History

Tuesday, 10 November 2020

බටහිර විද්‍යාවේ බොරුව සැමරීම

 බටහිර විද්‍යාවේ බොරුව සැමරීම  


අපි බොහොම කැමතියි යම් සිද්ධියකින් පස්සෙ මං කිවුව නේ කියල කියන්න. ඒ අප කී පුරෝකථන හරි ගිහින් කියා හිතල.  මට නම් එහෙම කියන්න දෙයක් ඇත්තේ නැති තරම්. අටවැනි දා පැවති මියන්මාර මැතිවරණයෙන් මා සිතූ දෙයක් වැරදිල. මා හිතා හිටියේ සු චී මැතිණියගේ පක්‍ෂය දිනාවි එහෙත් 2015 ගත් ආසන සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකි වේවි කියා. ඒ සිතිවිල්ල වැරදි බව වැටහෙනවා. සු චී මැතිණියගේ පක්‍ෂය විශිෂ්ට  ජයක් අත් කරගෙන තියෙනවා. ඇගේ පක්‍ෂය ජනවාර්ගික සුළුතරයක් ඇතැයි කියන ප්‍රාන්තවලත් ජයග්‍රහණය කර තියෙනවා. ඒත් හමුදාව තවමත් බලවත්. මියන්මාරයෙ ජනතාවට ජාතිකත්වයක් තිබුණත් ජාතික මතවාදයක් නැහැ. අපි  මියන්මාර ජනතාවට සුබ පතනවා. 

 






නොවැම්බර් 10 ලෝක විද්‍යා දිනය කියනවා. මා දැක්කා මනසින් දහනවවැනි සියවසේ ජීවත්වන ඊනියා විද්‍යාඥයන් දෙදෙනකු ඒ ගැන ලියා තියෙනවා. දෙදෙනා ම මගේ සමකාලීන මිතුරන්. ඒ ලිපි කියෙව්ව ම අනේ අපොයි කියා හිතෙනවා. විද්‍යාවේ බටහිර නැගෙනහිර භේදයක් නැති බවයි කියන්නෙ. ඒත් මා දන්න කරුණක් නම් ථෙරවාද බෞද්ධයනට බටහිර විද්‍යාඥයන් වීමට නොහැකි බවයි. චීන ඉන්දියන් (වෛදික) පමණක් නොව ඉඳහිටවත් මුස්ලිම් අයටත් විද්‍යාඥයන් වෙන්න පුළුවන්. ථෙරවාද බෞද්ධයනට විද්‍යාව ගැන ලියන්න පුළුවන්. ඔය පරිධියේ, විශේෂයෙන් ප්‍රවාදාත්මක පරිධියේ, සෙල්ලම් කරන එක බටහිර විද්‍යාවට දැනෙන්නෙවත් නැහැ. ථෙරවාදීනට බටහිරයන් වගේ හිතන්න බැහැ. පඬියන්ටත් බැහැ.  


බටහිර විද්‍යාවෙ කරන්නෙ වියුක්ත හිතළු ඉදිරිපත් කරල ඒව හරියනව ද කියල බලන එක විතරයි. හරි යනව කියන්නෙ හරි කියන එක නොවෙයි කියල මා සියක් වාරයක් කියල ඇති. වියුක්ත හිතළුව හරි ද කියල බලන්න වෙන්නෙ සංයුක්ත ව. එතනත් ප්‍රශ්නයක්. දැන් නම් භෞතික විද්‍යාවෙ ඒ වැඩේත් වියුක්ත ව කරන්න පටන් අරන්. එහි දී වඩා වැදගත් වන්නෙ ගණිතමය සංගත බව පමණයි! කෝ අර චතුරත් නිතර කියන පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන. 


බටහිර විද්‍යාවෙ යම් හිතළුවක් පිළිගැනෙන්න සියයට සියයක් හරියන්න ඕන නැහැ. එහෙම සීයට සීයේ කොන්දේසියක් දැම්මොත් බටහිර විද්‍යාව හාන්සියි. සියයට කීයක් හරියනව ද කියල තීරණය කරන්නෙ විද්‍යාවෙ පූජකයො ටිකක්. දැන් බටහිර විද්‍යාඥයන් කියන කතාවක් තමයි තම හිතළුවෙ වැරැද්දක් තිබුණොත් ඒක ඉවත් කරනවා කියන එක. ඒ වගේ කතාවලින් කෙරෙන්නෙ බටහිර විද්‍යාවෙ තියෙන්නෙ ඇත්ත කියල ජනතාවට ඒත්තු ගන්නන්න හදන එක. 


