History

Monday, 9 November 2020

අපේ රාමුව, වරකා, කොවිඩ් හා තවත් දේ

 අපේ රාමුව, වරකා, කොවිඩ් හා තවත් දේ


කොවිඩ්, තර්කය, නාට්‍යය, වරකා ඉරු ආදී සියල්ල එකිනෙකට සම්බන්ධයි. අවශ්‍ය නම් බියර් ද දාගන්න. අපි කොවිඩ්වලින් පටන් ගනිමු. එක්තරා ආයුර්වේද වෛද්‍යවරයෙක් කියා තිබුණා ආයුර්වේදයේ කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාරයක් නැති බවත් තියෙනවා කියන්නේ ව්‍යාජ ප්‍රතිකාර බවත්, ප්‍රතිකාරයක් ඇත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයට යවා අනුමැතිය ලබා ගත යුතු බවත්.  මේ ප්‍රකාශයෙන් ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. රෝගයක් කියන්නෙ මොකක් ද, ප්‍රතිකාරයක් කියන්නෙ මෙකක් ද, ප්‍රතිකාරය අනුමත කළ යුත්තේ කවුද විතරක් නොවෙයි, තර්කය කියන්නෙ මොකක් ද නාට්‍යයක් කියන්නෙ මොකක් ද ආදී දහසක් ප්‍රශ්න. 


වෙදකම් රාශියක් ලෝකයේ තියෙනවා. ඒ හැම එකක ම රෝගය කියන්නෙ මොකක් ද කියල එක ම විධියට නිර්වචනය වන්නෙ අර්ථදැක්වෙන්නෙ නැහැ. දරු ප්‍රසූතිය රෝගයක් ද? දරු ප්‍රසූතිය රෝගයක් නොවේය සංකූලතා ඇති වන්න පුළු්‍රවන් ය ආදී වශයෙන් කියන්න පුළුවන්. කොවිඩුත් ඒ වගේ ද ප්‍රශ්නය සංකූලතා ද, සරම්ප පැපොල් ආදියෙත් ප්‍රශ්නය කුමක් ද? මිනිසුන් පැපොල් හැදිලත් මැරෙනවා. මැරෙන්නෙ පැපොල්වලින් ද? කොවිඩ් 19න් කී දෙනකු මිය ගිහින් ද? 


බුද්ධිමත් යථාර්ථවාදී හේතුවාදී වෛද්‍ය විශේෂඥ කාලෝ ෆොන්සේකා ඉන්න කාලෙ බොහොම ඉස්සර වාදයක් තිබුණා ලෙඩේ හා ලෙඩා ගැන. බටහිර වෙදකමේ වෙදකම් කරන්නෙ ලෙඩේට බවත් ආයුර්වේදයේ හා පාරම්පරික වෙදකමේ වෙදකම් කරන්නෙ ලෙඩාට බවත් අප කීවා. කාලෝ තම අසහාය බුද්ධිය විදහා දක්වමින් ප්‍රශ්න කළා ලෙඩේට වෙදකම් නොකර ලෙඩාට වෙදකම් කරන්නෙ කොහොම ද කියා. බටහිර වෙදකමේ ලෙඩේට බෙහෙත් කිරීම මගින් අද සමාජය ම ලෙඩෙක් කෙරිල. සමාජය කිව්ව ම පඬි නැට්ටන්ගෙ පඬි පෝතකයන්ගෙ පඬියන්ගෙ සදාතනික වෛරයට ලක් වී තියෙන සිංහල බෞද්ධ සමාජය විතරක් නොවෙයි. බටහිර ක්‍රිස්තියානි සමාජයත් ලෙඩ වෙලා. සමාජයක් ලෙඩ වෙන්න සමාජය ජීවියෙක් ද කියල අහන්න බැරි නැහැ. මෙරට එවැනි පඬියන්ගේ පාද ස්පර්ශය ලබන රටක්. ලැබෙන්නෙ පාද ස්පර්ශය විතරයි. හිසෙන් කිසිවක් ලබාගන්න බැහැ. 


