊනියා දෙවැනි රැල්ලක් නො වෙයි. එක් එක් අය දෙවැනි රැලි ගැන කතා කළත් ඇත්තේ එකම රැල්ලක් පමණයි. මෙය ඊනියා දෙවැනි වටයක්වත් නොවෙයි. කොවිඩ් 19  ඇති වු දින සිට දිගට යනවා. බටහිර රටවල පමණක් නොවෙයි ආසියාතික රටවලත් පැතිරෙනවා. ඉන්දියාව අද ලෝකයේ දෙවැනි තැනට ඇවිල්ලා. මියන්මාරයේත් කොවිඩ් පැතිරෙනවා. ඊයේ අලුතෙන් දෙදහස් ගණනක් රෝගීන් හමුවුනා. මුළු ලෝකයෙන් ම කොවිඩ් තුරන් වන තෙක්, කිසිම රටකින් කොවිඩ් තුරන් වෙන්නේ නැහැ. දැන් ලෝකය කුඩා වෙලා නොවැ. 

ලංකාවේ කොවිඩ්  පරාජය කරල තිබුණෙ. එහි ගෞරවය ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවටත් ත්‍රිවිධ හමුදාවන්ටත් පොලීසියටත් මහජන සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු සියළු සෞඛ්‍ය නිලධාරීන්ටත් අනෙක් සහභාගි වූ සියල්ලන්ටත් හිමිවන්න ඕන. බටහිර වෙදමහත්තුරු එයට සහභාගි වුණේ පරිපාලන නිලධාරීන් ලෙසටයි. ලංකාවෙ කොවිඩ් පරාද කරල තිබුණෙ කියන එකේ තේරුම ලංකාව ඇතුළෙ රෝගීන් හඳුනාගෙන ඔවුන් නිරෝධායන ක්‍රියා මාර්ගවලට යොමු කරල තිබුණ කියන එකයි. යම් සංකූලතා ඇති වුණා නම් එයට ප්‍රතිකාර කිරීමටත් ක්‍රමයක් සකස් කර තිබුණා. බටහිර වෙදමහත්තුරු වෛද්‍යවරුන් ලෙස සහභාගි වුණේ එවැනි අවස්ථාවල. 

එහෙත් ලෝකයේ අනෙක් රටවල, විශේෂයෙන් ම ඉන්දියාවෙ රෝගීන් දසලක්‍ෂ ගණන් ඉන්න කොට අපි පරෙස්සම් වීම දස දහස් ගුණයකින් වැඩි කරගන්න ඕනෙ. අප විදේශවලින් ලාංකිකයන් ගෙන්වීමේදීත් තානාපති කාර්යාල මණ්ඩල ගෙන්වීමේදීත් නිසි අයුරින් වැඩ කරල තියෙනවා.  අදත් සන්ඩේ අයිලන්ඩ් පත්තරේ හදනවා පහුගිය දවස්වල පැමිණි චීන දූත පිරිස අනිසි අයුරකින් පැමිණ ආපසු ගිය බව පෙන්වීමට. සමහරු එය තමන් දන්න ඩිප්ලොමැට් ගණයට දාල. 

මෙවැනි දුත පිරිස් රටවල් අතර යන එන බව අප දැන ගෙන ටිකක් කල්. මාස කිහිපයකට පෙර මා මියන්මාරයේ සිටින වෙනත් තානාපතිවරයකු හමු වූ අවස්ථාවේ තමයි ඒ කාරණය දැන ගත්තෙ. ඒ අර පණුවන් කන සාම පරෙවියන් බලන්නෙ නැති වෙලාවක. සාමාන්‍ය ගුවන් සේවා නැති නිසා විවිධ රටවල් අතර විවිධ ඊනියා ගුවන් බුබළු (ඒවාට කියන්නෙ බුබුළු Air Bubbles) ඇති කරගෙන තියෙනවා. එය තානාපති දූත පිරිස්වලට පමණක් නොව වෙළෙඳ දූත පිරිස්වලටත් යොදා ගැනෙනවා. එහි දී රටවල් අතර යම් කොන්දේසි මත ගුවන් ගමන් ගැන යම් එකඟතා  ඇති කර ගන්නවා.  අප දැනගත් දේ විදේශ අමාත්‍යංශයට දැන්නුවා. ඔවුන් ඒ නොදැන සිටියා නො වෙයි.  

බ්‍රැන්ඩික්ස් පොකුර ලංකාවෙන් ආරම්භ වූ එකක් නොවෙයි. ලංකාවෙ ඉහත කී තේරුමෙන් කොවිඩ් පරාද කරල තිබුණෙ. බ්‍රැන්ඩික්ස් පොකුර විදේශයකින් පැමිණි අයකුගෙන් ඇති වූ බව පැහැදිලියි. ඒ විදේශිකයා ඉන්දියාවෙන් ද වෙනත් තැනකින් ද කියන්න මට සාක්‍ෂි නැහැ.  සාමාන්‍ය නිරෝධායන නීති රීති උල්ලංඝනය කර ඒ තැනැත්තා පැමිණියා ද එසේත් නැත්නම් පීසීආර් පරීක්‍ෂණයෙන් සෘණ ප්‍රතිඵලයක් ලබා පැමිණියාද කියන්නත් මා දන්නේ නැහැ. පීසීආර් සෘණ වුණත් ඇඟේ වයිරසය තියෙන්න පුළුවන්. පීසීආර් හොඳ වෙන්න පුළුවන්. ඒත් හොඳ ම නැහැ. ධන සෘණ මාරුවෙනවා. වමාලගෙ උතුර දකුණ මාරුවෙන මාලිමාව වගේ. 