ඒ වුණත් ඔය ගුරුත්වාර්ෂණ බලය කියන එක ම ඒවා එහෙම නොවෙයි කියන්න හොඳ ම උදාහරණය. පළමුවෙන් ම ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර වෙලා තියෙන්නෙ අර කැලණිය රසායන විද්‍යා මහාචාර්යවරයාට පමණයි. පහුගිය දවස්වල මා ඉන්ද්‍රිය ගෝචර කතාව කිවුවම ධ්‍යාන ගැන කියවල තියෙන අය තම උගත්කම ප්‍රදර්ශනය කෙරුව. ප්‍රත්‍යක්‍ෂය කියන්නෙ ඉන්ද්‍රිය ගෝචර වීමට කලින් කෙරෙන්නක්. මහාචාර්ය ඩේවිඩ් කළුපහන ඒක පැහැදිලි කරල තියෙනවා. ප්‍රත්‍යක්‍ෂය, අක්‍ෂයට එහෙම නැත්නම් ඇස වැනි ඉන්ද්‍රියන්ට (ප්‍රත්‍ය අක්‍ෂ) පෙර ලැබෙන්නක් කියලයි කියා තිබෙන්නෙ. මේ ඉන්ද්‍රිය කියන එවට මනසත් ඇතුල් කළොත්, ෂඩේන්ද්‍රිය වුණොත්, එතකොට ප්‍රත්‍යක්‍ෂෙ කියන්න මොකක් ද? නිවන ප්‍රත්‍යක්‍ෂ කරන්නෙ කොහොම ද? පච්චෙක බුද්ධ නැත්නම් පසේ බුදුහාමුදුරුවරු පසක් කර ගත්තෙ මොනව ද කොහොම ද? නිවන කියල එකක් තියෙනව කියන බවක් මෙයින් කියැවෙන්නෙ නැහැ. කවුද කියල තිබුණ නලින් ද සිල්වගෙ හෙලවෙන මනසක් ගැන. නැති මනස හෙලවෙනව තමයි. අපි තව ටික කලක් හෙලවෙමු. 


නැවතත් ගුරුත්වාකර්ෂණයට. නිවුටන්ගෙ හිතළුව අර ග්‍රහවස්තු සම්බන්ධයෙන් හරි යන්නෙ නැහැ. නිවුටන්ගෙ හිතළුව හරි නම් ග්‍රහවස්තු ඉලිප්ස කියන වක්‍රවල යන්න ඕනෙ. එත් එහෙම වෙන්නෙ නැහැ. මේ කතා මා අවුරුදු තිහකට වැඩි කාලයක් කියල තියෙනවා. ඒත් හැම අවුරුද්දෙ ම අලුත් පිරිසක් එකතු වෙනවා. ඔවුන්ට ආයෙත් කියන්න වෙනවා. දැන් මොකද කරන්නෙ ගුරුත්වාකර්ෂණය වැරදි කියල අහක දානවා ද? අපොයි නැහැ. ඒ හරි නොයන කතාව පාසලේ විශ්වවිද්‍යාලෙ උගන්නනවා. අවුරුදු දහතුනක් හා තවත් හතරක් උගන්නන්නත් මොනව හරි තියෙන්න එපායැ. 


ඔහොම තමයි බටහිර විද්‍යාවෙ හරි නොයන හිතළු අහක දාලා අලුත් හිතලු විතරක් උගන්නන්නෙ. අයින්ස්ටයින්ගෙ හිතලුවකුත් තියෙනවා. ඒත් ඒක ටික දෙනාටයි උගන්නන්නෙ. අර අසත්‍යකරණය කියන්නෙ කරන්න බැරි දෙයක්. ප්‍රවාදයක මොන කොටස ද ඉවත් කරන්නෙ කියන ප්‍රශ්නයත් එනවා. මේ සියල්ල, විද්‍යාත්මක විප්ලවවල ව්‍යුුහය ආදිය, ගැන ලියල තියෙනවා. අවශ්‍ය නම් ඒ ලිපි හොයා ගෙන කියවන්න. මගෙන් ඒ ලිපි ඇත්තෙ කොහෙද කියල අහන්නත් එපා. ලිපි රාශියක් විදුසරේ නම් පළ වුණා. 


ගුරුත්වකර්ෂණය පට්ටපල් බොරුවක් කියල මා කියන්නෙ ඔය ග්‍රහවස්තු නිවුටන් කියන්නෙ නැති පාරක ගමන් කරන හින්ද නොවෙයි. මා බොරු කියල කියන්නෙ ඒක වියුක්ත හිතළුවක් නිසා. සංයුක්ත කතා බොරු වියුක්ත කතා පට්ටපල් බොරු. එපමණයි. ගුරුත්වාකර්ෂණය විතරක් නොවෙයි බටහිර විද්‍යාව ම පට්ටපල් බොරු. බටහිර විද්‍යාවෙ හරි නොගිය ඒත් විද්‍යාඥයන් යොදා ගත්ත තවමත් යොදා ගන්න හිතළු තියෙනවා. ඒ වගේ ම නිරීක්‍ෂණ පෙන්නල නොමග යවපු ඒවත් තියෙනවා. ගැලීලියෝට විද්‍යාවෙ පියා කියන්නෙ නිකම් නො වෙයි. මා කියන්නෙ නැහැ අර පොත කියවන්න මේ පොත කියවන්න කියල. මා පොත් ප්‍රකාශකයන්ගෙ හරි කතුවරයන්ගේ හරි වෙළෙඳ නියෝජිතයෙක් නොවෙයි. මෙරට විද්‍යාඥයන් දාර්ශනිකයන්  ඇතුළු උගතුන් වෙළෙඳ නියෝජිතයන් එහෙම නැත්නම් සේල්ස් රෙප්ලා කියල ටිකක් වැදගත් විධියට කියන්න පුළුවන්. වෙනත් විධියකට කියනව නම් වමාරන්නන්. වෙළෙඳ නියෝජිතයන් අද තම වෙළෙන්දන් සමරනවා.