අර ආයුර්වේද වෛද්‍යවරයා ප්‍රතිකාරයක් ඇත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට යවන්න කියන්නෙ බටහිර වෙදකමේ අණසකෙන් (ආධිපත්‍යයෙන්) ගැලවෙන්න ඔහුට බැහැ කියන එකයි. බටහිර වෙදකමේ ප්‍රතිකාරය කියන එකයි ආයුර්වේදයේ ප්‍රතිකාරය කියන එකයි දෙකම එක ද? බටහිර ඇලොපති ක්‍රමය ලෙඩ හඳුනාගන්න විධියයි ආයුර්වේදය හරි පාරම්පරික වෙදකම හරි ලෙඩ හඳුනගන්න විධියයි එකම ද? 


බටහිර වෙදකමේ බෙහෙතක් නියම කරන්නෙ ලෙඩේට. ලෙඩා වොෂිංටනයෙ ධවල මන්දිරයෙ හිටියත් අගුණකොලපැලැස්සෙ පැල්පතක හිටියත් නියම කරන්නෙ එක ම බෙහෙත්. පාරම්පරික වෙදකමේ අගුණකොලපැලැස්සෙ දෙන බෙහෙත් වොෂිංටන් නුවර කොහොම හොයන්න ද? බටහිරයන් කරපු එක දෙයක් තමයි ලෝකෙට ම මිනුම්දඬු හැදීම. අප ඒව භාර ගන්න ඕන. ඒ මිනුම් දණ්ඩ අනුව අපි හැඩ ගැහෙන්න ඕන. සපත්තුව අපට හරියන්නෙ නැත්නම් අපි කකුල කපා ගන්න ඕන. පඬි නැට්ටකු කියාවි වෙන මිම්මක සපත්තුවක් ගන්න කියල. පඬි නැට්ටන්ට වමාරන්න පුරුදු කරල තියෙන්නෙ ඒ වගේ මතුපිට කතා. 


වා පිත් සෙම් හරි වාත පිත්ත කප්ප හරි තුලනය නොවීමක් වූ අවස්ථාවක කරන්නෙ මොකක් ද? වා පිත් සෙම් තුලනය වීම කියන එකත් හැමෝට ම එකම විධියට වෙන්න ඕන කියල මා හිතන්නෙ නැහැ. ගැබිණියකගෙ වා පිත් සෙම තුලනය වීම ඇය ගැබිණියක වීමට පෙර වූ තුලනයට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියල ඇය ලෙඩෙක් වෙන්න ඕන නැහැ. මා කියන්න හදන්නෙ ඒ ඒ වෙදකමේ නිර්වචන ක්‍රම ආකල්ප ආදිය වෙනස් කියන එකත් අද අපට සියල්ල බටහිර වෙදකම අනුව තීරණය කරන්න බල කෙරෙන බවත්. 


කොවිඩ් 19න් අපේ වා පිත් සෙම් තුලනය වෙනස් වෙනව නම් කරන්න තියෙන්නෙ නැවත තුලනය පැවති තත්වයට ගෙන එන්නෙ කොහොමද කියන එක සොයා බැලීම. එහෙමත් නැත්නම් ඒ තුලනය වෙනස් නොවීම සඳහා අප පිළිපැදිය යුතු ආරක්‍ෂාකාරී ක්‍රියා මාර්ග අනුගමනය කරන එක. ඒ ක්‍රියා මාර්ග දුම් හටටිය අල්ලන එක ද වෙනිවැල්ගැට කොත්තමල්ලි බොන එක ද ආදී වශයෙන් කියන්න පුළුවන්. ආණ්ඩුවට බැරි ද අර හුදකලාකර තියෙන ප්‍රදේශවල ජනයාට වෙනිවැල්ගැට ආදියත් බෙදල දෙන්න. බටහිර වෙදමහත්තුරුන්ට කරන්න පුළුවන් දේ ඒ අය කරපුවාවෙ. ඔවුන් වැඩි දෙයක් කරන්නෙත් නැහැනෙ. මීටරේ මීටර් දෙක කිරීම, තත්පර විස්සක් අත් සෝදන්න කීම ආදිය නරක නැහැ. වෙන් කිරීම පරෙස්සම් වීම අපේ සංස්කෘතියෙත් තියෙනවා. එහෙත් අප එකක් තේරුම් ගන්න ඕන. ඊනියා ලෝක සම්මත කතා අනෙක් අය මත නොපැටවීමට. 