බ්‍රැන්ඩික්ස් පළමු රෝගියා අර කාන්තාව නම් නොවන බව පැහැදිලියි. එහෙත් ඇතැම් ජනමාධ්‍ය ඒ වාර්තා කළ ආකාරය නම් කිසිසේත් ම සතුටුදායක නැහැ. ජනමධ්‍ය බ්‍රැන්ඩික්ස් පොකුර කියනවාට නම් විරුද්ධ වුණා. ඒ කාන්තාවට බ්‍රැන්ඩික්ස් සලකල තියෙන ආකාරයත් හොයන්න ඕන. ඒ කොහොම වෙතත් මේ සිද්ධිය කල් ඇතුව ම වාර්තා වෙලා නැත්තෙ මොක ද කියන එක ප්‍රශ්නයක්. කලින් පොකුරු සහ බ්‍රැන්ඩික්ස් පොකුර අතර ඇත්තේ වාර්තාවීමට කල් යෑම පිළිබඳ ප්‍රශ්නයයි. බ්‍රැන්ඩික්ස් පොකුර ඉක්මණින් ම වාර්තා වුණා නම් තත්වය මෙතරම් බරපතළ වන්නේ නැහැ. බ්‍රැන්ඩික්ස් පොකුර වාර්තාවීම වැළැක්වූ අයකු ඉන්නවා ද? මෙහි සුළමුල හොයන්න ඕන. සියල්ල අර කාන්තාව පිටින් යවන්න ජනමාධ්‍යත් යොදා ගෙන යම් පිරිසක් කටයුතු කළා ද? 

බ්‍රැන්ඩික්ස් පොකුර නැති කරන්න ආණ්ඩුව පරාජය කිරීම තම එක ම අභිලාෂය බවට පත්කර ගෙන නැති අය කළ හැකි සියලල කරන්න ඕන. දැන් පඬි නැට්ටකු කියයි මා ආණ්ඩුවට කඩේ යනවා කියලා. පඬි නැට්ටකු කියා තිබුණා මා රාජපක්‍ෂලාට කඩේ ගිහින් තානාපතිකමක් අරගත්තා කියල. මා ඒ බව දැන හිටියේ නැහැ. දැනගෙන හිටිය නම් කඩේ නෙවෙයි සුපර් මාරකට් යනවා. තව පඬි නැට්ටකු කියා තිබුණා මා රාජපක්‍ෂලාට කඩේ ගිහින් ජීවිතේ ගොඩ දාගෙන කියල. මට ජීවිතෙ ගොඩ දාන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.  තව ටික දිනකින් මට හැත්තෑහයක් වෙනවා. දැන් ගොඩ දාන්න තියෙන්නෙ මගේ වල විතරයි. 

බ්‍රැන්ඩික්ස් පොකුර ගැන මා කියන්නේ මට සාක්‍ෂි තියෙන ප්‍රමාණයට. ව්‍යාපාරිකයන් එක්ක දේශපාලනඥයන් එක්ක නඩු කියන්න මට වත්කමක් නැහැ. බ්‍රැන්ඩික්ස් පොකුර පරාජය කිරීමේ දී අපට කළ හැක්කේ රෝගය පැතිර යෑම  වැලැක්වීමයි. කොවිඩ් 19ට බේත් නැහැ. ඒ අර වමාලගේ රෝගයට බේත් නැතිව වගේ. කොවිඩ් වැළැක්වීමේ දී මුව ආවරණ පැළඳීම අත සේදීම සමාජ දුරස්ථභාවය රැකීම ආදිය මෙන් ම ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම ද වැදගත්. බටහිර වෙදකමේ තවම එන්නතක් නැහැ. 

ආයුර්වේදයේ මෙන් ම සිංහල වෙදකමේත් දුම්හට්ටිය ඇල්ලීම වෙනිවැල්ගැට බීම ආදිය තියෙනවා. සිසිර ජයකොඩි කියනවා ආයුර්වේදයේ කොවිඩ් සඳහා ප්‍රතිකාර දෙකක් තියෙනවා කියා. මේ ප්‍රතිකාර කියන එකෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න පැහැදිලි නැහැ. ආයුර්වේද වෙදමහතකු ඒ ගැන විස්තරයක් කරනවා නම් හොඳයි. කෙසේ වෙතත් අප සිසිරට සුබ පතනවා. සිසිරට කඩේ ගියොත් මට මොනව ලැබේවිද කියල සාම පරෙවියකුගෙන් අහන්න ඕන. උන් ආයිත් එන්නෙ හෙට.