History

Saturday, 17 October 2020

ආසියාවේ සීතල යුද්ධය, පාස්කු ප්‍රහාරය හා ජාතිකත්වය

 ආසියාවේ සීතල යුද්ධය, පාස්කු ප්‍රහාරය හා ජාතිකත්වය


ඒ කාලෙ සෝවියට් දේශය හා බටහිර අතර සීතල යුද්ධයක් තිබුණා. ඒක ඉවර වුණෙ 1989 නොවැම්බර් මාසෙ බර්ලින් තාප්පෙ බිඳ වැටුණට පස්සෙ. ඉන් පසු විවිධ පොත්පත් ලියැවුණා. ෆ්‍රැන්සිස් ෆුකුයාමගෙ 1992 දි පළවුණු ඉතිහාසයේ අවසානය (The End of History and the Last Man) සහ සැමුලේ හන්ටින්ග්ටන්ටන් ෆුකුයාමාට දුන් පිළිතුරක් ලෙස ද සලකන්න පුළුවන් 1993 දි පළ වූ සභ්‍යත්ව ගැටුම (Clash of Civilizations) පොත. ෆුකුයාමා කිව්වෙ බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාද හා ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකය මිනිස් විකාශයේ අවසාන ප්‍රතිඵලය බවයි. හන්ටින්ග්ටන් කියා සිටියෙ ඒක එහෙම නොවෙයි මින් පස්සෙ ඇතිවන්නෙ සභ්‍යත්ව ගැටුම් කියා. ඔහු කිවුවෙ මුස්ලිම් සභ්‍යත්වය බටහිර සභ්‍යත්වයට තර්ජනයක් වෙනව කියල. 1995 දි ෆ්‍රුකුයාමා ට්‍රස්ට් (Trust: Social Virtues and Creation of Prosperity (1995)) නමින් පොතක් ලියල තමාගේ 1992 ස්ථාවරය තරමක් වෙනස් කරල සංස්කෘතිය ආර්ථිකයෙන් පැහැදිලි ව වෙන් කරන්න බැහැ කියල කිවුව.

හන්ටින්ග්ටන් තම පොතේ ජාතික චින්තනය ගැනත් සඳහන් කර තිබුණා. මේ පොතපත ලියන්න කලකට පෙර බර්ලින් තාප්පය බිඳ වැටෙන්න ඉස්සෙල්ල සංස්කෘතිය ගැන කතා කරපු මගේ ලෝකය පළ වුණෙ 1986 දි. ඒකෙ ඉතා මූලික ප්‍රශ්නයක් ලෙස සංස්කෘතිය ගැනත් චින්තනය ගැනත් කතා කෙරුණ. චින්තනය වෙනස්වන හැටි ඒ ඒ සමාජවල ඒ ඒ චින්තන ඇති බව දැනුම චින්තනය මත පදනම් ව සංස්කරණය කෙරෙන බව (නිර්මාණය තමයි එකල යොදා ගත්ත වචනය) එහි විස්තර කෙරුණා. හන්ටින්ග්ටන් උගතෙක් ද බුද්ධිමතෙක් ද කියල මා දන්නෙ නැහැ. මේ රටේ උගතුන් බුද්ධිමතුන් නම් කිසිවකු අපට පක්‍ෂව යමක් ලියල නැහැ. මට ඒ ගැන කණගාටුවක් නැහැ. තියෙන්නෙ සතුටක්.

කොහොමටත් අද නැවතත් සීතල යුද්ධයක් ඇති වෙලා. හන්ටින්ග්ටන් කිවුවට මුස්ලිම් සභ්‍යත්වය බටහිර ක්‍රිස්තියානි සංස්ථාපනයට විශාල තර්ජනයක් වෙන්න තියෙන ඉඩකඩ දැන් අඩුවෙලා. බටහිරයන් වහාබ්වාදය එදා ඔටෝමාන් අධිරාජ්‍යයට විරුද්ධව යොදා ගත්තා වගේ ම අදත් යොදා ගන්නවා. අද වැඩියෙන් ම යොදා ගන්නෙ චීන සභ්‍යත්වයට විරුද්ධ ව. ප්‍රධාන වශයෙන් ම මෙරට කතෝලික පල්ලිවලට විරුද්ධව එල්ලවුණු පාස්කු ප්‍රහාරය විතරක් නොවෙයි 2019 ජනවාරියේ එල්ලවුණු පිිලිපීන ප්‍රහාරයත් නව චීන සේද මාර්ගයට විරුද්ධ ව එල්ල වුණු ප්‍රහාර. මා ඒ ගැන ඒ දිනවල ලියා ඇති. ඒ ප්‍රහාර කතෝලික පල්ලිවලට එල්ල වුණු ප්‍රහාරයක් ලෙසයි පේන්න සැලැස්සුවෙ.