මා දැක්කා පඬි පෝතකයකු කියා තිබුණා එක් නාට්‍යකරුවකුට රාමුවෙන් පිටට එන්න කියල. පඬි පෝතකයා හිතන්නෙ නාට්‍යකරුවා රාමුවක කොටුවෙලා කියල. මා මේ ගැන වැඩිය කතා කරන්න කැමති නැහැ. නාට්‍යකරුවාට ප්‍රශ්න ඇතිවෙයි. කලාකාරයො සම්මාන සඳහා කලහකාරින් වෙන එකේ රාමු ගැන මොනව කරාවි ද? ඒත් මා දන්න දෙයක් තියෙනවා. පඬි පෝතකයා හිරවෙලා ඉන්නෙ බටහිර නාට්‍ය රාමුවෙ. ඔහුට ඒ රාමුවෙන් පිටට එන්න බැහැ. ඔය අවුට් ඔෆ් ද බොක්ස් කතා සිද්ධ වෙන්නෙත්  එක ම රාමුවෙ. පඬි පෝතකයාට ඕන තම රාමුවට නාට්‍යකාරයාවත් ඇද ගන්න. ඒ පඬි පෝතකයාගෙ උගත්කමේ දුප්පත්කම. බටහිර වෙදකම කරන්නෙත් අනෙක් වෙදකම් කරන වෙදමහත්වරුන් තම රාමුවට ඇද ගන්න. ඒ බටහිර වෙදමහත්තුරුන්ගෙ උගත්කමේ දුප්පත්කම. 


මියන්මාරයෙත් වරක තියෙනවා. ඒත් කොස් පොළොස් නැහැ. එහෙම වෙන්නෙ කොහොමද? තානාපති කාර්යාල භූමියේත් කොස්ගස් තියෙනවා. අප කොස් පොළොස් කනවා. මියන්මාර වැසියන් කොස් පොළොස් කන්නෙ නැහැ. ඔවුන් වරක කනවා. ඔවුන් කුරුම්බ වතුර බොනවා. පොල් කන්නෙ නැහැ. ඒ අපේ රාමුවෙ හා ඔවුන්ගෙ රාමුවෙ වෙනස. සාම පරෙවියන් පනුවන් කන්නෙ මොකද කියනට එකට අමතර ව මා කල්පනා කරපු එක දෙයක් තමයි ඉංගිරිසියෙන් ජැක් ෆ්‍රැට් කියන්නෙ මොකද කියන එක.  පඬි නැට්ටකුට කියන්න පුළුවන් ද? 


තර්කය කියන්නෙත් මුළු ලෝකෙට ම හරියන එකක් නොවෙයි. එක එක තර්ක ක්‍රම තියෙනවා. එක එක න්‍යාය තියෙනවා. ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය ඉන් එකක් පමණයි. ඇරිස්ටෝටලීය රේඛීය චින්තනයෙ ද්විකෝටිකය යොදා ගත්තම යම් ආරම්භක තැනකට යන්න වෙනවා. ඒක ගණිතයෙ නම් ස්වසිද්ධි. මුළු විශ්වය ම ගත්ත ම දෙවියන් වහන්සෙ. තර්කයෙන් දෙවියන් වහන්සෙ බැහැර කරන්න බැහැ. දෙවියන් වහන්සෙ දෙවියන් වහන්සෙගෙ ම නිර්මාණයක් කියන එක රේඛීය චින්තනයෙ වලංගු නැහැ. ඒ තර්කය ඇරිස්ටෝටල්ගෙ ක්‍රමයට ගිහින් නවතින තැන.


එයටත් වඩා බරපතළ දෙයක් තියෙනවා. බටහිර තර්කය ද්විකෝටික රේඛීය න්‍යාය මත පදනම් වෙනවා විතරක් නොවෙයි. ඒකෙ අනුමාන නීතිත් තියෙනවා. ඔය අනුමාන නීති තර්කයෙන් ඔප්පු කරන්න බැහැ. ඒ අනුමාන නීතිත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට මොන තර්කය ද අපි අනුගමනය කරන්න ඕන. ඔප්පු කරනවා කියන්නෙ නිවැරදි බව පෙන්වන  එක ද වෙනත් මොකක්වත් ද? නිවැරදි කියන්නෙ මොකක් ද? තර්කයෙන් පුළුවන් ද තර්කය නිවැරදි කියල පෙන්වන්න, ඔප්පු කරන්න. මේ සියල්ල විශ්වාස පමණයි. අපි නොදන්න තර්ක.