බර්ලින් තාප්පය බිඳ වැටීමට පෙර තිබූ සීතල යුද්ධය තිබුණෙ යුරෝපය මැදි කර ගෙන. ඉන් අවසානයේ දී බටහිරයන් ජයග්‍රහණය කළා. වත්මන් සීතල යුද්ධය චීනය හා ප්‍රධාන වශයෙන් එක්සත් රාජ්‍යය අතර ඇති වන්නෙ අග්නිදග ආසියාව පසුබිම් කරගෙන. ලංකාව අග්නිදිග ආසියාවෙ නුණත් අපත් මේ සීතල යුද්ධයට පසුබිම් රටක් වෙනවා. මෙහි දී ඉන්දියාව ඉන්නෙ චීනයට විරුද්ධ පැත්තෙ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ.

වත්මන් සීතල යුද්ධයට දකුණු චීන මුහුද, හොංකොං, වෙළඳාම, අධ්‍යාපනය, සංස්කෘතිය ආදිය බලපානවා. ඉන්දියන් සාගරයේ ආධිපත්‍යය තියෙන්නෙ කාට ද කියන එකත් වැදගත්. ආසියාන් රටවලට කිසි දා නොතිබූ වැදගත් කමක් ඇති වේවි. මේ දිනවල තායිලන්තයේ වියට්නාමයේ ඇති වන උද්ඝෝෂණ සීතල යුද්ධයේ ම අංග. අප දැනට නිල වශයෙන් ආසියාන් රටක් නොවෙයි. එහෙත් සීීතල යුද්ධයේ දී අපත් ආසියාන් රටක් වෙනවා.

මේ ගැන මෙරට ඊනියා දේශපාලන විද්‍යාඥයන්ගෙන් ගන්න උපදෙසක් නැහැ. අප රටේ විදේශ ප්‍රතිපත්තිය ඉතාමත් පරෙස්සමෙන් හසුරුවන්න ඕන. මා හිතනවා ජනාධිපතිතුමාටත් විදේශ ඇමතිතුමාටත් විශේෂ කාර්යභාරයක් හිමි වෙනවා. රටේ ආරක්‍ෂාව විදේශ ප්‍රතිපත්තියත් සමග බැඳී තියෙනවා. මෙවර සීතල යුද්ධය අපට ඈතින් යුරෝපය පසුබිම් කරගෙන කෙරෙන්නක් නොව ඉන්දියන් සාගරය බෙංගාල බොක්ක දකුණු චීන මුහුද ආදිය පසුබිම් කරගෙන කෙරෙන්නක්.

හන්ටින්ග්ටන් ඉතා පැහැදිලි ව කිවුව ථෙරවාදය සභ්‍යත්වයක් නො වෙයි කියල. ඒක මියන්මාරයෙ දි මට ප්‍රායෝගිකව ම දැක ගන්න පුළුවන් වුණා. එහෙත් බලවත් චීන සභ්‍යත්වයක් ලෝකයේ තියෙනවා. ථෙරවාද සභ්‍යත්ව රාජ්‍යයක් කියල එකක් නැහැ. සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන්නෙ වෙනත් දෙයක්. ඇතැමුන් සංකල්ප පටලව ගෙන ඊනියා සභ්‍යත්ව රාජ්‍යය සිංහල බෞද්ධ රාජ්‍යය සමග සමපාත කරන්න හදන්නෙ සංකල්පීය නිරවුල්බවක් නැතුව.

මේ සීතල යුද්ධයෙනුත් බේරිල ඉන්න සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි ඇති කර ගැනීම වැදගත්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ඒ දිශාවට යන්න පුළුවන්. ඒ සඳහා එතුමාට බලතල තිබිය යුතු බවත් අප පිළිගන්නවා. එහෙත් ඒ වෙනත් අයකුට අනාගතයේ දී නොයන පරිදි. සීතල යුද්ධය හරියට හසුරුවා නොගත්තොත් අප අමාරුවේ වැටෙනවා. කලින් සීතල යුද්ධයෙන් පසුව ඇතැම් නැගෙනහිර යුරෝපීය රටවලට සිදු වූ දේ කල්පනාවට ගන්න ඕන. මෙවර සීතල යුද්ධයෙන් පසුත් මේ කලාපයේ රටවල් කැඩෙන්න ඉඩ තියෙනවා.